විස්සෙන් විසි එකට

Share

ජනවාරි මාසය නම් කරලා තියෙන්නේ රෝමානු මිථ්‍යා කතාවල සිටින, “ජේනස්” නම් අරුම පුදුම දෙවියන්ගේ නමින් කියලා ඔයාලා දන්නවාත් ඇති. එකිනෙකට විරුද්ධ දිශා බලා සිටින හිස් දෙකක් ඔහුට තියෙනවා. ප්‍රබන්ධවල එන විදිහට, එකක් අතීතය දෙසත්, අනික අනාගතය දෙසත් බලා සිටිනවලු.

ඇත්තෙන් එබඳු අර්ථයක් සමඟ තමයි අපි හැම අවුරුද්දක් ආරම්භ කරන්නේ

නව දශකයක් සුබ අනාවැකි මැදින් උද්යෝගයෙන් අරඹන්නට සිටි ලෝකයාට 2020 වසර පුරාවට නොසිතූ විරූ සිදුවීම් පෙළකට මුහුණ දෙන්න සිදු වූ බව පුන පුනා කීම අනවශ්‍යයි. අලුත් අවුරුද්දක් එළඹෙන වෙලාවේ ඇයි මේ පරණ කතා කියලා ඔයාලා ඇහුවොත්, අතීතයකින් තොර ව වර්තමානය ගත කරන්නත්, අනාගතය ගොඩ නඟන්නත් බැහැ නේද? ඉතින් පහුගිය අවුරුද්ද ම අසුබවාදී නොදැක, සෑම අත්දැකීමක් තුළ පුංචි හෝ පාඩමක් අපට ඉගැන්වීමට සමත් වුණු ගෙවුණු දවස් ආවර්ජනය කරලා 2021 පිය මනින්නට ආරාධනා කරනවා.

බලය හඹා ගිය බොහෝ පිරිසකට නිරෝගි බව උතුම් ලාභය කොට සලකන්නටත්, ආත්මාර්ථයෙන් පිරී සිටි අයට තමා වෙනුවෙන් කැපවෙන අනෙකා අගය කිරීමටත්, කාලයට කොටුවී බැඳීම් අතපසු වූ අයට එකිනෙකා ගැන සොයා බලන්නටත්, තාක්ෂණයට අත නොගැසූ අයට එයින් වැඩ ගන්නටත්, පිටරට දෙයින් ආඩම්බර වූවන්ට සියරට වටිනාකම් පිළිගැනීමටත්, දක්ෂයන්ට පොදු අරමුණක් වෙනුවෙන් නව විද්‍යාවන් සොයා යන්නටත් 2020 අවුරුද්ද සුදුසු ඉඩ හසර ලබා දුන්නා. දියුණුව යැයි නිර්වචනය කර ගත් බොහෝ මංපෙත් අතරමඟ වසා දැමුණත්, පුද්ගල සමාජයක් ලෙස නොපෙනෙන මානයකින් අප වර්ධනය වූවා සේ ම ගස් වැල්, වනසතුන්, සයුරු, ගංගා ගහණ ස්වභාවික පරිසරය අපෙන් කරදර නොවිඳ නිදහසේ සුන්දර වැඩුණු බව අපි දුටුවා. වගේ ම, සිතීමේ හා පරිකල්පන හැකියාවෙන් දියුණුතමයන් ලෙස පරිණාමික ව ඉහළින් සිටියත්, ලෝක ධර්මතාවන්ට අප තවමත් යටත් බව සොබාදහම අපට කරුණාවෙන් මතක් කර දුන් අයුරුත් මේ අතර ම සිහියට ගත යුතුයි.

බුදු රජාණන් වහන්සේ දේශනා කළ පරිදි යමෙකුගේ වීර්යය දැන ගත හැක්කේ ආපදා අවස්ථාවක දීයි. අපත් මේ මොහොතේ දිරියෙන් යුතු ව ඉදිරියට ගමන් කරමින් බව ප්‍රකට කළ යුතුයි. වගේ ම, සිතූ දෙය නොම වන – නොසිතූ දෙය ම සිදුවන ලෝකය විවෘත ව දකිමින් අපට ලැබී ඇති කුඩා ම දෙයට පවා කෘතවේදි වීමත් 2021 අපේ හර පද්ධතියට එකතු කර ගනිමු. තරු රටාවලින් අපගේ ජීවිත මෙහෙය විය නොහැකි බව දැන යහපත්, ඵලදායී අරමුණු කරා අපේ විභවයන් දිශා ගත කර ගනිමු. කිසියම් විටක අලස අධෛර්යයට පත් වුවහොත්, ලෝකය වෙනුවෙන් ඉටු කිරීමට අපටත් පැවරුණු කාර්යයක් ඇති බව සිහිපත් කර ශක්තිය උපදවා ගනිමු. ඉතින්, මේ නව ඇරඹුමේ දී, නව දොරටු විවර වී ඔබේ ජීවිත ආලෝකවත් වන සුබ අලුත් අවුරුද්දක් වේවා යි අප ඔබට ප්‍රාර්ථනා කරනවා !!!

 

Written by Nipuni Kadupitiya

Image courtesy: https://cutt.ly/ljqannp

 
Tagged : / / / /