පර ව යන මල් පොකුරකට වී
බඹරු එනතුරු මඟ බලා
සුවඳ අතහැර ගැයෙන පෙම් පද
සිසිලකට ඉක්මන් උනා
සලිත මුකුලිත මල් පියලි මත
ගුම් සරින් රොන් විසිරුවා
නැවත නොනැගෙන මියැදි සඳ ළඟ
රාත්‍රිය පියමං කළා
අසමාන සම රූප හැඩතල
ඇගේ ලොව ළඟ දිදුලනා
කිම ද අරුමැසි සිතුවමක අද
සුදු මලින් ගෙත්තම් ගෙනා
සුමුදු සුළඟට පෙම් බැඳපු සිත
සීතලට වෙවුලුම් දෙනා
අනේ මම හරි බයයි ඕවට
තනිකමට හිත හුරුවෙනා
මා නොමැති දා කඳුළු නොම සඟවා
හඬනු මැන
සිතැඟි මල් පෙති විසිරුවාලන
අහිමි වූ සුළඟේ…
සිහිනයෙන් දුටු නුහුරු අමයුරු
ඇඟිලි තුඩු ළඟ දිදුලනා
ජීවයෙන් ලත් තව්තිසාවක
තියුණු මඟ එළි විහිදුවා
රික්ත සිහසුණු අතරමං වුණු
පවුරු නෙක බැඳ හිස් කකා
කවුළු ඇරපන් ඇවිත් ඉන්නම්
නුඹේ තනියට දිවිතුරා…
Written By: Dineth Gunawardana
Image link: https://bit.ly/3EUAGTM