මාතෘ භූමිය පූජනීය යි වන්දනීය යි මන නන්දනීය යි. …!

Share

අතීත හෙළ ජනතාවගේ ගරු ගාම්භීර දේශාභිමානී හැඟීමක ඔල්වරසන් හඬ මුවඟින් රැව් පිළිරැව් දුන්නේ ඒ අයුරිනි. ඉන්දු මුහුදු තීරයකට මායිම්ව පිහිටියා වූ නීල මාණික්‍යය විරුදාවලිය ලත් මෙ පින්බිම උත්තරීතර මිනිසුන්ගේ වාස භූමියක් බව ඉතිහාසය තුල පෙලහර පාමින් කළ කී දෑ තුලින් මනාවට පැහැදිලිය. ඉදින් ඒ සා විශාල සංස්කෘතියක් සහිත දියුණු මිනිසුන් සිටි කුඩා දේශය තුළ සාරඝර්භ අගනා වටිනා ශක්තීන් අතර සර්ව කලාවන් ප්‍රකටව පැවති බවත් මනාව රට දැය සමය කළමනාකරණයට හා පරිපාලනයට ලක් කල උත්තුංග රජ වරුන් හා රණ සෙනෙවියන් මෙන්ම විවිධ වූ රාජ්‍ය පාලන සමයන් හිදී එල්ල වූ ආක්‍රමණ, ලෙඩ රෝග, ස්වාභාවික ආපදා වැනි විවිධ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් ඉදිරියට පැමිණුනු ජාතික වීරයන් අප රට තුළ වාසය කළ බවට ලිඛිත ඉතිහාසය සාක්ෂි සාධක දරයි.

අතීතයේ පටන්ම නිදහස් නිවහල් රාජ්‍යයක ස්වකීය දෛනික වැඩ කටයුතු ඉටු කරගනිමින් , ආගමට දහමට ද ඇලුම් කරමින් මානුෂවාදී සරල ජීවන රටාවකට හුරුකමක් දැක්වූ පැරැන්නෝ එම රාටාවෙන් අත්මිදීමට සිදුවන ආකාරයේ ඕනෑම අභියෝගයක් වී නම් එය වහ වහා නිශේධනය කොට දැමීමට ක්ෂණයකින් සංවිධානය වූවෝය. හුදෙක් වර්තමානයේ  එවැනි විරුවන් පිළිබඳ කතාබහට ලක් කරන්නේ අවුරුද්දේ එක්තරා දිනයකට පමණක් නම් එය දෙවරක් තෙවරක් නොව සිය දහස් වාරයක් සිතා බැලිය යුතු කරුණකි. කෙසේ වෙතත් ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියන අභිමානවත් පරපුරක පෙරළිකාර වීර චරිත කරළියේ ඉස්මතුවන දවස අපේ රටට එනම් ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු නොව ලබාගත් දිනයයි. ඒ 1948 වර්ෂයේ නවම් මස 04 වැනිදාය එදින පටන් වාර්ෂිකව නිදහස සමරන සම්ප්‍රදායක් ඉතිහාසය තුළ ගොඩනැගී ඇත. මෙවර එය අප 72 වන වරට සමරනු ලබයි. ඉතිහාසය වැළලී යන යුගයක එයද අගනා වටිනා කටයුත්තකි. සැබැවින්ම එවන් එඩිතර මිනිස්සුන් ගේ ලේ දහදිය මතින් මෙතෙක් දුර අපගේ මාතෘභූමිය පැමිණ ඇති බව වටහා ගත යුතු කාරණාවකි. ඉතිහාසය අමතක කිරීම හෝ තදින් අල්ලා ගැනීම හෝ සිදු නොකල යුතුය. මද්‍යස්ථ ව මත විමසීමකින් ගත යුතු ප්‍රයෝජනවත් දෑ පමණක් වෙන් කර ලබා ගත යුතුය. පැහැදිලිවම ලිඛිත ඉතිහාසය තුළ අපට දැන ගන්නට ලැබෙන්නේ යම් කාල සීමාවක් දක්වා පමණි. එනමුදු ඉන් එපිට ඉතිහාසය එනම් යම් යම් පුරාවෘත පිලිබඳ පසුවිපරමක් කිරීම හෝ ගවේෂණයක නිරත වීමට වර්තමාන තරඟකාරී කාර්යබහුල ලෝකය අභියෝගයක් වී ඇත. කෙසේ වෙතත් එවන් මාතෘකාවන් වෙත ද විශ්වාසයකින් හෝ අවිශ්වාසයකින් තොරව තොරතුරු සොයා බැලීම සිදු කිරීම වැදගත්ය.

