සුපින්බර වෙසඟෙහි මෙත්සිත් සිහිවැනුම

Share

බුද්ධශූන්‍ය කල්ප සහසක් අතික්‍රමණය කරමින් සපැමිණි බුද්ධෝත්පාද කාලයක, ක්ෂණ සම්පත්තිය ඇසුරු කොටගනිමින් දුර්ලභ පින්වන්ත උතුම් මනුසත් ආත්ම භවයකට හිමිකම් කී ලෝකවාසී සැදැහැති බෞද්ධ ජනයා සිහිපත් කරන ශ්‍රී.බු.ව 2565 ක් වූ වෛශාක්‍ය මංගල්‍යය මෙසේ උදා වූ වගයි. ශ්‍රී ගෞතම බුදුරජාණන් වහන්සේගේ අනුහසින් ගලන සදහම් ගඟුලේ පුර්වෝක්තිය සංකේතාත්මක ව සිහි කරනු වස් සොබා ධරණී තලය ම සෞම්‍ය හැඩයකින් විකසිත වන බව සැබෑ ය.

නමුදු ජම්බුද්වීපය විශාලා මහනුවර තුන් බිය උපද වූ අහිවාතක වසංගත තත්ත්වයට නොදෙවෙනි කොරෝනා වසංගතයෙන් ලොවක්, කම්පාවට තුඩු දෙමින් පසුවන අවදියක, අකම්පිත ව තමා මෙන් ම එකිනෙකා කෙරෙහි ද චිත්ත සන්තානයන් කුසලයෙහි රඳවමින් බෞද්ධ ජනයා වන අපි සැම සමසිතින් මේ වෙසඟෙහි අරුත සිහිපත් කරමු.

සැනසිලිදායක දිවි පෙවෙතකට නිසැක මාර්ගෝපදේශ සපයන බුදුන් වහන්සේ වරෙක මෙසේ දේශනා කරන ලදී.

“තුම්මේහි කිච්චං ආතප්පං – අක්ඛාතාරෝ තථාගතා

අත්ථ දීපා විහරත – අත්ථ සරණ අනඤ්ඤ සරණ”

කිනම් වයස් තරාතිරමක වුව ද අපි මේ මොහොත වන විටත්, විවිධ ආතතිවලින් පීඩා විඳින්නෙමු. ඉහත ගාථා පාඨය අනුව ද, තම විමුක්තිය තමා විසින් ම උදා කරගත යුතු ය. බුදුරදුන් වෙසෙසින් ම අවධාරණය කරන ලද්දේ තමන් වහන්සේ මග පෙන්වන්නෙකු පමණක් ම වන බවත් සැනසීම ළඟා කරගත යුත්තේ ඒ ඒ පුද්ගලයන් විසින් ම බවත් ය. සබ්බාසව සූත්‍රයට අනුව යමින් ලෞකික මනසෙහි ගොඩනැඟි ආතතීන් දුරු කිරීමෙහි ලා සඳහන් ධර්ම කරුණු අප දිවියට සමීප කරගැනීම වඩාත් උපයෝගීමත් ය. සබ්බාසව සුත්‍රයේ සඳහන් පහත සත්වැදෑරුම් ප්‍රායෝගික කරුණු සිහි එළඹවා ගනිමින් ආතති කළමනාකරණය උදෙසා යොදා ගත හැකි ය.

1) දස්සන පහතබ්බා

අවබෝධයෙන් යුතුව දැකීමෙන් දුරු කරගැනීම.

අටලෝ දහමෙහි සඳහන් සම්මා දිට්ඨිය නමැති යහපත් දැකීම තුළින් පුද්ගලයෙකු තුළ තිබෙන කායික මානසික පීඩාවන් දුරු කළ හැකි ය. සංක්ෂිප්ත ව ගතහොත් අසත්‍ය සත්‍ය වශයෙන් පිළිගත් විට ද, සත්‍ය අසත්‍ය වශයෙන් පිළිගත් විට ද, වැරදි තීරණයන් හි දැඩි ලෙස එල්බ සිටීමෙන් විවිධ මානසික අවපීඩනයන්ට ලක් වේ. නූතනයේ නිවෙස් තුළ මනා අවබෝධයක් දෙදෙනා තුළ නොමැති වීමෙන් විවිධ ගෘහස්ත ප්‍රශ්න රැසක් පැන නැගී ඇත. බටහිරයේ ආතති කළමනාකරණයේ දී දැකීම පිළිබඳ චින්තාවලිය යනුවෙන් මෙය හඳුන්වයි.

2) සංවරා පහතබ්බා

ඉන්ද්‍රියන් සංවර කර ගැනීමෙන් ගැටලු විසඳීම.

අසීමාන්තික ව පංච ඉන්ද්‍රියන් පිනවීම හේතුවෙන් වත්මන් සමාජයේ බොහෝ උදවිය අර්බුදකාරී තත්ත්වන්ට මුහුණ දෙන බව නිසැක කරුණකි. සරලව ම කිවහොත් උපදවන කෙළෙස් පහ කරගැනීම, පංච ඉන්ද්‍රියන් පාලනය කර ගැනීමෙන් මැනවින් සිදු කළ හැකි ය. සමාජයේ බොහෝ අනතුරු කෝලාහල ඇතිවනුයේ, ඉන්ද්‍රිය සංවරය නොමැතිකම හේතුවෙනි. එබැවින් පසු තැවීම් කෙරෙහි ඉඩ නො තබමින් කටයුතු කිරීම යහපත් ය.

