තාත්තා

Share

ඒ නිහඬ නිශ්චල දේහය වට කරල තිබුන මල්වල සුවඳ තාමත් අපේ ගෙදර පුරාවට ම විසිරිලා තියනවා වගේ මට හිතුනා. සුදු මේස් වලින් වැහිලා තිබුන සුදුම සුදු අත් දෙක උඩ තියල තිබුන රෝස මල තාමත් මගේ හිතේ හොල්මන් කරනවා වගේ . මළ හිරු බැහැගෙන යන හැන්දෑවෙ ඉස්තොප්පුවෙ බිම ඉඳගෙන මම කල්පනා කළේ ඒ ආදරණීය චරිතය ගැන විතරමයි.

මීට දවස් දෙකකට කලින් අවසන් ගමන් ගියේ අපේ ආදරණීය අම්මා. ඇත්තම කියන්න මගේ නැන්දම්මා. පුතාලා තුන් දෙනෙක්ගෙ ආදරණීය අම්මා. අම්මෙක් තාත්තෙක් නැති මට මුලු හිත පුරාවටම ආදරය කළ කාරුණික අම්මා.

එයා කවදාවත්ම කැමති වුනේ නෑ උගත්ම වත්කම ගැන කතා කරන්න ඒ තිබුන නිහතමානීකම නිසා ම වෙන්නැති කියල මට හිතෙනවා. ඒ නිසා මම ඒ කිසිවක් නොකියන්නට තීරණය කළා තනි උන මගෙ හිත දුවගෙන යන්නෙ අම්මා හොයාගෙන නිසා මීට දෙමාසයකට කලින් සිදූවුන සිද්දිය මගේ හිතේ ලියවිලා තියේවි හැමදාටම.

උඩරට ඔසරියට අම්මා හරි ම හැඩයි . එදත් වෙනදා වගේ ම ලා පාට ඔසරියක් ඇඳලා බෙල්ල වටේට ගෙඩි මාලයක් බැන්දලා බෑග් එකත් අරගෙන කොහේදෝ යන්න ලෑස්තිවෙලා උන්නා.

මම ඇහුව ” අම්මා කොහෙ යන්නද ?” කියල. අම්ම කීවා ”පුතා මගෙ කොන්දෙ කැක්කුමක් තියනවා දැන් කීප දවසක ඉඳලා මම ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යනවා” කියලා. මමත් එන්නද කියල අහද්දි අම්මා කීවෙ , තනියම ඇවිදලා පුරුදු මට ඔය ටික තනියම ගිහින් එන්න පුලුවන් දුව කියලා, අම්මගෙ කකුල් දෙක අල්ලලා වැන්ඳ මගෙ ඔලුව අතගාල කීවා මගේ දරුවට තෙරුවන් සරණයි කියලා. මගේ මූන දිහා බලලා වෙනදා වගෙම හිනා වෙල යන්න ගියා. ඒ හිනාවෙ හරිම වේදනාවක් තිබුනය කියලා තේරුම් ගන්න මට ගොඩක් වෙලා ගියේ නෑ.

පැය දෙකකින්වත් අවෙ නෑ එයා ගෙදර මම ඇත්තටම කලබල උනා. ඒත් මට කරන්න තිබුණෙ පාර බලාගෙන ඉන්න එක විතරමයි. පැය හතරක් විතර ගත වෙන්න ඇති අම්මා ගෙදර ආවා. ගෙට ගොඩ උනේ ”දූ කෑම කෑවද?” කියලා අහන ගමන් . මම කීවා ”ඔව් ”අම්මා කියල. මගෙ දිහා බලලා හිනා වෙලා ගේ ඇතුලටම ගියා.

අම්මගෙ අතේ තිබුනා,, සී.ටී ස්කෑන් රිපොර්ට් එකක්.

