“ඔහු” නම් වූ සිතුවම ප්‍රථම ප්‍රේමය නමින් සිත්තම් කරමි… ‍යළිත් වරක් මම.

Share

පැය කීපයකට කළින් ඇඟ ඇතුළට දාගත්ත විස්කි නිසා තවමත් මට හිතෙන්නේ මුළු ලෝකෙ ම මගේ ඔලුව වටේට කැරකෙනවා කියලා. එත් මගේ හිතවතා ඩේවිඩ් නම් කියන්නේ, මම මුළු ලෝකේ ම වටේ කැරකෙනවා කියලා. ඇත්තට ම එඩ්වින් හිටියෙත් හොඳ සිහියකින් නෙමෙ යි.

ඩේවිඩ් මගේ හොඳම යාලුවා. තවමත් තනිකඩ අපි දෙදෙනාගේ සම්බන්ධය මිත්‍රත්වය ඉක්මවා නොගියේ අපෙ හිත්වල තිබූ පුංචි කැමැත්ත මහා විශාල අකමැත්තකින් වැසී තිබූනිසා. නමුත් ඔහු මා අසළින් සිටීම මට විශාල ශක්තියක්.

තවමත් දැල්වෙන සිගරට්ටුවෙන් ගිලිහෙන් දුම් ගුලි දුම් වළා වෙලා සැනසිල්ලේ පාවෙලා යන විදිහ මම සද්ද නැතුව බලාගෙන උන්නා. ජීවිතේ ම සැහැල්ලුවෙන් පාවෙලා යනවා කියල යි මට හිතුනේ. ඒ අතර තේම්ස් නදිය තාලෙට ගලාගෙන ගියා. පෙම්වතුන් අත අල්ලගෙන තෙම්ස් නදියේ ඉවුර දිගේ තෙම්ස් නදියේ තාලයට ම ඇවිදගෙන ගියා.

මම වෘත්තීය චිත්‍ර ශිල්පිනියක්.

මගේ චිත්‍ර එංගලන්තයේ වෙන්දෙසි වල ඉතාමත් ම ඉහල මුදලට වෙන්දෙසි වුණා. ඒ එවායේ තිබූ කලාත්මක ගුණයට වඩා සජීවී ගුණය නිසා වෙන්නැතී. මගේ පුද්ගලික අදහස චිත්‍රයක සජීවී ගුණය රැකෙන්නට නම් චිත්‍රයට නගන්නා වූ යම්කිසි දෙයක් වේ ද, එය ඒ ශිල්පියා මනසින් හෝ හැබැහින් හෝ එක් වරක් හෝ අත්විඳිය යුතු බව යි.

මා විස්කි පානයට හා දුම් පානයට ඇබ්බැහිවූයේ මගේ, ජපන් රූමතිය චිත්‍රයට නැගූ කාලයේ. මා ජපානයේ සංචාරයක සිටි කාලයේ දී “සකුරා” නමින් සකුරා ගසක දර්ශනය චිත්‍රයට නගමින් සිටියා. ඒ අතරතුර ඉතාමත් ම රූමත් ජපන් තරුණියක් “සකේ” පානයෙන් මත් වී දුම් උරමින්, හඬා වැටෙමින් අවන්හලකින් පිටතට ආ අයුරු දුටුවා.

දින කීපයක්ට “සකුරා” අත්හැර ඇය හඹාගොස් ඇයගේ සමීපත ම මිතුරියක වන්නට මම තීරණයකලා.

ඇය දුටු මුල් මොහොතේ මට සිත් වූ අයුරින් ම මම “ජපන් රූමතිය” නමින් , සකේ බී, දුම වැටියක් උරමින් හඬා වැටෙමි ඇවිද යන තරුණිය සිතුවමට නැගුවා . ඒ චිත්‍රයට සජීවී බවක් ලබා දෙන්නට මම වරක් ගත් උත්සාහය,, විස්කි පානය කිරීම දැන් මට ඇබ්බැහියක් නොවෙතත් සතුට සැමරීමේත් , දුක පීඩා යටපත් කරගැනීමේද ප්‍රධාන සලකුණ වී ඇත. ඇබ්බැහියක් නෙවොතත් දුක් පීඩා අඩුවක් නොමැති, ජයග්‍රහණ ද අඩුවක් නැති මගේ ජීවිතයේ විස්කි පානය ඇබ්බැහියක් කියා මා කීවොත් එහි ද වරදක් නැත.

