දුම්බර ඇල්ල ඔස්සේ නකල්ස් සොඳුරියගේ වතගොත සොයා…

Share

වාහන, මිනිස්සු, දුම්, සද්දවලින් පිරිච්ච නාගරික පරිසරයෙන් මිදිලා හරිත වර්ණ, නිස්කලංක පරිසරයකට සම්මිශ්‍ර වෙලා දවස් කීපයක් හුදකලාවෙ ඉන්න එක අපිට විශාල මානසික සුවයක් ගෙන දෙන්නක් වුණා. දිනය සහ ස්ථානය ගැන දීර්ඝ සංවාදයකින් පස්සෙ නකල්ස් රක්ෂිතයට අයත් දුම්බර ඇල්ල බලන්න යන්න තමයි කට්ටිය එකඟ වුණේ. දුම්බර ඇල්ල කිව්වට දූවිලි ඇල්ල, කළු දිය පොකුණ වගේ ම අනන්ත තටාකය (Infinity pool) වගේ ස්ථානත් අපේ ගමනේ මූලිකාංග වුණා. නකල්ස් රක්ෂිතය නරඹන්න ඇතුළු වෙන්න පුළුවන් තවත් එක් ප්‍රදේශයක් තමයි මාතලේ, රිවර්ස්ටන්වල ඇටන්වත්ත කියන ගම්මානය…

සිතියම සඳහා පිවිසෙන්න.

  • දිනයන් : 2019 සැප්තැම්බර් 13, 14, 15
  • කටුනායක බණ්ඩාරනායක ගූවන් තොටුපළේ සිට දුර : 163 km

අසංක, ලහිරු, කිශාන්ත, මාධව, උදේන, කවීන් සහ බුද්ධික යන ගමන් සගයින් ගමනට සූදානම් වුණා.

බස් රථයෙන් යාමට යෙදුණු මූලික ගමන කොළඹ කොටුවෙන් ගමන් අරඹා මහනුවර හරහා මාතලේට ගොස්, දිනකට ගමන් වාර 2ක් පමණක් ඇති මාතලේ-හෙට්ටිපොළ බස් රථයෙන් (පෙ.ව. 7.30) ගමන් කර, රත්හින්ද හන්දියෙන් බැස ඇටන්වල සුන්දර ගම්මානය කරා ළඟා වීමට නියමිතව තිබුණා. 13 පෝය, 14 සෙනසුරාදා හා 15 ඉරිදා වුණු බැවින් දින තුනේ නිවාඩුවට ගම්බිම් බලා යන මිනිසුන්ගෙන් හා අප වැනි චාරිකාවල යෙදෙන්නන්ගෙන් බස් රථවලට නැගීමට තිබුණේ විශාල තරගයක්. කෙසේ නමුත් දොර දෙකේ බස් රථයක ගෙනියන සෙනඟ ප්‍රමාණයක් තනි දොරේ බස් රථයේ ගිරි දුර්ග සහිත 25 km දුර මාර්ගයේ අප රැගෙන ගිය මාතලේ ඩිපෝවේ රියදුරු මහතාට අපගේ ප්‍රණාමය හිමි විය යුතුයි.

සුන්දර ඇටන්වල ගමට ළඟා වීමෙන් අනතුරුව අපට මග පෙන්වීමෙන් දායක වුණ සුනිල් අයියාගේ නිවසේ මඳක් ගිමන් හැර මධ්‍යාහ්න 12.00ට පමණ ගමන් ආරම්භ කළෙමු.

මානින්ගල හා වල්පලමුල්ල ගමට හැරෙන තුන්මං හන්දියෙන් දකුණු දිශාව ඔස්සේ ශීඝ්‍ර කඳු, පල්ලම්, තැනිතලා පසු කරමින් පැයක් පමණ ගමන් කළ අප අත්හැර දැමුණු ගම්මානයක් වන වල්පලමුල්ල ගමට පැමිණුනා. ලාවලු, පැණි දොඩම් වැනි ප්‍රණීත පලතුරුවලින් කුස පුරවා ගත් අප, කලකට පෙර අස්වද්දා අතැර දැමූ වෙල්යායට පිවිසි අතර එතැන සිට අපගේ ගමනාන්තයන් ඉතා මනස්කාන්තව දිස්වුණා.