3) පටිසේවනා පහාතබ්බා

පරිභෝග කිරීමෙන් ගැටලු විසඳීම.

අයෙක් අධිපරිභෝජනයෙහි ඇලී සිටින අතර තවත් අයෙක් මූලික පරිභෝජනයට හෝ  කිසිවක් නොමැති ව පසුවෙයි. ආහාර වස්ත්‍ර වුව ද නිසි පරිදි පරිභෝග කිරීමෙන් තමාට මෙන් ම අන් අයට ද සෙතක් සැලසෙනු ඇත. මෙ කරුණු දීඝනිකාය – සිඟාලෝවාද සූත්‍රයෙහි ධන පරිභෝජනය කළමනාකරණයෙහි පූර්වෝපායන් පිළිබඳ මනාව පැහැදිලි කර ඇත.

4) අධිවසනා පහාතබ්බා

ඉවසීමෙන් ගැටලු විසඳීම

සියුම්  කරුණකට පවා සිත් සසල කරවන සිදුවීම් සිදුවනුයේ ඉවසීම ප්‍රගුණ නො කළ සිත් ඊට පෙළඹීමෙනි.

සබ්බාසව සූත්‍රයෙහි මෙසේ දක්වා ඇත. “නුවණින් සලකා බලා ඉවසන්නේ වෙයි. උෂ්ණය, බඩගින්න, මැසිමදුරු, සුලං, අව්ව, සර්ප ආදී ඉවසන්නේ වෙයි. දිවි පැහැර ගැනීමට තරම් වූ ශරීර වේදනාවන් ඉවසන්නේ වේ. මහණෙනි,මේ කෙළෙස් ඉවසීමෙන් නැති කළ යුත්තාහු.”

එ නිසා අප ඉවසීමෙහි මනස් පිහිටුවීම සිදු කළ යුතුම ය.

5) පරිවජ්ජ්නා පහාතබ්බා

මඟහැරීමෙන් ගැටලු විසඳීම

අයුතු තැන් හා පවිටු මිතුරන් ආශ්‍රය නුවණින් සලකා බලා කටයුතු කිරීම යහපත් ය. පාපී ක්‍රියාවන්ට එළඹෙන මොහොතේ හිරි ඔතප් සිහි එළඹවා එවැනි දේ මග හැරීම මගින් කායික මානසික දුක් පීඩාවලින් මිදිය හැකි ය. වසල, පරාභව, මංගල, සිඟාලෝවාද සූත්‍රයන්හි දී මේවා අර්ථවත් ව දක්වා ඇත.

6) විනෝදනා පහාතබ්බා

ඉවත් කිරීමෙන් ගැටලු විසඳීම

වෛරී සහගත, කෝපය මුල් කොටගත් තත්වයන් මනැසින් වහ වහා දුරු කරගැනීම, තම කුසල ශක්තිය ඇසුරින් ම සිදු කළ හැකි ය. අප තුළ පවතින විෂම අදහස් ඒවා ඉපදීමට බලපාන කරුණු ගැන මෙනෙහි කර සිහි නුවණින් ඉවත් කරමින් කටයුතු කිරීමෙන් තමා පිළිබඳව ද ආත්ම තෘප්තියකට පත් විය හැකි ය.

7) භාවනා පහාතබ්බා

භාවනා කිරීමෙන්  ගැටලු විසඳීම

නියමාකාරයෙන් සිහිය පිහිටුවාගෙන සතර සතිපට්ඨානය වැඩීමෙන් සිත දියුණු කරගෙන එමඟින් කෙළෙස් පහ කර දැමීම මෙහි දී සිදු වෙයි. එදිනෙදා පවත්වාගෙන යන සාමාන්‍ය ක්‍රියාවන්හි දී පවා භාවනාව ප්‍රගුණ කළ හැක. සිත්හි හටගන්නා නොයෙක් වැදෑරැම් ආතතීන් දුර කර ගැනීමට භාවනාව මහත් සේ උපකාර කරගත්තෝ බොහෝ ය.

 

ඉදින් වර්තමානය වනවිට ස්වභාව ධර්මයා විසින්, ඉහත කී කරුණු නිසියාකාර ව අප ජීවිතවලට ළඟා කරගන්නා ආකාරය මොනොවට පහදා දෙමින් සනාථ කරන සමයක් එළඹ  ඇත්තේ ය.

රෝගී සිත් සතන් සුවපත් කරවන, ධාර්මික දිවි පෙවෙතක් උදෙසා කුසල සිත් උපදින, අකුසල සිත් ප්‍රහීණ කරවන, ආතති පහව ගොස් සිහි එළඹවන පරිසරයක් නිර්මාණය කිරීමෙහි ලා මෙම වෙසක් සදහම් පණිවිඩය ඒකාලෝකයක් ම වේවා !

 

Written by: H.B. Tharushi Dimuthu Bhagya

Image Links:

 
Tagged : / /