‘කාලය’ නමැති BOX එක

Share

කාලය ගැන කතා කරන්න ගොඩ දෙනෙක් ආසයි. ඒකට හේතු දෙකක් තියනවා. පළවෙනි එක තමයි ඒක ගොඩක් නිර්මාණාත්මක, කල්පිත මත තවදුරටත් ගොඩනගන්න පුළුවන් වගේ ම හිතන්න පුළුවන් මාතෘකාවක්. දෙවෙනි එක තමයි කාලය ගැන ගොඩක් බුද්ධිමත් කියලා සලකන අය කතා කරලා තියනවා. ඒ නිසා මේ ගැන කතා කරන එක බුද්ධිමත් අය කරන දෙයක් කියලා එයාලා හිතනවා. ඒත් අපි මෙතන කතා කරන්න යන්නේ එච්චර ගැඹුරු දේවල් නෙවෙයි. ඒ නිසා මේක කියවන්න කලින් ඒ හේතු දෙක ම එළියෙන් තියලා එන්න.

කාලයට යන්න කලින් තත්පරය ගමු. සීසියම් 133 පරමාණුවේ අධිසූක්ෂම ශක්ති මට්ටම් දෙකක් අතර සංක්‍රමණයට අදාළ විකිරණයේ කාලාවර්ත, නව බිලියන එකසිය අනූ දෙමිලියන හයසිය තිස් එක් දහස් හත්සිය හැත්තෑවක් සඳහා ගතවන කාලය තත්පරයක් විදියට හඳුන්වලා දුන්නට, අපිට විශ්වාස කරන්න පුළුවන් ද ඒකට ගියේ තත්පරයමයි කියලා. ඇයි මං ඒක කිව්වෙ? ඉස්සරහට තේරෙයි.

ගොඩක් අය කියන කතාවක් තමයි out of the box හිතන්න කියන එක. හැබැයි එයාලා ඒක කියන්නෙත් box එක ඇතුළත ඉඳන්මයි. එතකොට theory එකක් ඇතුළත ඉඳන් හිතනවා එළියට ගියා නම් හොඳයි කියලා. මෙතන ඉඳලා මං කියන දේවල්, theory වලට වගේ ම ඔයාලාගෙ දැනට තියෙන දැනුමට පරස්පර වෙන්න පුළුවන්. ඒත් facts වලට විතරයි තර්ක කරන්න පුළුවන්, කවදාවත් විශ්වාසයන් මත තර්ක කරන්න එපා.

ඒ කිව්වේ මොකක් ද? සරල ම තැනකින් ගත්තොත්, ඔයාගේ අම්මා තාත්තා ඔය ඉන්න අයමයි කියලා ඔයා දන්නේ කොහොම ද? ඕනෙ නම් පුළුවන් ටෙස්ට් එකක් කරලා ඒක ඔප්පු කරගන්න. ඒත් එහෙම කරන්න යන්නේ නෑනෙ, ඒක විශ්වාස කරනවා. විශ්වාස කරන දෙයක් වෙනුවෙන් තර්ක කරලා වැඩක් නෑ.

හරි දැන් ආයෙත් මාතෘකාවට එමු. අපි එකිනෙකාට යම්කිසි කාර්යයක් කරන්න ගත වෙන කාලය වැඩි කරගන්න පුළුවන්, ඒ වගේ ම අඩු කරගන්න පුළුවන්. මොනවා කළත්, සරලව ම, අනිවාර්යයෙන් කාලයක් වැය වෙනවනේ. ඒ කියන්නෙ පටන් ගත්ත මොහොතේ ඉඳලා ඍණ කාලයක් ගත වෙන්න බෑ. එහෙනම් අපි දැනට ඉන්න තැන ඉඳලා  කාලය පිටිපස්සට යන්න බෑ, මොන දේ කළත්.

දැන් බලමු ඉස්සරහට යන්න පුළුවන් ද කියලා.

කාලය හරහා ඉස්සරහට යන්න ඕනෙ නම් මොකක් ද කරන්න ඕනෙ? මොකුත් නො කළත් ඉස්සරහට යනවා. හැබැයි අපිට ඕනෙ වෙලා තියෙන්නෙ ඒක නෙවෙයිනෙ. අපිට ඕනෙ අනිත් දේවල් පහු කරගෙන ඉස්සරහට යන්න, ඉස්සරහට ගිහින් බලලා එන්න. තේරුණේ නැද්ද? අපි හිතමු අපේ වටපිටාවේ දේවල් නියත වේගයෙන් (කාලයේ වේගයෙන්) ගලාගෙන යනවා. රේස් එකක දි අපිට ඕනෙ නම් හයියෙන් දුවලා ගිහින් අනිත් අය එනකම් බලන් ඉන්න පුළුවන්. ඒ වගේ අපිට කාල රාමුවේ ඉක්මනට ගමන් කරන්න පුළුවන් නම්, ඉස්සරහට ගිහින් බලන් ඉන්න පුළුවන්.

