සංචාරක ව්‍යාපාරය ධන උල්පතක් ද?

Share

විදේශිකයන් අප රටට සංචාරය කළේ ඈත අතීතයේ සිට ය. ඉබන්බතූතා, මාර්කො පෝලො, පාහියන් හිමි වැනි අතීත සංචාරකයෝ මෙරට මහත් අභිරුචියකින් වර්ණනා කළ අතර, බොහෝ ඓතිහාසික සිදුවීම් ද වාර්තා කර තැබූහ. සංචාරක ව්‍යාපාරය ආදායම් උපයන මාර්ගයක් බවට පත් වූයේ පසුකාලීනව ය. සංඛ්‍යා ලේඛනවලට අනුව පෙරට වඩා අද එය සීඝ්‍ර දියුණුවක් ලබා ඇත. අමු ද්‍රව්‍ය හා යන්ත්‍ර සූත්‍ර මත නො පිහිටා ස්වභාව සෞන්දර්යය මත රඳා පවත්නා කර්මාන්තයක් නිසා සුළු ආයාසයකින් වැඩි මුදල් ප්‍රමාණයක් උපයාගත හැකි වීමත්, විරැකියාවට විසඳුමක් ලැබීමත් නිසාත් මෙරට සංචාරක ව්‍යාපාරය සිත් ඇදගන්නා ලාබදායී ව්‍යාපාරයක් බවට පත් වී ඇත.

අතීතයේ පටන් මෙරටට පැමිණි විදේශීය සංචාරකයෝ ලක්බිමේ මනස්කාන්ත දසුන් කෙරෙහි පෙම් බැඳ ගත්හ. පළාවන් පැහැ වන රොදවල සැරි සැරූ ඔවුහු ස්වභාව සෞන්දර්යත්මක අත්දැකීම සමුදායක් විඳ ගත්හ. ලක් මව වටා පිහිටි වශීකෘත වෙරළ තීරයේ උණුසුම් පහස විඳ ගත්හ. කඳු ශිඛරයන්ගෙන් ඇද හැලෙන රිදීවන් දිය දාරා, මුදු සිනිදු වැලි තලා ද, ශාන්ත නිසංසල තපෝ භූමි, මිහිදුම් සළු පොරවාගත් සීත කඳු, සාගර පරයන වැව්, ඓතිහාසික නටඹුන් නගර, සිත සමාධි කරවන පූජනීය ස්ථාන පමණක් නො ව, හදවතින්ම පැන නගින අවංක සිනහව කැටි වූ ආගන්තුක සත්කාරය ඔවුන්ගේ සිත් ගත්හ. ඒ අතරම, ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමත්, උසස් සංස්කෘතිය උරුම කරගත් ජන ජීවිතයත්, සමශීතෝෂ්ණ දේශගුණයත් ඔවුන්ගේ පැමිණීමට ආශිර්වාදයක් විය.

සංචාරක ආකර්ෂණය මෙරට ආර්ථික සංවර්ධනයට නව මාවතක් වි ය. සංචාරක මණ්ඩල්යේ අනුමැතිය යටතේ ආගන්තුක නිවාස, විශේෂ අවන්හල්, ජල ක්‍රීඩා මධ්‍යස්ථාන ආදී වූ අංග රැසක් ඇතුළත් ව තිබේ. පුරාණ හෙළ රාජකීය ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු සේවක සේවිකාවන් ද හෙළ ආහාර සංස්කෘතීන් ද අද වඩාත් ප්‍රචලිත වී ඇත. ඒ අනුව මෙසිරිලක තව තවත් දෙස් විදෙස් සංචාරකයන්ට විවෘත වුණි.

දිනෙන් දින සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට වෙර දරණ රටක් වන ශ්‍රී ලංකාවට, සංචාරක ව්‍යාපාරය නිසා අත් වූ ප්‍රතිඵල රාශියකි. සංචාරක හෝටල් සහ ඒ ආශ්‍රිත රැකියා, ප්‍රවාහන සේවා සැපයීම ඒ අතර වේ. සංචාරක ව්‍යාපාරයට වක්‍රව දායක වෙමින් ප්‍රතිලාභ ලැබූවන් අතර වේවැල් භාණ්ඩ, වෙස් මූණු නිපදවන ගැමි කලාකරුවෝ ද, අත්කම් නිර්මාණ සහ නිමි ඇඳුම් සැකසීමේ යෙදෙන්නෝ ද මේ පිරිසට අයත් ය. මෙසේ මෙරට ආර්ථිකයට මුල් තැනක් දෙමින් නව රැකියා අවස්ථා රැසකට සංචාරක ව්‍යාපාරය මග පෑදී ය. විදේශ විනිමය ගැටළුවලින් හෙම්බත් වී සිටින අපට මෙම කර්මාන්තය වෙස් වලාගත් ආශිර්වාදයක් යැ’යි සිතේ.

මෙම ව්‍යාපාරයේ ආදීනව නැතුවාම නො වේ. කාලය ගත වෙත්ම අපේ සංස්කෘතිය, සභ්‍යත්වය කෙමෙන් දෙදරා යන්නට වූයේ බලධාරීන්ටත් නො දැනීම ය. දැන් දැන් ලාංකීය පෞරාණික සංස්කෘතික හා සෞන්දර්යාත්මක වටිනාකම් ඔප්නැන්වීම අභිබවා වාණිජ අරමුණු ඉටු කර ගැනීමට දරණ වෑයමක් බව පෙනේ. මෙහි ආදීනව ගැන කාගෙත් නෙත් විවර වූයේ පහත් පෙළේ ආගන්තුකයන් නිසා අපේ කෞතුක භාණ්ඩ විනාශ වීමත්, මත් ද්‍රව්‍ය වැනි දේට බාල පරපුර යොමු වීමත්, සමාජ රෝග පැතිරීම හා ගණිකා වෘත්තිය ප්‍රචලිත වීමත් පසු ය. කණගාටුවට කරුණ නම් මේවාට උඩගෙඩි දෙන්නෝ අවස්ථාවාදී වී සිය මඩි තර කරගන්නා ශ්‍රී ලාංකිකයන්ම වීම ය.

දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් ස්ථාපනය කිරීම, නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වීමත්, සංචාරකයන් විදේශීය තැරැව්කරුවන්ගෙන් මුදවා ගැනීමත් වැනි දේ තුළින් සංචාරක ව්‍යාපාරයේ අඳුරු තැන්වලට ආලෝකයක් ලබා දීමට හැකි වනු ඇත.

බෙදුම්වාදී අරගල නිසා කණ කොකා හැඬූ සංචාරක කර්මාන්තය, නැවතත් නැගී ඒම සංවර්ධනයේ පෙරනිමිති කියා පායි. ස්වභාව සෞන්දර්යයෙන් අනූන අප රට වඩාත් ක්‍රමානුකූලව මෙම කර්මාන්තය පවත්වාගෙන යාමෙන් විශිෂ්ට ප්‍රතිඵල නෙලාගත හැකි වනු නො අනුමානයි.

සේයා රූ: https://bit.ly/2nZMySp

 
Tagged :