මඳ වේලාවකින් නැවත ගමන් ඇරඹූ අපට ශීඝ්‍ර කඳු ගැට මුණ නොගැසීම සහ ඉතා ශීඝ්‍ර බෑවුම් හමුවීමෙන් ලද අස්වැසිල්ල මොහොතකින් නතර වූයේ ආපසු ගමනේ දී එම ‘ලේසි පල්ලම්’ අමාරු කඳු ගැට ලෙස තරණය කිරීමට සිදුවන බව සිහිවීමෙනි. මෙලෙස ගමන් කළ අපි සවස 3.15 පමණ වන විට ‘කුඩා ඔය’ අසල දී සුනිල් අයියාගේ නිවසෙන් ගෙන ආ දිවා ආහාරය භුක්ති වින්දෙමු. ගමන් විඩාවත් සමග එය දිව්‍ය ආහාරයකටත් ඉහළින් දැනුණි. දිවා අහරෙන් සන්නද්ධ වූ අප මඳ වේලාවක් කුඩා ඔය තුළ දෙකකුල් බහාලමින් මසුන්ගෙන් නොමිලේ ලැබෙන පාද සම්බාහනයක පහස ලබා ගත්තෙමු.

සවස 4.00ට පමණ කුඩා ඔය අසලින් පැමිණි අප තවත් පැයක පමණ ගමනකින් පසු පළමු දින ගමනාන්තය වූ ‘දුම්බර ඇල්ල’ ට පැමිණුනා. අතිශයෝක්තියක් තොරව ම ‘දුම්බර ඇල්ල’ යනු මෙතෙක් මා දුටු සුන්දර ම දිය ඇල්ලයි. අවට පරිසරය ‘ඇමේසන් වනය තුළ පවතින අභිරහස් දිය ඇලි’ හෝ ‘නිම් නැති ලොව’ කාටූනයේ පෙන්වූ සොඳුරු දසුන් සිහිපත් කරවනවා.

දුම්බර ඇල්ලෙන් නා පිරිසිදු වී නූඩ්ල්ස්, සෝසේජස්, මුරුක්කු සහ වල්පලමුල්ල ගමෙන් ගෙනා ඉස්තරම් කිතුල් රා වලින් පරිපූර්ණ වූ රාත්‍රී අහරෙන් සප්පායම් වී කූඩාරම් අසල දැල්වූ ගිනිමැලයට වට වී ගී ගයමින් ගෙවුණු පැය කිහිපය මගේ ජීවිතයේ මෙතෙක් ගත කළ සොඳුරු ම රාත්‍රියක් බව කිවමනායි.

ගමන් වෙහෙස නිසා සුව නින්දක් ලද මුත් කූඩාරම වටා වල් ඌරන් සැරිසැරූ බවට හෝඩුවාවන් උදෑසන අපට දක්නට හැකි විය.

දෙවැනි දිනයේ උදේ, දවල් ආහාර සඳහා බතක් ඉවීම සුදුසු බව කාගේත් මතය වූයේ ගමන් විඩාව වැඩියෙන් දැනෙන නිසා හොඳ ආහාර වේලක අවශ්‍යතාව දැනුණ නිසායි. පරිප්පු, චට්නි සහ සකසා ගත් මීට් බෝල්ස් වලින් අපගේ දෙවැනි දින ආහාරය සමන්විත වුණා. උදේ ආහාරය ඉක්මනින් ගෙන දවල් ආහාරය සඳහා කෑම පාර්සල් සකසා අපි ගමන ආරම්භ කළෙමු.

අපහසු දුර්ග සහිත මාර්ගයක් තරණය කිරීමට සිදුවන බැවින් කෑම, වතුර, බිස්කට් සහ වටිනා දේ පමණක් රැගෙන, ගමන් මලු කූඩාරම් තුළ තබා යාමට අප තීරණය කළේ සුනිල් අයියා එහි ආරක්ෂාව තහවුරු කර සිටි නිසායි. ඒ වගේ ම එම තීරණය අපගේ ගමන පහසු කිරීමට විශාල පිටිවහලක් වුණ බව තව ස්වල්ප මොහොතක දී අපට තහවුරු වුණා.