මම දැන් සියයට සියයක් ප්‍රකෘති සිහියක නොසිටියත් සිතන්නේ මාගේ මීළඟ සිතුවම කුමක් වේ ද, විය යුතු ද යන්න පමණි. මෙවර මා විසින් චිත්‍රයට නැගෙන්නේ කුමක්ද? නිහඬ ව ගලායන තෙම්ස් නදිය ද? තෙම්ස් නදිය දෙපස ඇවිද යන පෙම්වතුන්ද?
මේ කලබලකාරී නගරයේ මේ වීදි පුටුව මතට වී මම වසරක් තෙම්ස් නදිය දෙස බලා සිටිය ද මට තේම්ස් අලංකාරය අත්විඳිය නොහැක එනිසා තෙම්ස් සිතුවම් නොකරමි.

තෙම්ස් ඉවුරේ ඇවිද යන පෙම්වතුන් සිතුවම් ගතකරන්නට නම් මම ද එසේ ඇවිදා යායුතු යි. එසේ කරන්නට නම් තාවකාලික ව පෙම්වතෙක් කුලියට ගතයුතු යි. කුලියට එන්නට හෝ ඉන්නේ ඩේවිඩ් පමණි. නමුත් ඔහු සමඟ කිසිදා පෙම්වතියක ලෙස ඇවිද යන්නට මට නොහැකි මුත් මිතුරියක ලෙස මා ඔහු සමඟ ඇවිද යන්නට දැඩිසේ ඇලුම් කරමි.

මා මෙවර කුමක් සිතුවම් කරමි ද?

මම සතුට හා ජයග්‍රහණ නම් වූ තිර රෙදි ඈත් කොට, ජීවිතය දෙස එබී බලා මා නම් වූ , මගේ පන්හිඳෙන්, මෙතෙක් සිත්තම් නොකල “ඔහු” නම් වූ සිතුවම ප්‍රථම ප්‍රේමය නමින් සිත්තම් කරමි… ‍යළිත් වරක් මම.

හිරු රැස් මගේ ඇඟට වැටෙන හැම මොහොතක ම මගේ ඇස් දෙක පියාගන්නේ ඒ හිරු රැස් මට කාත් කවුරුත් නොදන්න කතාවක් කියන නිසා.
“ඔහු” මම ඒ නමින් කතා නායකයා හඳුන්වන්නම්…

ඔහුගේ නමේ තේරුම “හිරු” මගේ නමේ තේරුම “සඳු”, හිරු සඳු කවදාවත්ම එකට අකම අහසක පායනෙ නැහැ. සඳු කියන්නේ හිරුගේ ශක්තිය හොරකම් කරගෙන බොරුවට ලෝකේට පේන්න එළිය දෙන කෙනෙක් කියලා දවසක් මට ඔහු කීවා. මම ඒ කාලේ ගැඹුරු අදහස් තිබුණ කෙනෙක් නෙමේ.
මම කීවා “හඳත් නොවෙන්න රෑට මුළු ලෝකෙ ම අඳුරේ නේ ද” කියලා.

“ඔහු” මට හිනා වෙලා කීවේ “හඳ වෙන්න එපා, ඉරේ රැස් වෙන්න” කියලා. හඳ හොරෙක් වුනාට හිරු රැස් කියන්නේ හිරු ම තමයි.

ඒ නිසා මීට අවුරුදු හතකට කලින් ඔහු “හිරු” මම “හිරු රැස්”.

මම හිරු රැස් වෙලා කෙටිකාලයක් ගතවුණා. මගේ පළමු සිතුවම ”The morning glory” එදා මම කැන්වස් රෙද්දේ මගේ පින්සලින් සිතුවම් කලා. එකම අහසක හිරු සහ රැස්. මම ඉතාමත් සන්සුන් ඉන්ද්‍රියන්ගෙන් යුතුව, විශාල ප්‍රමාණයකින් වූ කැන්වස් රාමුව ඉදිරිපස අසුන්ගෙන තියුණු දෘෂ්ඨියකින් “The morning glory” සිතුවම්කළා.

මගේ සිතුවම පාට වුනේ ලා නිල්පාට පසුබිමක ලා තැඹිලි පාටින්, කහ පාටින් . උදේට ඉපදන හිරු සුමුදු යි සියුමැලී. ඒ නිසාම වෙන්නැතී, නිල් අහසේ පෙනෙන නොපෙනෙන අයුරකින් මගේ අතින් හිරු පාටවුණේ.

