වැලි කතරේ සුසුම

Share

ගැහැනිය සුළඟ වැනි ය. විටෙක හමා යන මඳ නල ඇය යි. විටෙක චණ්ඩ මාරුතයක් වී හමා යන යන සැඩ සුළඟ ඇය යි. පිරිමියෙකුගේ සිත අවුලා දවාලන්නට මෙන් ම, සනසා නිවාලන්නට හැක්කේ ද ගැහැනියට පමණි.

“Woman at the Point Zero” : වැලි කතරේ සුසුම, සිසිර අලහකොන් මහතා විසින් පරිවර්තනය කරන ලද, මා විසින් එතෙක් මෙතෙක් කාලයක් පුරා දෑස් ස්පර්ශ කර තිබු අග්‍රගණ්‍ය පරිවර්තන කෘතියකි. මෙම කෘතියේ සෑබෑ කතුවරිය වන ඊජිප්තු ලේඛිකා නාවල් එල් සාදවී විසින්, 1973 දී ඇයගේ සෑබෑ ජිවිත අත්දැකීමක් සංකෝචනය කරමින් මෙම කෘතිය රචනා කරන ලදී. ඇයගේ පෑන් තුඩින් බිහිවෙන මේ කෘතිය තුළින් ජිවිත වීණාවේ තත් ගැහැනියකට වැයීමට කෙතරම් අපහසු ද යන වග මොනවට පිළිඹිබු කෙරේ.

අරාබි කාන්තාවන්ගේ විමුක්ති සටනෙ සටන්කාමී ලේඛීකාවක් වු ඇය වෛද්‍යවරියක මෙන්ම එක්සත් ජාතින්ගේ උපදේශිකවක ලෙස ද කටයුතු කළා ය. කලුපාට යකඩ පොලුත්, ජනේල තුළින් දසත පැතිර යන ඒ කුරිරු බවත්, “බන්ධනාගාරය” යන වචනයේ ඇති සෑබෑ මූසල බවත් නිතැතින් ම ඇය දැන සිටියේ, තමන් ද ඒ හැඟීමට මුහුණ දුන් වීර කාන්තවක් වු නිසාවෙනී. නමුත් 1981 සැප්තැම්බර් 5 වෙනිදා ඇය බන්ධනාගාරයට පිය නගන්නේ සිරකාරියක ලෙස නොව මනෝ චිකිත්සක වෛද්‍යවරියක් ලෙසට ය.

“පිර්ඩවුස්”, මුලු කාන්තා ලෝකයට ම ආගන්තුක ගැහැනියක් වන ඇය වටා ගොඩනැගෙන මේ ජිවිත හුවමාරුව එකල අරාබි ජිවිකාවේ සමාජිය, සංස්කෘතික හිඩැස් උලුප්පා දැමීමට සමත් වන්නේ කෘතියේ අවසන සිත්සතන් සන්තාපයෙන් වෙලා ගනිමිනි. ක්වන්ටීර් සිරගෙදර යනු හුදෙක් තම ආත්මය සනසාලීම වස්, එකල සමාජ උසැස් යයි සැලකු පුද්ගලයන් විසින් ඉදිකරන ලද සිරගෙදරකි. “ඔබට ඇය වාගේ ගැහැනියක් සිර ගෙදරින් පිටත හරි සිරගෙදර තුළ හරි කවදවත් මුණ ගැසෙන එකක් නැහැ”, යනුවෙන් බන්ධනාගාර වෛද්‍යවරයා පවසා සිටියේ සැබෑවකි. පිර්ඩවුඩස්ගේ දෙඇස් දුටු කිසිවෙකු ඇයගේ මිනීමැරුම් චෝදනාව පිළිගැනීමට මැලි වූයේ නිරායාසයෙනි. එවන් කතක් කෙලෙසක ද සියලු සමාජ බැමි බිඳ දමමින් තම ස්වයං සංතෘප්තිය උදෙසා පර පණක් නසාලන්නේ ?