‘දුම්බර ඇල්ලෙන්’ ගමන් ආරම්භ කළ අපට මුලින් ම පසු කිරීමට වූයේ මෙතෙක් තරණය කළ සියලුම දුර්ගවලටත් වඩා අමාරු දුර්ගයකි. එය තරණය කළ පසු ‘නැරඹුම් ස්ථානයක් (Viewpoint)’ වන ‘කළු දිය පොකුණ’ මුණ ගැසුණ නමුත් එය ආපසු ගමනේ දී නැරඹීම තෙක් කල් දමා අවසාන ගමනාන්තය වූ ‘දූවිලි ඇල්ල’ කරා ගමන් කළෙමු.

ගමන පුරාවට ම සිඳී ගිය දොළ පහරවල් සාමාන්‍ය දසුනක් වූයේ මෙය නකල්ස්වලට වියළි සමය වූ බැවිනි. පැයක පමණ දුෂ්කර ගමනකින් පසුව ගමනේ තවත් සංධිස්ථානයක් වූ ‘අනන්ත තටාකය (Infinity pool)’ කරා ළං වුණා. එය ද ‘නැරඹුම් ස්ථානයක් (Viewpoint)’ වේ. එය, කළු ගල් පතුරු ලෙසින් මොනවට සැකසුණු ‘සොබාදම් වඩුවා’ ගේ තවත් සිත්, නෙත් පිනවන නිමැවුමකි.

ඉන් පසු තවත් පැයක පමණ ගිරි දුර්ග තරණයකින් පසුව අප පැමිණියේ අපගේ ගමනාන්තය වූ ‘දූවිලි ඇල්ල’ වෙතයි. පායන කාලය බැවින් ‘ඇගේ ගත වැහැරී’ වඩාත් දුක්ඛිත පෙනුමක් දිස්වූවා. මෙම දූවිලි ඇල්ලේ විශේෂත්වය වන්නේ ඇල්ල පිටුපස ස්වභාවිකව පිහිටි ගල් ගුහා නිසා ඇල්ල පිටුපස සිට නැරඹීමට හැකි වීමයි. සැබැවින් ම එය ඉතා දුලබ ගණයේ අත්දැකීමක්. දූවිලි ඇල්ලට මෙහායින් ගලින් බැඳ ගල් ගුහා ආවරණය කර, පිරිසකට නතරවිය හැකි ආකාරයට සකසා ඇති නමුත් වැසි සමයේ දී දිය ඇල්ලෙන් වතුර වැටීම නිසා දූවිලි ඇවිස්සීමෙන් ඒ අවට රැඳී සිටීමට පවා අපහසු බව නිසා මෙය ‘දූවිලි ඇල්ල’ නමින් හඳුන්වන බව සුනිල් අයියා පවසා සිටියා. ඇල්ල පිටුපස සිට නැරඹීම මනස්කාන්ත, දුර්ලභ නමුත් තරමක බිහිසුණු අත්දැකීමක් වූයේ ලිස්සනසුලු පටු ගල් තලාවෙන් පහත අඩි පනහකට වැඩි ප්‍රපාතයක් වූ බැවිනි. මෙය අපට හමුවන අවසාන නැරඹුම් ස්ථානයයි.

අත්දැකීම් සමුදායකින් සන්නද්ධ වුණු අපට තවත් නැරඹීමට ඉතිරිව තිබුණේ ‘කළු දිය පොකුණ’ පමණයි. දහවල් 1.00 වන විට එම ස්ථානයට පැමිණුනා. වියළි කාලය බැවින් සිහින් දිය දහරාවක් ගල් පොත්ත දිගේ පහළට රූටා ගොස් පහළට වැටී සෑදෙන කළු පැහැ (ඉතා ගැඹුරු නිසා විය හැක) ‘කළු දිය පොකුණ’ සුන්දර වගේ ම බිහිසුණු ස්ථානයක්. වියළි සමය නිසා එහි නියම සුන්දරත්වය දැකිය නොහැකි වුවත් වියළි බව නිසා ම ගල් පොත්ත දිගේ ආරක්ෂිතව (භයානක ගමනක්) තරමක් පහළට ගොස් වඩාත් සමීපව ‘කළු දිය පොකුණ’ නිරීක්ෂණය කළ හැකි වුණා.

