සසිරිමත් නව වසරට සුබාසිරි වේවා!

Share

වෙනත් වසරවල මෙන් ආන්දෝලනාත්මක ව අවුරුදු සිරි සැමරුමට සැරසෙන අවුරුද්දක් නොවන නමුත්, පුංචි මල් කැකුළු නම් ඒ බවක් නොදන්නා හැඩයි. සොබාදමේ අසිරිමත් පෙරනිමිති නම් වෙනදා වැනි ය.

බක්මහ වරුණ කියාපාන රතට රතේ ඉදුණු කජු පුහුලන් මෙන් ම අතු ඉති බර වන්නට මත්තෙන් ඕනෑවටත් වඩා පැසෙන අඹ, රඹුටන් ලොකු කුඩා සැමට මෙදා සැරෙත් බක්මහ සමරන්නට සැරසෙන්නැ යි දෙන්නා වූ ඉඟි වැනිය. ඉඳින් අප අවුරුදු සිරි විඳින්නට සූදානම් නොවන්නේ කිම්ද? කොරෝනා වසංගතය හමුවේ මඳ පමණින් අඩපණ වූ සිංහල-දමිළ අලුත් අවුරුදු සිරිත් විරිත් කෙමෙන් කෙමෙන් ගොඩනගන්නට මව්පියන් විසින් තම දූ දරුවන් දිරි ගන්වන හැඩයි.සිහළ නැකැත් චාරිත්‍රානුකූලව අප්‍රේල් දහහතර වන දිනට සුබ ලකුණු යොදාගෙන සමරන්නා වූ අලුත් අවුරුදු උදාවට පෙර මෙන් ම පසුව ද කාර්යබහුල දිවි පෙවෙතකට හුරු වූ අපේ පොඩිහිටියන් මෙන්ම වැඩිහිටියන් ද නැවත නැවතත් උගන්නා දෑ බොහෝ ය.

ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා

වරෙල්ලා වරෙල්ලා වැල්ලේ පදිමු රං ඔන්චිල්ලා

අලුත් අවුරුදු නිවාඩුවට ගම්බිම් බලා පිටත්  වන අප ඇඟිලි ගනිමින් බලා සිටින්නේ අත්තම්මලා සීයලා ලහි ලහියේ මුණුබුරු මිණිපිරියන් වෙනුවෙන් ආදරයෙන් සෙනෙහසින් සූදානම් කළ කැවුම්, කොකිස්, පැණි අලුවාවල රස බැලීමට නොවේද?

එදා හෙළදිව දශක ගණනාවකට පෙර සිටම පැවතෙන නොනගතය අලලා ආගමික චාරිත්‍රයන් හි නිරත වන්නට මත්තෙන් සියලු කර්තව්‍යයන් පසෙක ලා කහවන් ගොයමින් හැඩවුණු කෙත් වතු මැදින් සිහිල් සුළං රැළි ඇඟ දවටමින් ගමේ පන්සල කරා පියමනින විට සිතට කා වදිනුයේ සිංහල අපේකමයි. නොනගතය අහවර වී ඊළඟට පුංචි එවුන් ඇඟිලි ගනිමින් බලා සිටින්නේ අලුත් අවුරුදු උදාවත් සමඟ ම යෙදෙන නැකැත් සීට්ටුවේ මීළඟ චාරිත්‍ර අංගය වන වැඩ ඇල්ලීම, ආහාර අනුභවය හා ගනුදෙනු  කිරීම වෙනුවෙනි. අත්තම්මා-සීයා අම්මා-තාත්තාගේ ආදරය සෙනෙහස සපිරි සුසංයෝගයෙන් සැකසෙන කැවිලි මේසයෙ හි පූර්ණ වගකීම දරනුයේ පුංචිත්තන් ය.

මෙම සිරිත් විරිත් අතර විනෝදාස්වාදය, එකමුතුකම, සහජීවනය මෙන් ම ශ්‍රී ලාංකිකත්වයේ අනන්‍යයතාවය පිළිඹිබු වන අලුත් අවුරුදු උත්සව ලංකාවේ සෑම ස්ථානයකම පවා සංවිධානය වන සමයකි මේ. අපේ පැරැන්නන් ඉතාමත් සංවිධානාත්මකව සිහළයන්ටම අවේණික වූ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් අං ඇදීම,තරගයට රබන් සුරල් වැයීම, තිරික්කල් රේස්, පංච දැමීම යනාදී තරඟයන් සිදු කළ නමුත් ක්‍රමයෙන් නූතන ජන සමාජයෙන් ඒවා ඈත් වන බවක් පෙනී යයි. ඒ වෙනුවට ඕනෑම අයෙකුට පහසුවෙන් ම සහභාගී විය හැකි අලුත්ම තරඟ අවස්ථා කීපයකින් ම නව අවුරුදු උත්සව ප්‍රතිස්ථාපනය වී ඇත.

ඉදින් අප්‍රේල් මාසය, සැණකෙළි සමයක් වන්නට ගත වන්නේ හෝරා කීපයක් නොවෙද? නව මුහුණුවරක් සමඟින් අලුත් වන මෙම සති කීපය උත්සවශ්‍රීයෙන් ගත කරන අතර ම පරණ අවුරුදුවල එකිනෙකාගේ සිත් තුළ පැවති මත භේදාත්මක සිතුවිලි අහෝසි වී , බැඳීම් තව දුරටත් ස්ථාවර වන වසරක් බවට පත් කර ගනිමින් සාමය, සතුට, සෞභාග්‍යය සපිරි සුබ ම සුබ නව වසරක් වේවා යැයි ඔබ සැමට ප්‍රාර්ථනා කරමු.

Image Courtesy :

Featured Image : https://bit.ly/3UDStrE

Image 1 : https://bit.ly/3mwUbyt

Image 2 : https://bit.ly/3KB7zK0

Image 3 : https://bit.ly/3KE3Qv3

 
Tagged : /