ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය 2024

Share

සැලැස්මේ කොටසක් වන්න.

මහා පිපුරුම් සංසිද්ධියේ අනගි පළ විපාකය ලෙස සූර්යයා, සුදු වාමනයින්, තාරකා, ග්‍රාහක ඇතුළු සෞරග්‍රහ මණ්ඩලයේ නිර්මාණය සිදු වූ බව විද්‍යාඥ දැනුම කියාපායි. මුල් යුගයේ අයිස් කඳු එකට ගැටෙමින්, හෙණ කොටමින්, අනෝරා වැසි වැටෙමින් කම්හලක් බඳු වූ පෘථිවියේ කෙමෙන් කෙමෙන් සිසිලනයට පත්ව වායුගෝලයක් හිමි  ජෛව විවිධත්වයට උචිත එක ම නවාතැන බවට පරිවර්තනය වූයේ ය. නිර්වායු විෂමපෝෂී මට්ටෙමන් ආරම්භ වූ ජීවය ස්වයංපෝෂී ස්වායු මට්ටම දක්වා රසායනික මට්ටෙමන් මෙන්ම ඉලක්ට්‍රෝන අන්වීක්ෂීය මට්ටමේ සිටි විශාල නිල්තල්මසෙකුගේ මට්ටම දක්වා විවිධත්වයක් ඇතුළු සියලු කොටස්වල විවිධත්වය මත පදනම් වූ අන්තර් ක්‍රියා සමුදායක එකතුවක් ලෙස සරලව හැඳින්විය හැකි වුවත්, සත්‍ය ලෙසට ම ඊට වඩා හාත්පසින් ම ගැඹුරු සංකීර්ණ සංකල්ප එකතුවකි.

1992 මැයි 22 ජෛව විවිධත්ව සම්මුතියට අනුව ගත් තීරණයකට අනුව 1993 දෙසැම්බර් 29 වන දින සිට එක්සත් ජාතීන්ගේ සංගමය විසින් සෑම අවුරුද්දකම මැයි 22 ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනය  ලෙස නම් කරන ලදී. ජෛව විවිධත්ව පිළිබඳ ප්‍රශ්න ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමත්, ඒවාට තිරසාර විසඳුම් පිළිබඳ අධ්‍යයනය කිරීමත් මූලික අරමුණ විය. මෙවර ලෝක ජෛව විවිධත්ව දිනය “සැලැස්මේ කොටසක් වන්න” යන තේමාව මූලික කරගනිමින්, මැයි 22 දින පැවැත්වීමට සූදානම්ව ඇත.

ජීවය මිනිසුන්, සතුන්, ගස්, පැළෑටි ඇතුළු සියලු දේ සමඟ සම්මිශ්‍රණය වී නිර්මාණය වූ චිත්‍රයක් ලෙස පෘථිවි තලයේ ආලෝකමත් කරයි. වසර බිලියන ගණනකට පෙර කුඩා අන්වීක්ෂීය තනි සෛලයකින් ආරම්භව ජීවය අද වන විට කුඩා අන්වීක්ෂීය බහුසෛලික ජීවීන් වන ප්රෝටෝසොව, ඇල්ගී, බැක්ටීරියා විවිධත්වය අභිබවා කරදිය,මිරිදිය, භූ ගර්භය, වායුගෝලය ඇතුළු එකිනෙකට නොදෙවනි සෑම තැනක්ම අභිබවා සාර්වත්‍රික ලෙස පැතිරී අලි,  කොටි, වලස්, නිල් තල්මසුන්, කිඹුලන්, මිනිසුන් ආදී නොයේකවිද විවිධත්වයෙන් යුතු ජීවී විශේෂ දක්වා පැතිරී ඇත. ප්‍රභාසංස්ලේෂණය කළ හැකි ශාක, පරපෝෂී ප්‍රභාසංස්ලේෂී නොවන ශාක මෙන්ම ප්ලවාංගද ජෛව විවිධත්වයේ ප්‍රධාන බලකණුවන් ලෙස ක්‍රියා කරමින් ජීවය පවත්වා ගැනීමට ශක්තිමත් රුකුලක් සපයයි.