ජාතික වීරයන් ඉතිහාසයට හෝ පොතකට හෝ දිනයකට පමණක් සීමා නොවිය යුතු මෙන්ම කාලයෙන් ස්වායත්තව වීරයන් අගය කල යුතුය. විය යුත්තේ ද එයමය. ආසන්නතම උදාහරණය නම් මෑතකදී පටන් ලොව පුරා පැතිර යන අතිශය දරුණු ඝනයේ වෛරසයක් වන කොරෝනා වෛරසය පිළිබඳ ආන්දෝලනාත්මක සංසිද්ධියයි. එහිදී කොරෝනාහි ආරම්භය වාර්තා වූ චීනයේ වූහාන් හි වාසය කළ අපේම රටේ ශ්‍රී ලාංකික පුද්ගලයන් තිස් තුන් දෙනෙකු ඉන් මුදවා ගැනීමේ මානුෂික මෙහෙයුම පිළිබඳ ශ්‍රී ලාංකිකයන් වශයෙන් සැවොම එකාවන්ව ඔවුන් වෙනුවෙන් බලාපොරොත්තු සහගතව හා ආශීර්වාදාත්මකව ඒ දෙස බලා සිටීම පවා ඉතාමත් ප්‍රශංසනීය ය. තාක්ෂණිකව ඉතා දියුණු මට්ටමක පවතින රාජ්‍යයන් පවා වූහාන්හි සිරව සිටි ස්වදේශීකයන්ට සිය දේශයේ දොරටු වැසූ මොහොතක තාක්ෂණික වශයෙන් ඉතා ඉහළ මට්ටමකට ළඟා වී නොසිටිය ද උත්තුංග මානුෂික හැගීම් ජනිතවන එඩිතර මිනිස්සුන්ගෙන් පිරුණු මෙ පින්බර භූමියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිරත එඩිතර වෛද්‍යවරුන් හා හෙද හෙදියන් මෙන්ම සෞඛ්‍ය අංශයන්හි නිලධාරීන් හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ න්‍යෂ්ටික හා ජීව විද්‍යාත්මක අවි බලගනයත් ගුවන් හමුදාවත්, එම පිරිස මෙරටට රැගෙන ආ ගුවන් යානයේ සේවය කරන කාර්ය මණ්ඩලයත් සිය දිවි පරදුවට තබා ලද අභියෝගය සාර්ථකව ජයග්‍රහණයක් කරා මෙහෙය වීමට දැරූ එම කෘතහස්ත උත්සාහය කියා නිම කළ නො හැකි අමිල වූ මෙහෙවරකි. සැබැවින් ම ඔවුන් මෙකල ජාතික වීරවරුන්මය. තාක්ෂණික හෝ ආර්ථික ව කුමන මට්ටමක සිටිය ද අපේ රටේ මිනිස්සුන් හට ඉන් ඵලක් නොවන්නේය. ඔවුන් පුංචි රටේ ලොකු හිත් ඇති ඇත්තෝ ලෙසින් වූහාන් හි සිරවී සිට මෙරටට පැමිණ එක්තරා සිසුවෙක් සිය ෆේස්බුක් ගිණුමක පවා සටහන් කරන්නේ ‍මාතෘභූමියට පමණක් නොව වාසය කරන මිනිසුන්ට පවා ආදරය කරන කකියනා ලේ ඇති දේශප්‍රේමී හදවත් ඇති ජනතාවක් මේ ලකඹර තුළ සැමදාමත් ජීවමානව වාසය කරන බව මුළු ලෝකයටම පසක් කරමිනි.

නවතම වාර්තාවලට අනුව බුද්ධි ගලනයේ හා බුද්ධිමත් මිනිසුන් සිටිනා රටවලින් දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇත. අතීතයේ පටන් මේ දක්වාම බුද්ධිමතුන් ඕනෑතරම් අප රට තුළ පහළ වී ඇත. අදත් හෙටත් එලෙසින්ම මෙරට තුළ බුද්ධිමතුන් පහළ වනු ඇත. නමුත් අවාසනාවකට මෙන් ඔවුන්ට දිවි ගෙවීමට සුදුසු වාතාවරණයක් අප රට තුළ නිර්මාණය වන තුරු ඔවුන් සියල්ලෝම බුද්ධි ගලනයට හසූවූවෝම වන්නේය.