ඒක හැමෝම කියන දෙයක්නේ. ඒත්, ඒ කියන්නේ ඉස්සරහට වෙන දෙයක් තියනවා කියන එක නේද? අපි ඉක්මනට ගමන් කරලා ඉස්සරහට යන්න නම් ඉස්සරහ දෙයක් තියෙන්න ඕනෙ නේද? එහෙනම් අපිට පිළිගන්න සිද්ධ වෙනවා ඉස්සරහට වෙන්න තියන දේ දැනටමත් (කවුරු හරි) දන්නවා කියල. ඒ කියන්නේ අනාගතය දකින්න පුළුවන් කියලා. යන්න කලින් එහෙම එකක් තියෙනවා කියලා දැනගන්න එපැයි.

කොහොම ද මේ අනාගතය දකින්නේ? අපිට ඉස්සරහට වෙන්න තියෙන දේවල් දකින්න පුළුවන් ද? අපිට පහු වුණ සිදුවීම් දකින්න පුළුවන් ද?

ඇත්තට ම අපිට පහු වුණ සිදුවීම් දකින්න, එහෙම නැත්නම් revise කරන්න පුළුවන් වගේ ම ඉස්සරහට වෙන්න තියන සිදුවීම් predict කරන්න පුළුවන්. මම කියන දේ තේරෙන්නේ නැත්තන් මේ උදාහරණය බලමු.

වතුර බින්දුවක් ගමු. ඔන්න ඔයාගේ අතට වතුර බින්දුවක් වැටුණා. කවුරු හරි ඇවිත් කියලා දෙන්න ඕනෙ නෑ ඒක වැටුණේ මේ විදියට කියලා. ඔයා දන්නවා ඒකේ අතීතය. ඒ වගේ ම තමයි අනික් පැත්තත්. ඔයාට පෙන්නුවොත් වතුර බින්දුවක් ගිලිහෙන රූපයක්, ඔයා දන්නවා ඒ බින්දුවට ඊළඟට මොකද වෙන්නෙ කියල. එහෙනම් ඒ වතුර බින්දුවේ අනාගතය ඔයා දැකලා තියනවා.

මම දන්නවා මේ කරුණු ඔයාගෙ බුද්ධියට සරල වැඩියි. ඒත් හිතන්න, ඒ දේවල් දැනගත්තේ, ඔයා දන්නවා ඒ වතුර බින්දුවේ අනෙක් රාශි සහ සාධක මත ඒකට වෙන්න තියෙන දේ. ඔයාට පුළුවන් නම් හැම දෙයක් ම එහෙම දකින්න? එහෙම වෙන්න බෑ කියලා කියන්න බෑ නේද? කවුරු හරි කෙනෙක් හිටියොත් ඔයාගේ අනාගතයට බලපාන ඔක්කොම සාධක ටික බලලා, ගණනය කරලා, හරියට ම කියන්න ඔයාට අනාගතයේ දි මොකද වෙන්නෙ කියලා, අපිට එයාව නම් කරන්න පුළුවන් අනාගතය දකින පුද්ගලයෙක් විදියට. ඒ විදියට බලන කොට මිනිස්සු විශ්වාස පස්සෙ යන එකෙත් වැරැද්දක් කියන්නත් අපිට විද්‍යාත්මක ව අයිතියක් නැති වෙනවා.

දැන් ඔයාලා බලනවා මම මෙතන කාලය ගැන මාතෘකාවක් දාලා වෙන බහුබූත කියවනවා කියලා. ඇත්තට ම මට කියන්න ඕනෙ වුණේ මේකයි. Technology එක පැත්තකින් තියලා අපිට තියෙන මොළෙන් හිතලා බැලුවා ම, අපිට කාලය හරහා ඉස්සරහට පස්සට දකින්න පුළුවන් කියන එක ඇත්තක්. හැබැයි ඉස්සරහට යනවා ද, එහෙම නැත්තන් කාලයේ flow එකට ම වැටිලා ඔහේ යනවා ද කියන එක නම් technology නැතුව දැනට කියන්න අමාරුයි.

අපි ඊළඟට බලමු, තවත් මිනිස්සු කොටු වෙලා ඉන්න theory මොනවා ද කියලා. එකක් තමයි කාලය කියන්නේ 4 වෙනි මානය කියන එක. ත්‍රිමාන ලෝකෙක ඉඳගෙන සිව් වෙනි මානය ගැන සිහින මවන විද්‍යාඥයෙක්ට හිතෙන්න පුළුවන් කාලය මානයක් විදියට එහා මෙහා කරන්න පුළුවන් වුණ දවසක විද්‍යාව ගොඩක් දුරට දියුණු වෙයි කියලා. ඒත් සිව් වෙනි මානය දකින්න කලින් මම අහන්න කැමතියි ද්විමාන දැකලා තියන කෙනෙක් ඉන්නවා ද කියලා.