හේඩියන් ඉයෝනයේ දී පෘථිවිය ආරම්භයත් සමග ක්‍රමයෙන් කාලය ඇවෑමෙන් ජීවයේ විවිධත්වය ආරම්භ වූ අතර ආකියන්, ප්රෝටෙරෝසොයික්, ෆැනෙරොසොයික නම් ඉයෝන හරහා ජීව විවිධත්වය තවදුරටත් වර්ධනය වෙමින් අද තිබෙන විවිධත්වය දක්වා විකරණය වී ඇත. ප්‍රාග් කේම්බ්‍රිය අවදියේ දී මීට වසර මිලියන 544 කට පෙර ජීවයේ විවිධත්වය කැපී පෙනෙන ලෙස වර්ධනය ආරම්භ වූ අතර ෆැනෙරසොයික ඉයෝන අයත් වන පේලියෝසොයික්, මිසෝසොයික්, සිනෝසොයික් යන යුගයන් තුනේ දී තවදුරටත් ජීව විවිධත්වය වර්ධනය විය. පේලියෝසොයික් යුගයට අයත් කේම්බ්‍රියන්, ඕඩෝවීසියන්, සිලූරියන්, ඩෙවෝනියන්, කාර්බෝනිෆෙරස්, පර්මියන් යන කාලවකවානුවලත් මිසෝසොයික් යුගයට අයත් වන ට්‍රයසික්, ජුරසික්, ක්රෙටෙෂෂ් කාලවකවානුවල ජීවයේ බොහෝ වැදගත් නව ඇතිවීම්, එම විශේෂවල විකරණයන්, එසේම ඒ විශේෂයන් න්‍යෂ්ටවීම් දැකිය හැකි විය. නූතනය වන විට ප්‍රධානවම නෂ්ට වීම් පහක් හඳුනාගෙන ඇති අතර ප්‍රසිද්ධම නෂ්ට වීම වන්නේ ජුරාසික් කාලයේ දී සිදු වූ ඩයිනෝසරයන්ගේ න්‍යෂ්ට වීමයි.

 

කෙසේ වුවද න්‍යෂ්ට වීමුත්, විකරණය වීමුත් මත පදනම්ව ජීව විවිධත්වය අද තිබෙන සංකීර්ණ ජෛව විවිධත්වය මට්ටම දක්වා වර්ධනය වී ඇත. එම විවිධත්වය පෘථිවියේ ස්වාභාවික ගැටළු එනම්; කාලගුණික දේශගුණික විපර්යාස වලිනුත්, මානුෂ්‍ය ක්‍රියා නිසා සිදුවන ගැටලුවලිනුත් ආරක්ෂා කර ගනිමින් ඉදිරියට රැක ගැනීම ජෛව විවිධත්ව දිනයේ ප්‍රධාන අරමුණ ලෙස හදුනාගත යුතුය.

ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනයේ අරමුණු සාක්ෂාත් කර ගනිමින්, පෘථිවිය ආරක්ෂා කිරීමේ කාර්යය අප සැවොම එක්ව සිදු කළ යුතුය. වඩාත් ලස්සන පෘථිවියක් නිර්මාණය කරමින්, ජෛව විවිධත්වය තවදුරටත් ආරක්ෂා කරගනිමින්, තවදුරටත් වර්ධනය කරමින් තිරසාර පෘථිවියක් නිර්මාණය කරමු.

ඔබ සැමට සුබ ජාත්‍යන්තර ජෛව විවිධත්ව දිනයක් වේවා!.

Written By: Methmi Chandrasiri

Image Courtesy:

Featured Image: https://bit.ly/4dJFzBH
Content Image 1: https://bit.ly/3KdMeXi
Content Image 2: https://bit.ly/3QTOqa1

 
Tagged : / /