සරසවි වරමක්

Share

වහලෙන් වැටෙන වැහි බිඳුවෙන් නො තෙමෙන්ට

බූරු ඇඳේ නිදි නැති රැය නොගෙවෙන්ට

අම්මා අතින් හැදු රස වේලක් කන්ට

බෝඩිම අතැර එන්නට සිත්වෙයි ගමට

 

අම්මේ නුඹෙ පැතුම අප රජ කරවන්ටයි

සරසවි මවගෙ තුරුලට යැව්වේ එයටයි

ගිනිගත් නගරයේ නිවී සිප් ලැබගන්ටයි

එනමුදු මගේ හදවත තවමත් ගමටයි

 

දෝලාවෙන් යන කුමරියෝ සිත කලඹයි

රජ ඉසුරින් පිරි කුමරුන් හද හඬවයි

නංගි මලනුවන් විඳිනා දුක සිහිවෙයි

වාවා ගත නොහැක අම්මේ මා මියැදෙයි

 

වැහි බිඳු මගේ සටහන් බොඳ කරන්නෙපා

මා නැණ පහන් නිවී දැහැනින් මුදන්නෙපා

අසරණ මව් ගෙ පැතුමන් බිඳ දමන්නෙපා

‍යදිනා දෙවියනේ මට පිටුපාන්නෙපා

 

අසූව දශකයේදී පේරාදෙණිය සරසවියෙන් සිප් ලබා, අද රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වන මගේ සමීපතමයකුගේ ජීවන අත්දැකීමෙන් බිඳක් මෙසේ පද වැලකට ඇමිණූ වගයි.