ඒක මගෙ අතෙන් තියල කීව කියවන්න කියල . මම පේලියෙන් පෙලිය කියවන්න ගත්තා

Heart is normal
Lungs are normal
Kidneys are normal
Liver appears enlarged
A gold-bladder carcinoma is infiltrating both left and the right lobes of the liver

මොහොතක මගේ ඇස් දෙක ම අන්ධ වෙලා ගියා වගේ මතකයි මට . කියා ගන්න දෙයක් නැතිව මම ගොලු වෙද්දි අම්මා මගේ දිහා බලාගෙන හිනා වුනේ මාව අඬවන්න නෙමේ. ඒත් වෙලාවකට ඇහි පිහාටු වලට කඳුලු බර වැඩි උනාම නොදැනීම ඇස් වලින් කඳුලු ගලන එක පුදුමයක් නෙමේ. මම කීවෙ එකම එක දෙයයි. ” අම්මා අපි ලන්කාවෙ ඉන්න හොඳ ම ඩොක්ටර්ව චැනල් කරමු. එයා ඔයාව සනීප කරවී කියලා. ” අම්මා හිනා වෙලා මට කීවා ” දුව මේ කියන දේ අහන්න අක්මාව සම්පූර්ණයෙන් ම වහගත්ත කැන්සර් එකක් නවත්වන්න මොන ජගතෙක්ටවත් බැහැ. ” මට යන්න කාලය හරි වගේ. යන්න දෙන්න මට නිදහසේ ”.

මම දිගින් දිගටම කීව කිසිම දෙයක් කනකටවත් නොගත්ත අම්මා මගේ අත අල්ලගෙන මට කීවා. ” දූ මට පොරොන්දුවක් වෙන්න . කියන්න එපා මේ කිසිම දෙයක් තාත්තට . ඒ මනුස්සය මැරේවි මේක දැන ගත්ත දාට. මම කවදාවත්ම එයාව අඬවලා නෑ . අඬවන්නෙත් නෑ. එයා මාව ඉඳල හිටලා ඇඬෙව්වට.”කොහොමත් මැරෙන මට යන්න බැරිවේවි එයා ඇඬුවොතින් .”

එච්චරයි කියන්න පුලුවන් උනේ අම්මට. හිතේ හිර කරගෙන උන්න කඳුලු කැට ඇස් අගින් ගලාගෙන ආවෙ වේල්ල්ක් බැඳලවත් බේරන්න බැරි විදිහකට .

සත්ව විද්‍යා විශය ධාරාව ගැන මට වඩා ලොකු දැණුමක් තිබුන අම්මා එක්ක වාද කරලා වැඩක් නැති බව මම දැන ගෙන්න උන්නා.
ජීවිතේ මගෙන් ඉල්ලුව එකට ඉල්ලීම අහක දාන්න බැරිතැන මම අම්මගෙ කතාව එකඟ වුනා.

අම්මා ඒ දෙන්නගේ මගුල් පින්තූරෙ අතින් අරගෙන තරුණ තාත්තා දිහා බලාගෙන උන්නා මට අද වගේ මතකයි. අම්මගෙ ඒ සුදුම සුදු කකුල් දෙක ලඟ වැටිලා මම හොඳටම ඇඬුවා. අම්මත් ගොඩාක් ඇඬුවා. හිතේ මහන්සියටම අපි දෙන්නටම නින්ද ගියා.

මම හවස ඇහැරියේ හඳුන් කූරු සුවඳට. හැමදාම වගේ අම්මා මල් පූජා කරනවා. ලොකුම ලොකු අරලිය මල් දෙකක්, හඳුන්කූරු දෙකක් . එක පහන්ක් පත්තුකරලා බුදුන් වඳිනවා නිහඬවම .
බුදුන් වැඳලා මියගිය අම්මගෙ අම්මට, තාත්තගෙ අම්මට , අම්මගෙ අප්පච්චිට තාතගෙ තාත්තට වඳිනවා.ඒ බැතිබර ගතියට මම හැමදාමත්ම ආසයි .
එදා ඔය කටයුතු ඉවර වෙනවත් එක්කම තාත්තාත් ආව අම්මගෙ ලඟට . අම්ම තාත්තා ගෙ කකුල් දෙක අල්ලා වඳිද්දි මට හිතුන මුලු ලෝකෙම එයගෙ කකුල් දෙක ලඟ කඩාගෙන වැටෙනවා කියලා. දෙ උරෙන් අල්ලලා අම්මව නැගිට්ටවපු තත්තා අම්මා දිහා බලලා හිනා වුනා.