“පුද්ගලයෙකුට දෙවතාවක් උපදින්න පුලුවන්ද කියන ප්‍රශ්නය සමහර වේලාවට මගේ හිතට ආවා” ; පිර්ඩවුස් ජිවිතයේ මැරී සිටි ගැහැනියක මිස හීන කඳුවලින් සැදුම්ලත් නුතන ගැහැනියක නොවූවා ය. කුඩාකාලයේ දී තම පියාගේ තාඩන පීඩන හමුවේ හෙම්බත් වන ඇය, නියං සමයේ කඩාහැලෙන පිනිවැස්සක මෙන් කුඩා හෝ ආශ්වාදය ලබාගන්නේ තම මාමණ්ඩියගෙනි. සිතින් ඔහුට ප්‍රේම ඇරයුම් යවන ඇයට කිසිදිනක තම ආදරය සැබෑවක් නොවීම කෙතරම් අවාසනාවන්ත ද?

සංස්කෘතියේ අන්තගාමී අතකොලුවක් නොවී ඇයගේ මාමාගේ මඟපෙන්වීමෙන් පිර්ඩවුස්ට නිසි අධ්‍යාපනයක් ලබාගැනිමට වරම් හිමිවිය. නමුත් කාන්තාවක් වීමේ අවාසනාව නිසා දෝ ඇයගේ ජිවිතය උඩුයටිකුරු වීමට ගතවන්නේ නිමේශයකි. පිරිමියාගේ මුදු ස්පර්ශයට මෙන්ම, පිරිමියාගේ රළු අත් පහරට ද තම ආත්මය පේකිරිමට එකල ගැහැනුන්ට නියම වී තිබිණි. නමුත් රාගී ගිනිදැල් අවුලුවාලන, සනසාළන ගැහැනුන්ට කවදත් වටිනාකමක් නියම ය. ඔවුන් අතින් අතට මාරුවන සිල්ලර කාසි මෙනි. සමාජ උකුසු ඇස්වලින් පිර්ඩවුස්ට ද ගැලවීමක් නොවී ය.

ඇයට ජීවිතයේ තෝරා ගැනීමට දෙවියන්  වහන්සේ නියම කොට තිබුණේ මාර්ග දෙකකි. එනම් පිරිමියාගේ ආත්ම සුරාන්තයේ මෙහෙසිය වීම හෝ සිල්ලර කාසියකට තම ආත්මය යට කිරීමයි. පිර්ඩවුස්ට තමා විසින් තමාගේ ආත්මය පාවා දීම, පිරිමියෙකුගේ බිරිඳක් වීමට වඩා සියදහස් ගුණයකින් සොම්නසක් වීම තුළින් ම එකල සමාජ රාමුව තුළ ගැහැනියට පැවැති සමාජ මට්ටම පිළිබඳ කතිකාවතක් ගෙන දැක්විය යුතු නැති බව පැහැදිලි වේ. “මගෙ අම්මා අපරාධකාරියෙක් නෙමේ. කිසි ම ගැහැනියෙක් අපරාධකාරියෙක් නෙමේ. අපරාධකාරයෙක් වෙන්න නම් පිරිමියෙක් වෙන්න ඕනී”. එකල අරාබී සමාජය තුළ සිදුකරන ලද අභීත කාන්තා හඬ මුළු මහත් ක්වන්ටීර් සිරභූමිය පුරා දෙඳුරුම් දෙන්නට විය. පිරිමියෙකුගේ පපුව සිසාරා පිහි පහර එල්ල කරමින් මුළු ශරීරය පුරාවට පිහි ඇනුම් සිතැඟි පරිදී එල්ල කළ, ලේ පිපාසිත මෘග ධේනුවක් වූ පිර්ඩවුස් සෑබෑ සුරාන්තයේ ආස්වාදය විඳීමට සමත් විය.

ඇය කෙදිනකවත් මරණයට බය වුයේ නැත. බය වුයේ තමාගේ ම දිලිසෙන දෑස් යුගළට ය. මුළු මහත් සමාජය ම බියෙන් සසළ කරවීමට ඇගේ දෑස්වලට හැකිවිය. “මම සාර්ථක ගණිකාවක් විතරයි. කොච්චර සාර්ථක ගණිකවකට වුණත් පිරිමි සේරම අඳුන ගන්න විදියක් නෑ. එත් මට ලොකු ආසාවක් තිබුණා මම දැනගෙන සිටිය හැම පිරිමියට ම අත දිග ඇරල හොඳ කම්මුල් පාරක් ගහන්න”; පිර්ඩවුස්ගේ අවසන් වචන පෙළ පවනට මුසුවන්නේ ඔවුන්ගේ ආත්මීය නිදහස ලබාගනිමින් ය.

 

Written by: Ishara Udari

 

Image Courtesy: https://bit.ly/3UTVZN9

 

 
Tagged : / /