ඉතාලියට මොකද උනේ?

Share

මිහිපිට ජීවයක් ඇති සියල්ල දිනක නැසී යනු ඇත. මරණය කාටත් පොදු ස්වභාවික සත්‍යකි. නමුත් ඔබගේ ආදරණීයන්ගෙන් ඈත් වී, අතහැර දැමූ රෝගියෙකු ලෙස රෝහලක ඇඳක් මත මියැදීමට සිදුවීම සහ ඔබේ ආදරණීයෙකු එලෙස මිය ගිය බව දැන අවසන් ගෞරව දැක්වීමටවත් අවස්ථාව නොලැබීම කොතරම් වේදනාත්මක විය හැකිද? ඉතාලි වැසියන් දරුණු ලෙස මේ වේදනාව විඳි අතර, තවදුරටත් විඳිමින් සිටිති. ලොව දෙවන හොඳම සෞඛ්‍ය සේවය හිමි රට, මිනිසුන් 10,000ට සාපේක්ශව වැඩිම දැඩිසත්කාර ඇඳන් ප්‍රමාණයක් හිමි රට, ලෝකයේ දිනකට මිය යන වැඩිම covid 19 ආසදිතයින් සිටින රට බවට පසු ගිය දින වලදී පත් වූයේ කෙසේද? මේ සොයා බැලීම ඒ පිලිබඳවයි.
සාමාන්‍යයෙන් රෝහලක යම් ඇඳන් ප්‍රමාණයක් හදිසි අනතුරු සහ වෙනත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන රෝගීන් නිසා පිරී පවතී. පසු ගිය සති කීපයේ සිට ඉතාලියෙන් අනපේක්ශිත ලෙස දිනකට අමතර රෝගීන් දහස් ගණන් වාර්තා වෙද්දී, ලෝකයේ ඉහළම මට්ටමේ සෞඛ්‍ය සේවයක් තිබියදීත් ඉතාලිය කොරෝනා රෝගීන් වාර්තා වීමේ සීඝ්‍රතාවයට සාපේක්ශව ප්‍රතිකාර කාර්යක්ශමව සැපයීමට අපොහොසත් විය. මෙහි ප්‍රතිඵලය වන්නෙ වළක්වා ගත හැකිව තිබූ කොරෝනා මරණ රාශියක් කණගාටුදායක ලෙස වාර්තා වීමයි. මේ මරණ වළක්වාගත හැකිව තිබූ මරණ වීමට හේතුව වන්නේ නිසි ප්‍රතිකාර ලැබුවේ නම් සහ රෝහල් ධාරිතාවය ඉක්ම නොගියේනම් මෙම ප්‍රතිඵල බොහෝ වෙනස් විය හැකිව තිබූ නිසයි.

අවසානයේ ඔවුන් තීරණය වන්නේ අවුරුදු 50-55 වයස් කාණ්ඩයෙන් ඉහළ රෝගීන් අත්හැර දැමීමයි . දිනකට වාර්තාවන රෝගීන් ගණන අඩු වුවානම් හෝ රෝගීන් වාර්තා වන සීඝ්‍රතාවය අඩු වුවානම් සෑම රෝගියෙකුටම ප්‍රතිකාර ලැබීමේ අවස්ථාව ලබා ගත හැකිව තිබිණි. නමුත් නියපොත්තෙන් කැපීමට තිබූ දේ පොරවෙන් කැපීමට සිදුවනතුරු ඉතාලි වැසියනුත්, පාලකයනුත් බලා සිටීමේ ප්‍රතිඵල ඔවුන් විඳවමින් සිටින අතරම ලොව අන් රටවල්වලට අමතක නොවන පාඩමකුත් ඔවුන් උගන්වමින් සිටිති.

කොරෝනා රෝගයට අනුව නියපොත්තෙන් කැපීම යනු ” සමාජ දුරස්ථකරණය”යි.  සමාජ දුරස්ථකරණයෙන් සිදුවන ප්‍රධානම සේවය වන්නේ රෝගීන් වාර්තාවන සීඝ්‍රතාවය හැකිතාක් අඩු කිරීමයි . එයින් වාර්තාවන සුළු සිද්ධි සංඛ්‍යාවට සරිලන උපරිම සෞඛ්‍ය සේවය සැපයිය හැකි නිසා මරණ සංඛ්‍යාව අඩු කරගත හැකියි.

ඉතාලිය මුල් රෝගීන් වාර්තා වන අවස්ථාවේදීම සමාජ දුරස්ථකරණයට යොමු වූවා නම් කොරෝනා වෛරසයෙන් මෙතරම් බලපෑමක් කිසිවිටෙකත් සිදු නොවන්නට තිබිණි. ඉදිරියටත් මෙය සුළුකොට තකන තවත් රටවල්වලට මීට වඩා දරුණු ඉරණමකට ගොදුරු වීම නැවැත්විය නොහැකිවනු ඇති. මේවන විටත් ඇමරිකාව , ස්පාඤ්ඤය වැනි රටවල් කොරෝනා ව්‍යාප්තියේ සංධිස්ථාන වන බවට රතු එළි පෙන්වද්දී ශ්‍රී ලංකාව වැනි කුඩා රටක සිටින අප පුරවැසියන් වශයෙන් අප සතු වගකීම් රට වෙනුවෙන් ඉටු කළ යුතු කාලය එලඹී ඇත. අද ඔබේ වගකීම්සහගත ක්‍රියාකලාපය හෙට ලෝකය තුළ සිංහල ජාතියේ පැවත්මට පමණක් නොව හුදෙක් මුළු  මිනිස් වර්ගයාගේම පැවැත්ම මිහිමත කොතරම් කල් පවතීද ‍යන්න තීරණය කරනු ඇත.

Image courtesy :-https://bit.ly/39UEip3

 
Tagged :