සුමුදු සිසි සෙනෙහෙන් බැඳුණු මුදු
දුරින් සිටි මල් හා වෙළී…
අඳුර කිසිවිට නැත කළේ පෙම්
හිරුට රහසින්වත් කිසි…
කඳුළු බිඳු ගනඳුරේ තරු වී
මකයි සඳුගේ තනි නිතී…
වලාකුළු වී නොකියු සිතුවිලි
සැඟව ඇත වැස්සක් නොවී…
කොමළ මල් පෙති සුවඳ දී
නුබ ගැබට පෙම් ගී කිය කියා…
රුවින් රුව දිදුලුවා දුලමින්
සඳට සිනහව තිය තියා…
ළං ව සිටි මුදු හිමි එළිය
පමණක් ම වුව කවි නොම කියා…
පර ව ගිය මුත් මල් දිනෙක,
ගනඳුර හිඳී සඳ ළඟ නොයා…
අහස ගුගුරන හඬක නද ගෙන
කැළඹි සැඩ රළ ගිම් දිදී…
සඳුට පෙම් බැඳි නමුදු ගනඳුර
නොපවසා සුළඟක එතී…
පිරී විකසිත සිත් තඹරු පෙති
මුකුලිතැ’යි පෙන්වා නිතී…
සියුම් කැපුමක රිදුම පෙරටුව
හැඟුම් ඇත මිහිදන් නොවී…
Image Courtesy : https://bit.ly/2OICmYK