ඒ දෙන්නගෙ ආදර කතාව හරිම පුදුම එකක්ලු. ඒක කවදාවත්ම ඒ දෙන්නා කියන්නෙ නෑ . අපෙ මහත්තයා හිනා වෙනවා මෙහෙමත් ආදරයක් දැක්කමයි කියලා. දවසක් තාත්තා කීවා.” වැඩියෙ කතාවට ආවොත් කියනවා මම ළමයින්ට ඔයා මගෙ පස්සෙන් ආව හැටි කියලා. ” මට මතකයි අම්මගෙ මූණ රතු වෙච්ච හැටි.

අම්මා කීවා ” අනේ ඇත්තට මම නොහිටින්න තාමත් ඔයා තනියම කියලා.” වැඩියෙ ආවොත් කියනව්ව මම ළමයින්ට ඔයාගෙ කපටි වැඩ කියලා. ” ගස්සගෙන යන්න ගියා ඒක කියලා.

අපි කට්ටියම හිනා වුණා. හැබැයි ඊට එහා දෙයක් අපි කවුරුත් දන්නෙ නෑ. එයාලවත් දන්නෙ නැතුව ඇතී. අදටවත්. දැනටවත්.

එත් තාත්තා වෙනස් කෙනෙක්. කිසිම දවසක කිසී ම කෙනෙක්ගෙ හිත නොරිදවපු කෙනෙක්. ඒත් සමහර වෙලාවට එයාට අම්මව අමතක වුනා. දැනගෙන උන්නා අම්ම එයාව අත අරින්නෙ නෑ කියන්න. තරහා යනවා. අම්මට කෑගහනවා. අම්මා ගැන හොයන්න වෙලාවක් නෑ. ඔක්කොම වැඩ වෙලාවට . අම්මා හාත්පසින්ම වෙනස් . එකම සමානකම ඒ දෙන්නම කාගෙවත් හිතක් රිදෙව්වෙ නෑ. තමන්ගෙ යුතුකම් උපරිමයෙන් ඉටු කළා.
එදා රෑ මට නින්දක් නෑ. මතක් උනේ අසනීප තත්වෙ ගැන විතරමයි. මට පිස්සු හැදේවි කියල හිතුනා.
පහුවදා පාන්දර අම්මා නැගිටලා උන්නා. මම කුස්සියෙ උයන ගමන් උන්නෙ. එකපාරටට තාත්තා මහා හයියෙන් කෑගහගෙන කුස්සියට ආවා. ”මොන විකාරයක් කරනවද ඔයා. මගෙ කමිසෙ මැදලා දෙන්නෙ නැද්ද ?? . පරක්කුවෙනව අනේ . ඔයා නම් කවදාවත්ම හැදෙන්නෙ නෑ. ”

මගෙ දිහා බලලා සද්ද නැතුව ගියා. තත්තා යන කල් ම සාලෙ පුටුවට වෙලා ඉඳගෙන උන්නා. සද්ද නැතුව.

මට තාත්තා එක්ක එදා නම් තරහ ගියා . කියන්න හිතුනා කෑගහලා අම්මා ලෙඩින් කියලා. මොනා කරන්න ද අම්මට වුන පොරොන්දුව.

මාස එක හමාරක් විතර ගතවෙන්න ඇති. ලස්සන අම්මා ටික ටික කෙට්ටු වුණා. තාත්තාට හොරෙන් බේත් බිව්වා. වේදනාවෙන් කැගැහුවා. තාත්තා ඉන්න වෙලාව කීවෙ” බලන්න අනෙ මගෙ බඩ දනවා ගැස්ට්‍රයිටිස් ” කියලා.