වර්තමානයේ බොහෝ ප්‍රමාණයක් ශ්‍රී ලාංකික විද්‍යාඥයන් වෙනත් දේශ දේශාන්තර වල පර්යේෂණයන්හි යෙදෙමින් ලෝකයටම සේවය කරමින් වාසය කරති. ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටුවා ඇති නාසා ආයතනයේ විද්‍යාඥයින් 263ක පිරිසක් ශ්‍රී ලාංකිකයෝ වීම එක් උදාහරණයක් පමණි. එවන් ලෝකය පුරා ඉතා ඉහළ මට්ටමක ප්‍රසිද්ධියක් හා වැදගත්කමක් උසුලන ජාත්‍යන්තර මට්ටමේ ආයතන වල පුංචි රටේ ලොකු හිත් ඇති මිනිස්සු අපේ රටට සේවය කරමින් ලෝකයටම ආලෝකයක් වෙමින් වාසය කරති. මෙරට තුල කෙතරම් නව නිර්මාණ කරුවන් සිටිත් ද ? රටේ සංවර්ධනයට සැලසුම් ලබා දියහැකි උගත් ප්‍රජාවන් හා වෘත්තීය මට්ටමින් ඉහලම තත්ත්වයන්ට ළඟා වූවෝ මෙන්ම ව්‍යවසායකත්වය තුළින් ලෝක ප්‍රසිද්ධිය ලත් අගනා වටිනා මිනිසුන් කොතරම් ඉන්නවා ද ? ඔවුන් හට අප රට තුළ අවස්ථාවන් හා ලැබිය යුතු නිසි ගෞරවය ද ලබාදෙමින් ඔවුන්ගෙන් ප්‍රයෝජනයක් ලබා නොගැනීමත්, විවිධ පටු දේශපාලනික අභිලාෂයන් හමුවේ ජරාජීර්ණ වන සමාජයීය, ආර්ථික, සංස්කෘතික හා අධ්‍යාපනික ආදී සියලුම අංශයන් කඩිනමින් හා යුහුසුළුව කළමනාකරණයට ලක් කර මෙපින්බර භූමියේ ජනිතවූ සියලුම මිනිසුන් ආකල්පමය පරිණාමයකින් අනාගතය කරා මෙහෙයවීමට පියවර ගන්නා තෙක් අප රට සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයක්ම වන්නේය.

ශ්‍රී ලංකාව තුළ මූලික අධ්‍යාපනය හදාරා විදේශගතව පර්යේෂණවල නිරන්තරයෙන් නිරත වෙමින් ලෝකයේ
පවතින ගැටළුවලට විසදුම් සොයනා මිනිසුන් සිටින මේ පුංචි රාජයට අභ්‍යන්තර ගැටලු විසදාගත නොහැකි ය
යන්න ප්‍රායෝගික නැත. ශ්‍රී ලංකා යන නාමය ලෝකයට රැගෙන යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද අමතක නොකල යුතුය ඔවුන් හට ද ජයග්‍රහණයන් අත්පත් කර ගත්ත ද නොගත්ත ද නිසි ආකාරයේ පැසසුමකකට ලක් කිරීම අනාගතය ජයග්‍රහණයන් කරා මූල බීජයක්ම වන්නේය. විද්‍යාඥයින් වේවා රණවිරුවන්, ක්‍රීඩකයින් , කලාකරුවන් , ව්‍යාපාරිකයන් ආදී මොනයම් හෝ ධනාත්ම අයුරකින් ලංකා නාමය ලොව සුපතල කිරීමටත් රටෙහි සංවර්ධනයට හා ජාතියේ ප්‍රගමනයට දායකත්වයක් දක්වන යම් අයෙක් වේද ඒ සියල්ලෝ ම ජාතික වීරයෝ ලෙස සැලකිය හැක. ඔවුන් සියලුම ජනතාවගේ ඇගයීමට හා ගෞරවාදරයට පත් වන දිනයක අරගල මතින් ශ්‍රී ලංකාව
ලද නිදහසේ උතුම්ම අරමුණ ඉෂ්ට වී අප ලකමව ස්වර්ග රාජ්‍යක් ලෙසින් හා සමස්ත ලෝකයේ දියුණුම රටක් ලෙසින් වැජඹෙන දේශයක් වනු නොඅනුමානය.

Written By- සංජුල මදුෂාන් දිසානායක.

Image Courtesy ;

  1. Title image : https://bit.ly/39EFAoz
  2. Content images :
 
Tagged : /