අග මුල නැති ලියක් නොවන්නට!!

Share

ජීවිතය නම් වූ රංගනය තුළ එක් එක් කාල පරාසයන් හීදී විවිධ චරිතයන්ට පණපොවන්නී ‘ඇය’ නම් වේ. විටෙක ඇය ගෙදර සුරතලිය වන අතර තවත් කලෙක ඇය තවත් දිවියක් එළිය කරන සිරිකත බවට පත් වන්නීය. ඒ සියල්ලටත් වඩා තවත් විටෙක ජීවයක් දස මසක් කුස දරන් ලේ කිරට හරවමින් ලොවට බිහි කරන්නී ඇය වේ. ජීවිතේ ඇයට දුන් සීමා මායිම් අබියස සිය සිහින අතහැර ඇගේ පවුල හා ආදරණීයයන් වෙනුවෙන් කැප කරන කතුන් මෙලොව කොතෙක් නම් ඇති ද?.

සැබෑ කරගන්නට නොව තමන්ට රිසි සිහිනයක් දකින්නටවත් වරම් නැති කතුන් සමාජයෙහි ඇතැම් ජන කොට්ඨාශයන්හී අදත් දුක කඳුළු වලට හරවමින් සිටිනු ඇත. සිහින අතහැර මාපියන් අමතකව ආදර බස් වලට රැවටුණු දහසකුත් කතුන් අදත් දුක් ගිනි මොළවමින් රහසින්ම පශ්චත්තාප වනු ඇත. එවන් යුගයක ඇයට වෙන්වුණු එක් දිනයකින් ඇයට ඇති ඵලය කුමක්ද?.
විසඳුම ඇත්තේ ඇයට සම තැන සෙවීමේවත් අයිතිවාසිකම් දිනා ගැනීමට කතා කිරීමේවත් නොවන්නේය. කළ යුත්තේ සම තැන නොව හිමි තැන ලබා ගැනීමට ඇයම උත්සුක වීමයි. සීමා මායිම් වැට කඩුළු තිබේවි; සමාජය දහසකුත් අපවාද නඟාවී, එනමුත් ජයග්‍රහණය ඇත්තේ බාධක පසු කර සිහිනය සැබෑ කරගන්නා තැනම වේ. එවිට ඇයට හිමි තැන ඉබේම ලැබෙනු ඇත.

හිමි තැන ලබා ගැනීමට නොව ඒ ගැන සිතන්නටවත් තහනම්වූ යුගයක කාන්තාවන්ට යුක්තිය ඉටු කිරීම පිණිස දිනයක් නම් කරන ලදී. එදාට වඩා අද සමාජය වෙනස් වෙමින් පවතී. මාගේ මතය නම් තවදුරටත් යුක්තිය වෙනුවන් හඬ නැඟීමට අවශ්‍ය වන්නේ නැත. දැන් එළඹව ඇත්තේ ඇගේ වාරයයි. මන්ද, සමාජයෙහි බොහෝ තැන් අද වන විට ඇය දිනා අවසන්ය. එබැවින් තවදුරටත් ඇය හැඳි මිටට උපමා නොවනු ඇත. සිහින දකින්නට,ඒවා සැබෑ කර ගන්නට ඇයට අයිතියක් ඇත. එහෙත් ඇගේ සීමාවන් හා වගකීම් මොනවාදැයි ඇය හොඳාකාරයෙන් දැන සිටිය යුතුය. ඇය ලොවක් ආලෝකමත් කරන ලියක් වන්නේ එවිටය. සීමා මායිම් මැද වගකීම් දරාගෙන ලොවක් දිනන කත සැබැවින්ම සුන්දරය.

ඒ ඒ කාළ සීමාවන්හීදී ඇගේ වගකීම් මැනවින් ඈ දැනගත යුතුය. මා ද මෙය කියවන ඔබ ද දැන් පසු කරමින් සිටිනුයේ එවන් වූ තීරණාත්මක අවධියක් ය. සුභ සිහින රාශියක් පොදි බැඳන් මාපියන් බැඳි සීමා මධ්‍යයෙහි ජිවීතය ගොඩ නඟන අපට කලින් කල හමුවන්නෝ ද සිටිති. සීමාවන් තුළ එවන් වූවන් සිටීම වරදක් නොවන බව මම පිළිගනිමි. එහෙත් එවැනි අය උදෙසා වසර ගණනක් පුරාවට මාපියන්ගේ ඇවෑමෙන් දුටු සිහින බොඳ කර දැමිය යුතුදැ යි ඔබම තීරණය කළ යුතුව ඇත. මන්ද පැමිණෙන්නෝ ද හැර යන්නෝ ද බොහෝය. එහෙත් එක් වරක් පමණක් ගත කිරීමට ලැබෙන ජීවිතය අපගේ ය. ලියක් වූ පමණින් තුරු මත යැපී පෝෂණය වන්නා වූ අග මුල නැති ලියක් නොවිය යුතුය. විය යුත්තේ මවගෙන් බිවූ රුහිරයෙන් හා කාසි බවට පත් වුණු පියාණන්ගේ දහදියෙන් ඔවුන් ඔබ දුටු සිහිනයන් දිනා ගෙන ජීවිතේ ඊළඟ පියවරට යෑම ය.

එබැවින් මාර්තු 8 සැබෑවටම අයිතිය ඉල්ලා උද්ඝෝෂණය කරන සම තැන ඉල්ලා විවිධ නම් බැඳි සංගම්හී වැජඹෙන කාන්තාවන්ගේ දිනය නොවන්නේ ය. එය දහසකුත් බාධා මැදින් තම සීමාවන් දැන ඉදිරියට ගොස් ලොවක් දිනා මාපියන්ට ආඩම්බර වන්නට හැකි දුවක් ද, තවත් නිවසක් එළිය කරනා ආදරණීය බිරිඳක් ද, ලෙය කිරට හරවා හෙට එළිය කරනා මල් කැකුළු තනනා මවක් ද යන සියල් ගුණ නැණ සපිරි කතුන්ගේ දිනයම වන්නේය.

Image Courtesy – FOSmedia

 
Tagged : /