ඒ හිරුගේ, අලුත් ශක්තිය මුළු ලොකේට ම අරගෙන ගියේ රැස්. එ හිරු රැස් වල පාට ඇන්ඳ හැම පින්සල් පාරක් ම පිරිල ඉතිරිලා තිබුනේ අලුත් හිත පුරාවට පිරුණු සෙනෙහසකින්, කරුණාවකින්. අහසේ පෙනෙන නොපෙනෙන පාටින් හිරු ඇඳෙද් දී රැස් ඇඳුනේ තද පාටින්. ඒ රැස් කවදත් හිරුට වඩා වේගවත් නිසා වෙන්නැතී. හිරු රැස්, හිරුගේ ඉඳලා පෘථිවියට එන ගමන ලේසි පහසු ගමනක් නෙමෙයි. මහා දුරක්, පුංචි කාලසීමාවක් . නමුත් විශාල ශක්තියක්. අලුත් හිරු රැස් සතුටින් ඉපිලි ඉපිලී පෘථිවියට ගලාගෙන ගියා.

එදා කැන්වස් රෙද්දේ ඇන්ඳ සිතුවම “The morning glory” සිතුවම් අතරින් මා කිසිදා වෙන්දේසියක පෙන්වා නැති සිතුවම. එහෙත් මගේ රසිකයින් මගේ චිත්‍රාගාරයේ පෙන්වා ඇති සිතුවම් අතරින් වඩාත් ම ප්‍රියකල සහ අදටත් ප්‍රියකරන්නාවූ සිතුවම .

අයෙත් වරක් කීවේ “The morning glory” සිතුවම සජීවී හිරුගේ, කැමරා සටහනකට සමානකම් දක්වන බවක්. තවත් අයෙ කීවේ ඒ හිරු රැස් කැන්වස් රෙද්දින් මිදී ච්ත්‍රාගාරයට කඩාවදින බවක්.

නමුත් සත්‍ය වශයෙන් එය ඔහුගේත් මගේත් නම් ගම් නොවු සුන්දර කතාවක ඇරඹුම බව…… පළමු වර සඳහන් කරමි.

තවත් වසරක් ගතව්විමත් සමඟ මා මෑතක දී ලන්ඩන් සිටි වෙන්දෙසියේ දී පවුම් දසදහසකට අළෙවි වූ “The 12.00 p.m” සිතුවම මා විසින් චිත්‍රයට නැගුනා.
කුඩා ප්‍රමාණයේ කැන්වස් රෙද්දක නොසන්සුන් බිඳී ගිය සිත් ඇතිව මම කැන්වස් රාමුව ඉදිරිපස සිටගෙන වේගවත් පින්සල් පහරින් ඒ සිතුවම ඇන්දා.

එක ම අහසක හිරු සහ රැස්. නමුත් එදා මා හිරු ඇන්දේ තද රතු, තද තැඹිලි පාටින්. ඒ මා සිතුවම් කළේ ගිනි ගෙන දැවෙන හිරු. ඒ ගිනිගත් හිරු නිසා පිච්චි පිච්චී ගලා ගිය රැස් මම ලා පාටින් ඇන්දා. අකරුණාවන්ත හිරු නිසා. හිරු ගින්නට අසු වූ රැස් නිහඬව ගලා ගියා. සිය වගකීම් ඉටුකරමින් නිහඬව ම. තවමත් හිරු රැස් කෙරේ විශ්වාසය තබමින්.

සැබැවින් ම ඒ “ඔහු” හා මගේ සුන්දර කතාවේ අසුන්දර මැදියම. මට මතකයි ඒ දවස් වල මගෙ හිතවත් මිතුරියන් මගේ හිස් අතගා කියා සිටියේ . “ඔහු” නම් වූ එක විට ස්ත්‍රී සිත් කීපයක් සමඟම පොරබදින අයෙකුගේ බිරිඳ වීමේ සතුටක් වීද?? කියා පමණි. නමුත් මම ද මැනැවින් දැන සිටි, දැක තිබූ , අසා තිබූ ඒ සත්‍යට පිටුපා “ඔහුට” හිරු සේවයකලා.

නමුත් මා පසුකාලීනව එය විකිණා දැමුවේ “The 12.00 p.m” හි හිරු මට සතුව තිබූ එක ම සතුට මගේ කලාගාරය ද පුලුස්සා දමයි යන බිය නිසා.

