සංස්කෘතික සහයයෝගීතාවය තුළින් විසඳෙන ජනවාර්ගික අර්බුදය

Ramalka 2 Comments

විසිඑක් වන සියවසේ ඉලක්ක හඹා යමින්, අනාගතය නැමති මායාව යථාර්තයක් කරගැනීමෙහිලා ආත්මාර්ථය හා මමත්වය පෙරදැරි කරගනිමින්, මුදල් පසුපස යන අධිවේගී තරගයකට අපි සැවොම අවතීර්ණ වී ඇති බව නොරහසකි. එලෙස යන ගමන් මඟේදී  සංස්කෘතිය, සමාජය පිළිබඳ අනවබෝධයෙන් ගමන් කිරීමත්, පුහු පටු අදහස් මුදුන් පමුණුවා ගැනීමට දරන ප්‍රයත්නයත් කරණ කොටගෙන වත්මන් සමාජය, වාසයට නුසුදුසු අර්බුදකාරි සමාජයක් බවට පරිවර්තනය වී ඇත.

රටක ඇති එයට අනන්‍ය වූ සිරිත් විරිත්, ආචාර ධර්ම, හර පද්ධතීන්, ඇඳුම් ආයිත්තම්, ආහාර රටා, ආගමික හා ජාතික විවිධත්වය ආදී වූ මේ සියල්ලම සංස්කෘතිය ලෙස හදුන්වාදිය හැකි යඑය එම රටට ආභරණයක් බඳු ය. රටේ රටවැසියන්ගේ ප්‍රතිරූපය ඉන් ගම්‍යමාන කිරිමට තරම් එය තීරණාත්මක වේ. රටක ඉදිරි ගමන උදෙසා එම රටේ සංස්කෘතික සහයෝගීතාවය, සංස්කෘතිය ගැන මනා අවබෝධය සහ එහි පැවැත්මට ආධාර වීමත් අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා ප්‍රථමයෙන්ම රටවැසියන් වශයෙන් තම සංස්කෘතිය පිළිබඳ ස්වආලයක් ඇති කරගත යුතු ය. තම ආගමට, භාෂාවට පමණක් නොව පොදුවේ සමස්ත ආගමික, ජාතික හා භාෂා පද්ධතියට ගරු කළ යුතු ය. එවිට ගොඩනැගෙන සංස්කෘතික සහයෝගීතාවය රටක ඉදිරි පැවැත්මට මහඟු පිටිවහලක් වේ.

රටක්, මහද්වීපයක් හෝ සමස්තයක් ලෙස මේ ධරණි තලයම සැලකූ කල්හි එය විවිධ ජනවර්ග වලින් සමන්විත වේ. එම ජන වර්ගවල විවිධ ආගම්විවිධ භාෂා නිසා  ගොඩනැගෙන සංස්කෘතික විවිධත්වයඑම ජනවර්ග අතර සහයෝගීතාවයක්, බැඳීමක් ගොඩනැංවීමට සමත් වී ඇත.

අර්බුදයක් වනාහි ගැටළුවකි. දෙපාර්ශවයක් අතර හෝ පාර්ශව කිහිපයක් අතර  ඇතිවන ගැටුම්කාරී වාතාවරණයක් ලෙස අරුත් ගැන්විය හැකිය. ජනවාර්ගික අර්බුදයක් ලෙස දක්වන්නේ රටක හෝ මහද්වීපයක විවිධ හර සංස්කෘතික පද්ධතීන් උරුම කරගත්තා වූ ජනවර්ග අතර ඇතිවන ගැටුම්කාරී වාතාවරණයකි. එලෙස වාචිකව හෝ ක්‍රියාකාරකම් වලින් ඇතිවන සුළු ගැටුමක් පසුකාලීනව මහා යුද්ධයක් බවට පත් වේ.

