එදා නෙතු අයාගෙන නුඹේ ආගමනයට
බියක් ද සතුටක් ද දැනුණු දේ කිමද වග
කියන්නට වදන් පෙළගස්වන්න අදත් මට
බැරි කිමද නොදන්නෙමි නුඹෙ සිනා දකින කල
දිනෙන් දින මා අසල නුඹෙ දිවිය වැඩෙන විට
නුඹ ගැබට ළං වන්න සිහින පොදි බැන්ද මම
කලක් ගොස් නුඹේ පෙම වෙනතකට හැරුණු කල
හැඬූවෙමි සතුටක් ද දුකක් ද ඒ දැනුණෙ මට
මගේ පෙම අතැර දා නුඹ එදා ගිය විගස
සිතූවෙමි නුඹ මගෙන් වෙන්ව ගියත් එලෙස
රකින්නට යන බැවින් උතුම් මව් ලංකාව
ඉකි බිඳුම් සඟවන්න දරමින් බොහෝ වෙහෙස
යුධ බිමේ මරු සමඟ සටන් වැද සතුරු කැළ
පරදවා පුතුනි නුඹ යළි එතැයි සිතූව ද
නොඑන්නට නුඹ ගොසින් දොළොස් වසරක් අදට
තව ද සොයනෙමි නුඹව මේ අහස් වියන යට…
Image Courtesy : https://www.google.lk/amp/s/tvaraj.com/2012/07/27/an-aged-mothers-plea/amp/