තාත්තා සද්ද නැතුව උන්නා. මට පුදුම හිතුනා.

දවසක් අම්මාව කලන්තෙ හැදිලා වැටුනා. අම්මා ලඟට තාත්තා දුවගෙන ගියා. පිස්සු බල්ලෙක් වගේ. අම්මගෙ මූන අතගාන ගමන් මගේ දිහා බලනවා. එච්චරයි එයා කලේ . දොස්තර කෙනෙක් ගාවට ගෙනියන්න හිතුවෙවත් නෑ.

ටිකකින් අම්මට සිහිය ආවා. තාතගෙ මූණෙ හිනාවක් ගියා . මට එයා එක්ක තිබුන තරහා එන්න එන්න වැඩිවුනා. ඒ අම්මව ඉස්පිරිතාලෙකට ගෙනියන්න උනන්දු නොවුන නිසා.

අම්මගෙ කකුල් දෙක පිට්ටු ගෙඩි දෙකක් වගෙ ඉදිමුණා. ඇඟ කහ පාට උනා. ඇස් ඒත් එහෙමයි.

තාත්තා එයාගෙ විනෝදාංශ නතර කලා. ගෙදර ඉනන වෙලාව වැඩිකලා. අම්මගෙ ලඟට වෙලා උනා. අම්මට කියනව එය ” ඔයා බොරුවට කැගනහවා අනේ . ඔය ගැස්ට්‍රයිටිස් එකක් . ඕක අඩුවේවි පටස් ගාල කියලා. ” අම්මත් කියන වා ”හ්ම්” කියලා.

අම්මට දැන් මල් කඩන්න යන්න බැහැ. තාත්තා අරලියා මල් දෙකක් කඩලා අම්මගෙ අතේ තියලා පූජා කරවනව්වා. අනේ සාoසාරෙ කියලා මට හිතුනා.

දවසක් අම්ම්යි තාත්තයි ලොකු කතාවක් මම අහගෙන උන්නා.
අම්මා: මතකද ඔයාට එදා දවස.පසලොස්වක දවසක්.
තාත්තා:හ්ම්
අම්මා: අනේ කපටියා මාව රවට්ට ගත්තා.
තාත්තා: බොරු කියන්නෙපා. ඔයාටනෙ මාව නැතිව බැරි වුනේ.
අම්මා: හ්ම් . එහෙම තමයි. එත් මතකද?? ඔයානෙ බොරු කලේ මට. මම දැන ගත්තා මාව නැතිවත් බැහැ කියන්න.
තාත්තා: හ්ම් මටත් නැතිව බැරිවුනා ඔයාවා.

අම්මා හිනා වුනා හරි ම සද්දෙන් . මොහොතකින් ඒ සද්දෙන් ම අම්මා අඬන්න ගත්තා. වේගෙන් හරි ම සද්දෙන්. තත්තගෙ පපුවට ඔලුව තියා ගත්තා. කහ පාට වෙච්ච ඇස් දෙක පියාගෙන නිදා ගත්තා.