ද්විමාන කියන්නේ මොකක් ද? ඇයි මම කිව්වේ ඒක දැකලා නෑ කියලා? ද්විමාන වස්තුවක් කියන්නේ දිගක් සහ පළලක් තියෙන භෞතික දෙයක්. දිගක් පළලක් විතරක් තියෙන දෙයක් දකින්න පුළුවන් ද ගැඹුරක් නැතිව? එහෙනම් අපි දැකලා තියෙන්නෙ තුන් වෙනි මානය විතරයි.

කාලය මානයක් නෙවෙයි (අඩුම ගාණෙ ඔය කියන විදියේ මානයක් නෙවෙයි) කියලා හිතුවොත්? එහෙනම් මොකක් ද? ඒකත් A/L වල පළවෙනි පාඩමේ තියෙන විදියට ම නිකම් ම භෞතික රාශියක් කියලා ගමු. හැබැයි අපි ඒක තේරුම් අරන් තියෙන්නේ වැරදියට වෙන්න පුළුවන්. ඒ කිව්වේ? ඒ කිව්වේ මේකයි. ගොඩක් අය කියන්නේ කාලය සාපේක්ෂයි කියලා. මොකේට ද? කාර්යයට? ගොඩක් දුරට ක්ෂමතාවයට වෙන්න පුළුවන්. ඒත් ඇත්තට ම සාපේක්ෂ කාලය නෙවෙයි නම්? එහෙම නම් අපි කාලයට කරලා තියෙන්නේ ලොකු අවනම්බුවක්.

ඇයි මම එහෙම කිව්වෙ? ඉස්සර මිනිස්සු හිතන් හිටියා අපි ඉන්නේ තැටියක, ඉර අපි වටේට යනවා කියලා. පස්සෙනෙ හොයාගත්තේ අපි තමා වටේ යන්නේ කියලා. ඒත් ඉර යනවා වගේනෙ පේන්නේ? ඔව්, සාපේක්ෂයි. දැන් හිතන්නකො අපිත් ‘ඉස්සර මිනිහෙක්’ වුණ දවසක කවුරු හරි කියයි “ඉස්සර මිනිස්සු හිතන් හිටියෙ කාලය සාපේක්ෂයි කියලා. ඇත්තට ම අපි තමයි කාලයට සාපේක්ෂ” කියලා.

ඇයි මම එහෙම හිතුවෙ? උදාහරණයක් ගන්න. ජීවිත කාලයක් කියන්නේ කොච්චරක් ද? අපි හදාගත්තු ඒකකවලින් ගත්තොත් තමයි මිනිස්සුන්ට සාමාන්‍යයෙන් 80ක් විතර. කෘමියෙක්ට සති ගාණක්. ඉබ්බෙක්ට වගේ නම් 500ක් විතර. හැබැයි ඒ අපි හදාගත්ත ඒකක. ජීවිත කාල කියන ඒකකයෙන් නම් හැමෝට ම එකයි. ඉතින් කාලය ද සාපේක්ෂ, නැත්තන් අපි ද? අපි ගණනය කරන දේකින් මැන මැන, කලින් කිව්ව විදියට ඒ තියරි එකේ ඉඳන් අපිට පුළුවන් ද කියන්න කාලය සාපේක්ෂයි කියලා.

තව සරල කරුණක් ගත්තොත්, ඉස්සර මැනපු මාස දැන් ඒවාට වඩා දින අඩුයි කියලා හිතන්න. අපි අහලා තියෙන විදියට, පෝය දොලහට මාස දොලහක්. දින 28 ගාණේ. එහෙම වෙලා තිබුණා නම් අවුරුද්දට තියෙන දින ගාන අඩුයි. ඒ කියන්නේ මේ වෙන කොට අපි ජීවත් වෙලා ඉඳලා තියෙන අවුරුදු ගාණ දැනට අපි ගැනලා තියන ගාණට වඩා වැඩී. එහෙනම් ඉස්සර මිනිස්සුන්ට සාපේක්ෂ ව දැන් මිනිස්සුන්ගේ ජීවිත කාලය අඩු වෙලා නෙවෙයි, අපි හදපු මිනුම තමයි සාපේක්ෂ වෙලා තියෙන්නේ. අන්න ඒකයි මං මුලදි ම ඇහුවෙ, සීසියම් පරමාණුවකින් හදාගත්තු තත්පරේ විශ්වාස කරන්න පුළුවන් ද කියලා.

හැමදාම වගේ මම මගේ සිතුවිලිවලින් මට තියෙන කරදරයෙන් මිදෙන්න විතරයි මේ සටහන තියන්නේ. මේ ගැන තවදුරටත් කියන්න ගොඩක් දේවල් තිබුණත්, ඒවා කියලා ඔයාගේ thinking capacity එක අඩු කරන්නවත් article එක දික් කරන්නවත් මම කැමති නෑ. ඒ නිසා ඉස්සරහට හිතන එක ඔබට භාරයි. හැබැයි හිතද්දි සාපේක්ෂ ව හිතන්න එපා.

 

Written By: Ravindu Dulakshana

Image Links :

 
Tagged : / /