තවත් දෙයක්… අප ගමනේ දී මුලින් හමු වූ අත්හරින ලද වෙල්යායට ‘දුම්බර ඇල්ල’ ත් ‘දූවිලි ඇල්ල’ ත් යන ගමනාන්ත දෙක ම නිරීක්ෂණය කළ හැකි බව මා පෙර සඳහන් කළා. එලෙස ම දූවිලි ඇල්ල, කළු දිය පොකුණ හා අනන්ත තටාකය යන ‘නිරීක්ෂණ ස්ථාන’ වල දී එම වෙල්යාය ද ඉතා සුන්දරව දැක ගත හැකි වුණා.

මෙලෙස සියලු ගමනාන්ත නිමා කිරීමෙන් පසු නැවත ‘දුම්බර ඇල්ල’ අසල අපගේ කූඩාරම වෙත පැමිණ දිවා අහර භුක්ති විඳි අප ලහි ලහියේ ම ආපසු ගමන් ඇරඹියේ අපගේ දෙවන දවසේ ගමනාන්තය වූ ‘කුඩා ඔය’ කරා පැමිණීමටයි. සවස 5.30ට පසු එම ස්ථානයට පැමිණි අප කුඩා ඔයෙන් නා පිරිසිදු වී රාත්‍රී අහර ද ගෙන ඉක්මනට නින්දට ගියේ උදේ පාන්දරින් ම ගම්මානයට පිටත් වීම සඳහායි. කුඩා ඔය අසල ගල් තලාව මත සුව නින්දක් ලැබීම නවමු අත්දැකීමක් වුවත්, ඉතාමත් සීත සුළං දහරා සහ කිණිතුල්ලන්ගේ ප්‍රහාර නිසා එම අත්දැකීම පැයකට පමණ සීමා විය.

පසු දින අලුයම ගමන ඇරඹි අපට පෙර කී ලෙස ශීඝ්‍ර කඳු තුනක් පමණ පසු කිරීමට සිදු විය. කෙසේ වෙතත් උදෑසන 10.00 පමණ වන විට නැවත ඇටන්වල ගම්මානයට පැමිණි අප සුනිල් අයියාගේ නිවසෙන් දිවා අහර ද ගෙන නැවත ගමන් ආරම්භ කළේ නකල්ස් සොඳුරියට සමු දෙමිනි.

හෙට්ටිපොළ-මාතලේ-මහනුවර හරහා කොළඹට බසයේ පැමිණි ගමන ද පහසු එකක් නොවූයේ ගමන පැමිණීමේ දී මා පෙර සඳහන් කළ හේතු කාරණා නිසා ම ය. තව ද මෙතෙක් ගමනක දී සිදු වූ කටුක ම සිදුවීම වූ කොළඹ සිට හොරණ බසයක් පැමිණෙන තුරු පැය තුනකට අධික වෙලාවක් කොටුව බස් නැවතුම්පොළේ රැඳී සිටීම වැනි හේතු කාරණා හැරුණු කල සංවිධානය කළ ආකාරයෙන් සියලු කටයුතු සිදු වූ නිසාත්, මෙතෙක් නොදුටු සොඳුරු දසුන් රැසක් මතක පොතට ඇතුළු කර ගැනීමට හැකි වූ නිසාත් සමස්ත ගමන ඉතා සාර්ථක සංචාරයක් වූ බව කිවමනා ය.

තව ද නොදිරන කිසිවකින් නකල්ස් සොඳුරිය නොකෙලසා ඇගේ සුන්දරත්වය විඳි බව නිහතමානී ආඩම්බරයකින් කිව හැක.

නැවතත් සොඳුරු සංචාරයක් සඳහා එක්වීමේ කතිකාවතක් සමඟින් මෙසේ අපි විසිර ගියෙමු.

සොබාදම යනු අපේ මවයි… රසවිඳිමු… නමුත් ඇය දූෂණය නොකරමු… ඒ අපගේ ම හොඳට ය…

 

Written By Ashain K. Sannasgama

Image Courtesy: Ashain K. Sannasgama

 
Tagged : / / / / /