නින්ද ගියාම තාත්තා ආවා මගේ ලඟට . මගෙ අත අරගෙන මට කීව . දුව මට පොරොන්දුවක් වෙන්න කියල මම කිව්ව ”හ්ම්” කියලා.
” දුවේ මට සමාවෙන්න මෙච්චර දවසක් මම නොකියපු දෙයක් තියනවා.මට තවත් මේ දුක ඉවසාගන්න බෑ පුතේ. මතක ද මීට තුන් මාසෙකට කලින් අම්මට අසනීප වුනා. එදා මට ඩොක්ටර් කීවා. අම්මගෙ full body check-up එකක් කරන්න කියලා. එදා මම දැන ගත්තා අම්මගෙ ඇඟ පුරා විහිදෙන්න පුලුවන් cancer එකක් තියනවා කියලා. ” මම ලන්කාවෙ ඉන්න ඔක්කොම දොස්තරලට කතා කලා. හැම කෙනෙක් ගාවටම ගියා. ඒ හැමෝම කීවා . මේක සනීප කරන්න අමාරුයි කියලා. පුලුවන් තරම් සතුටින් තියන්න කීවා. ඒ නිසා මම තීරණය කළා , කාටවත්ම මුකුත්ම නොකියා ඉන්න. මට සමාවෙන්න දුව. ” මට රහස් රකින්න පුලුවන් එත් ඒ පිස්සට බැහැ ”
අනේ දුව මට තවත් බැහැ මේ දුක දරා ගන්න.
”ඒ මගේ යාලුවා. ඒ මගේ නoගි. ඒ මගෙ අම්ම . ඒ මගෙ බිරිඳ . මගෙ දුක අරගෙන හිනා වුන කෙනා. යන්න ලෑස්තී එයා මාව අතඇරලා. හැම උදේම මට දැනෙන බය මම විතරයි දන්නෙ . බැහැ තවත් ඒ දුක දරා ගන්න මට.”
තාත්තා පුන්චි ළමයෙක් වගේ අඬන්න පටන් ගත්තා.
මෙච්චර කාලෙකට මගේ වීරයා අම්මා. ඒත් අද තාත්තා.

ඒ නින්ද අම්මගෙ අවසන් නින්ද සුදු රෝස මලක් තාත්ත අම්මගෙ අත් දෙක උඩින් තියල හරි ම වේදනාවෙන් ඇඬුවා. මට මතකයි එයා කීවා තව දවසක් ඉන්න කියලා.ඒ කඳුලු අම්මගෙ පිය වෙච්ච ඇස් දෙකට ගොඩක් බර ඇති කියල මට හිතුණා.

අම්මා යන්න ගියා තාත්තගෙ කර උඩින් ආයෙ කවදාවත් ම නො එන්න.
…………………………………………………………………………………………..

අම්මගෙ හත් දවසෙ දානෙන් දවස් දෙකකට පස්සෙ තාත්තා බුදුන් වැන්ඳා . අරලිය මල් දෙක පූජ කරලා. මගෙ ඔලුවෙ අත තියලා කීව බුදු සරණයි පුතා කියලා. නිදා ගන්න ගියා. අයෙ කවදාවත් ම ඇහැරුනේ නෑ එයා.ඒ තාත්තගෙ අවසන් වචනෙ .
යන්න ගියා අම්මත් එක්කම .
තාත්තගේ රස්නෙ යන්නත් කලින් මම ගියා ඒ දෙන්නගෙ කාමරේට. මේසෙ උඩ තිබුනා දින පොතක් . ඒක තාත්තගෙ.. ගොඩාක් පරණ එකක් .

පෙවරවාරි 11
මම යි ගංගාව – ඔබ යි කඳු මුදුන
මම යි ගංගාව – ඔබ යි සාගරය.
මම යි හැන්දෑව – ඔබ යි සඳ එලිය
මම යි හැන්දෑව – ඔබ යි හිමිදිරිය .
මම යි සුදු පියුම -ඔබ යි මට අරුණ
මම යි සුඩු පියුම -ඔබ යි හිරු බසින
මම යි ඔබෙ කවිය -ඔබ යි තෙලි තුඩග
මම යි ඔබෙ කවිය- ඔබ යි වීණාව.
මම යි ජීවිතය -ඔබ යි ඇරඹුම ද
මම යි ජීවිතය -ඔබ යි නැවතුමද .

ඒක අම්මා එයාගෙ තරුණ අකුරින් ලියලා තිබුනා. තත්තා එතනින් ම ලියලා තිබුනා. ”අනේ මට නම් කවි ලියන්න බැහැ ”කියලා. එත් හැම ආත්මෙක ම ඔයාගෙ කවි මම අහනවා කියලා.