පිළිකාවක් ඇතිවන්නේ දේහයේ යම්කිසි ඉන්ද්‍රියක, සෛලයක ඇතිවන දෛහික විකෘතියක් නිසාය. නමුත් නොසලකාහැරීම හෝ නොදැනුවත්කම නිසා එය පසුකාලීනව දේහය පුරා උඩු දුවන ලද සුව කළ නොහැකි දරුණු පිළිකාවක් බවට පත් වේ. අවසන අන්ත දුක් විඳ මරණය වැළදගන්නේ යම් සේ ද, රටක හෝ ලෝකයේ කිසියම් තැනක මේ මොහොතේ පවා ක්‍රියාත්මක වන, සුළු අතපසු වීම් නිසා, ඉතා දරුණු, ජීවිත බිලිගන්නා  ජනවාර්ගික අර්බුද පැන නගිනු ඇත. සංස්කෘතික සහයෝගීතාවය නොමැතිකම ජනවාර්ගික අර්බුදයකට අතවැනීමකි. දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලාංකික අපි අත්විඳි ජනවාර්ගික අර්බුදය අප සිත් තුළින් කවරදාකවත් අතුගා දැමිය නොහැකිය. ලේ වැගිරීම්, අනාථ වීම්, සංවර්ධනය ඇන හිටීම් වැනි අනිටු ඵල විපාක නිසා අදටත් දුක් විදින පිරිස මෙපමණැයි කීව නොහැකි තරම් වේ. එපමණක් නොව ඉන්දියාව හා පාකිස්ථානු දේශ සීමා අතර අරගලය, ගාසා තීරය සඳහා සටන් වැදීම්, උතුරු හා දකුණු කොරියාව අතර අර්බුදකාරි වාතාවරණය ජනවාර්ගික අර්බුද සඳහා නිදසුන් වේ. වර්තමානයේ බලපවත්නා මෙම අර්බුද හමුවේ ජනවර්ගයාට කළ හැක්කේ කුමක්ද? ජනතාව විසින්ම ඇතිකරන ලද හෝ ගොඩනංවන ලද  මෙම අර්බුද විසඳාලිය හැක්කේ ද නැවතුම් තිත තැබිය  හැක්කේ ද ජනතාවටම පමණි. මන්ද යත් ළිඳකට වැටුනු මිනිසා ගොඩවිය යුත්තේ ළිං කටින්ම වන බැවිනි. ඒ සඳහා ජනතාව අතර සංස්කෘතික සහයෝගීතාවය  ඇති කළ  යුතුයි. නමුත් ඊට ප්‍රථම තමා විසින් තම  සංස්කෘතියට තම  හර පද්ධතීන්ට ආදරය කළ යුතුය. එවිට නිරායාසයෙන්ම අන් සංස්කෘතීන් හට ද ගරු කිරීමට පෙලඹෙනු ඇත. ස්වජාත්‍යාලය ස්වලබ්ධ්‍යාලය නොමැති කෙනෙකුගෙන් එවැන්නක් බලාපොරොත්තු විය නොහැකිය. යමෙක් තම ජාතියට ආගමට ගරු කරන්නේ යම් සේ ද, එලෙසින්ම අන්‍යාගම් හා අන්ජාතින් කෙරෙහි ගරු කරන්නේ නම්, එම ජාතින් පරයා නැගි සිටීමට හෝ එම ජාතින් විනාශ කිරීමට හෝ ක්‍රියා නොකරනු ඇත. යමෙක් තම ආගම  හෝ ජාතිය පමණක්ම රැකේවා යන පටු සංකල්ප පෙරදැරි කරගෙන ක්‍රියාකරයි නම් ඔහු සැබවින්ම ඔහුගේ ආගමට හෝ ජාතියට ආලය කරන්නෙකු නොවේ. ඔහු ද්‍රෝහියෙකි. ඔහු තම ආගමට කරන්නේ ද නිගාවකි.

මෑත කාලීනව අපට ශ්‍රී ලංකාවෙන් පවා අසන්නට ලැබෙන බොහෝ සිදුවීම් ජනවාර්ගික අර්බුද සඳහා අර අඳින්නක් බව පසක් වේ. එබැවින් සමාජයට පිළිලයක් වන් මෙම ජනවාර්ගික අර්බුදවලට නැවතුම් තිත තැබීම, සැමගේ වගකීමක් මෙන්ම යුතුකමක් ද වේ. එය තනි පුද්ගලයකුට හෝ කණ්ඩායමකට හෝ පවුලකට හෝ කළ හැකි දෙයක් නොවේ. සමාජීය මට්ටමින් එය ව්‍යාප්ත විය යුතුය. ඒ සඳහා රාජ්‍ය හා ආගමික නායකයින්ගේත් පූජ්‍ය පක්ෂයේත් මඟ පෙන්වීම ඉතා වැදගත් වේ. නමුත් ආගමික මඟ පෙන්වීමක් ලෙස හුවා දක්වමින් හුදු වාසි තකා කටයුතු කරනා ප්‍රතිරූපකයන් සිටිනා තෙක් එය ඉටු කරගත නොහැකි වන බවත් අප තරයේ සිහි තබා ගත යුතුය. නිවෙස, පාසල, විශ්වවිද්‍යාලය, රැකියා ස්ථානය, ආගමික සිද්ධස්ථානය තුළින් සංස්කෘතික සහයෝගීතාවය ක්‍රියාවට නැංවිය හැකිය. ආගමික සහ ජාතික සමඟියේ අගය ළමා මනස තුළ රෝපණය කිරීම මව්පියන් සතු වගකීමක් ද වේ. සිංහල හා හින්දු අලුත් අවුරුද්දට, නත්තල් දිනයට, රාමසාන් උත්සවයට, දීපවාලී මංගල්‍යයට එක් ආගමක හෝ එක් ජාතියක සහභාගීත්වය පමණක් අපේක්ෂා නොකර සැවොම එක ජන බලකායක් ලෙස එක්විය හැකි නම්, එයින් අද ඇති වී තිබෙන බොහෝ ගැටලුවලට පිළිතුරු සැපයෙනු ඇත. වරෙක ආනන්ද සමරකෝන් ශූරීන් පවසා ඇති වදන් මට නිතැතින්ම සිහියට නැගේ.