තවත් දෙවසරක ඈවෑමෙන් මම “The evening” බිඳුනු සිත් ඇතිව එහෙත් සන්සුන් ඉන්ද්‍රියන්ගෙන් විශාල කැන්වස් රාමුවක් මත, චිත්‍රයට නැගුවා. එදා මගේ කැන්වස් රෙද්දට මා සාගරය නම් තෙවැන්නෙක් හඳුන්වා දුන්නා.
පිච්චි පිච්චී දැවෙන හිරු, මම තද තද ලේ රතු පාටින් වර්ණවත් කළා. තවදුරටත් ගින්නෙන් දැවෙන්නට නොහැකි නිසා විඩාබර රැස් මම ඉතාමත් ම ලා පාටින් වර්ණවත් කලා.
හිරුරැස් අත් හැර සයුරේ ගිලෙන්නට හිරු සූදානමින් සිටියා. මම ඇය නම් වූ සාගරය තද ම තද නිල් පාටින් වර්ණවත් කලා. ඒ “ඔහු” ගිලෙන්නට යන සාගරයට මම ඊර්ෂ්‍යා කලනිසා හා, ඔහු සාගරයේ ගිලී නිමී සැනසේනම් එය මට ද සැන්සීමක් වූ නිසා. හිරු රැස් හිරුගෙන් සමුගන්නට සූදානම් ව එහෙත් තවමත් බලා සිටි සන්ධ්‍යාව මා සිතුවමට නැගුවා.

“British” වෙන්දෙසියේ දී මා එය පවුම් සියක් දහසකට විකුණා දැම්මා. ඒ සාගර ජල කඳ මාගේ චිත්‍රාගාරය යළිත්වරක් කඳුලු සාගරයේ ගිලීයාවී කියා බියවූ නිසාවෙන්.

මීට වසරක පෙර මා “The night” චිත්‍රය නැගුවා. කුඩාම කුඩා කැන්වස් රෙද්දක සතුටු සිතින් නිර්ලෝභී ව.
හිරු නැති අහසේ තනි වූ නිහඬ නිශ්චල මා නම් වූ සඳ. රැස් අත්හැර හිරු ගිය දා තවදුරටත් හිරුරැස් වීම ඵල නැති දා හෙරක් වී ලොකයට එළිය දෙන නිවී සැනසුණු සඳ මා කලු පාට කැන්වස් රෙද්දක ඇඳ සිටියා.

මම ඒ සිතුවම කිසිදා වෙන්දෙසි නොකරන ද මොර්නින් ග්ලොරි හා සම ව මගේ චිත්‍රාගාරයේ තබා ඇත්තෙමි. ඒ නිවී සැන්සුණු හිතවත් සතුටින් පිරීගිය සඳ නම් වූ අලුත් මම නිසා කලාගාරය නම් වූ මගේ ජීවිතය සතුට නම් වූ තිර රෙද්දෙන් වැසී සිටින නිසා.

මම දැන් ඒ සිතුවම් පෙළ එකම කැන්වස් රෙද්දක් මතට ගෙන. ඔහු නම් වූ සිතුවම ප්‍රථම ප්‍රේමය නම් සිතුවම් කරමි. සිතුවම අවසානයේ එය කලාගාරයේ මුල්ලක ප්‍රවේශම් සහිතව අසුරා තබමි.

එහෙත් අලුත් උදැසනක තාවකාලිකව හමු වූ සාගරයෙන් හිරු මිදී පලා එනු ඇත. මා වෙතට ම. එදිනට මම, අසුරා තැබූ සිතුවම නැවතත් මගේ දෑතට ගෙන “ඔහු”, සිතුවම්කල ප්‍රථම ප්‍රේමය කියවා අත්හරිමි හිරු… සදාකාලිකව ම.

එහෙත් එක ම හිරු ඔහුට, මම රැස් වෙමි. මට ඔහු හිරුවන තුරාවට ම, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දුරස්ථ එහෙත් හිතාදර මිතුරියක ලෙසට.

මා පමණක් නොව අප සියලූ ම දෙනා ජීවිතය නම් වූ චිත්‍රාගාරය සරන්නට දිනපතා සිතුවම් අඳින්නා වූ ච්ත්‍රශිල්පීන් වෙමු. ඒ සිතුවම් අඳින්නා වූ, ඉන්ද්‍රීය සංවේදී බව හා පින්සල් පහරේ වේගය අපි එකිනෙකාගෙන්, එකිනෙකා මත රඳා පවතී. චිත්‍රයට වර්ණ දෙන්නා වූ නොයෙක් වර්ණ ද අප සිතැඟි මත රඳා පවතී. අත්දැකීම ඉදිර්පස අපි සියලූ ම දෙනා ශිල්පීන් වෙමු.

එනිසා

අවන්හල පිරී ඉතුරුණු අද පෙබරවාරි 14 … එහි එක් රොක් වෙමින් , කමින් බොමින්, සිනාසෙමින්, ඔබ අඳින සිතුවම “The morning glory” පමණක් ම වන්නට පතමී මම මගේ මුළු හදවතින් ම.