“අපි එක් වෙමු එක මවකගෙ දරුවෝ එක නිවසේ වෙසෙනා

එක පාටැති එක රුහිරය වේ, අප කය තුල දුවනා

එබැවින් අපි වෙමු සොයුරු සොයුරියන්…….”

එකම රත් පැහැ රුහිරය ගලනා, ලක් මව් නිවහනේ වෙසෙනා සහෝදර සහෝදරියන් බඳු වූ අපි, පුහු පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමෙහිලා ජන වර්ග වශයෙන් නැගී සිටීමෙන් හෝ බෙදී සිටීමෙන් අත්වන ඵලක් නැත. එය සමස්ත ලෝක සත්වයාටම පොදු වූ ධර්මතාවයකි. කිසිදු ආගමක් හෝ දර්ශනයකින් හෝ එවැන්නකට පිටු බලයක් ලබා නොදෙනු ඇත. ආගමික සහජීවනය,  තමා කැමති ආගමක් ඇදහීම, තමා කැමති ජාතියකට අයත් වීම වත්මන් මානව අයිතිවාසිකම් වේ. මුදලට හෝ නිල බලයට හෝ බලහත්කාරයෙන් හෝ ආගම්වලට බඳවා ගැනීම හා ආගම්වල ප්‍රතිරූපය විනාශ කිරීම අපි පිටුදැකිය යුතු වෙමු. නමුත් කඩාකප්පල්කාරී පිරිස්වල යටි අරමුණු මුදුන් පමුණුවා ගැනීමටත්, සිය මාධ්‍ය උණු කැවුම් සේ පතළ කරවා ගැනීමටත් ප්‍රයත්න දරන පිරිස්වලට  ජනවාර්ගික අර්බුද අතකොළු ලෙස ක්‍රියාත්මක වන බව නොරහසකි.

“සිංහලේ, දෙමළේ, මරක්කලේ” යැයි සටන් පාඨ කරපින්නගෙන අමුතු රැඟුම් පෑම අප හට සුදුසු නොවේ. ලේ ධාතුව කෝප ගන්වන ජාතිවාදයනැමති කසල ගොඩ ඇවිස්සීමෙන් නොබෝ දිනකින් ඒ කසල ගොඩේම වැළලෙන බවඑසේ කරන්නවුන් නොදන්නවා විය නොහැකිය. නව ලිබරල්වාදයේ ගැලෙමින්, අධිපරිභෝජනවාදී වෙළඳ යාණ්ත්‍රනයේ ගිලෙමින්, ව්‍යාජ පුරුෂාර්ථ කරපින්නාගෙන ආගම ජාතිය බිල්ලට දී යන මේ ගමනේ ගමගමනාන්තයවිනාශයම මිස අන් කිසිවක් නොවේ. එහෙයින් බුද්ධියෙන් සිතා බලා කටයුතු කිරීමට කාලය එළඹ ඇත.

 සංස්කෘතික සහයෝගීතාවය තුළින් පවතින ජනවාර්ගික අර්බුද විසඳා, බල පැවැත්වෙන්නට යන  අර්බුද ද වලක්වා ගනිමින්, මිනිස් වාසයට සුදුසු සුන්දර නිවහනක් බවට මේ ධරණි තලය පත් කරමු. ඒ සඳහා අපට කළ හැකි යුතුකම් ඉටු කිරීම සඳහා කැප වෙමු. සංස්කෘතික සහයෝගීත්වය තුළින් සුන්දර හෙට දිනක් උදා කරලීමට සියලු ලෝකවාසීන්ට හැකිවේවා යි පතමි.