බිඳුවක් පුදමු දිවියක් රකිමු….

Share

කෙනෙකුට ලබා දිය හැකි උතුම් ම ත්‍යාගය කිමෙක්දැයි විමසූ කල පිළිතුර කුමක් විය හැකි ද? එය  “ජීවිතය” යි. සෑම පුද්ගලයින් හත් දෙනෙකුගෙන් එක් අයෙකු ම රුධිර අවශ්‍යතාව ඇති ව රෝහල් ගත කෙරේ. එමෙන් ම සෑම තත්පර දෙකක ට වරක් ම ලොවේ කොහි හෝ රෝගියෙකු ට රුධිරය අවැසි වේ. ගණනය කර බැලුවහොත් දෛනික රුධිර අවශ්‍යතාව කොපමණක්දැයි සිතා ගත හැකි ද?

ලෝකය තාක්ෂණය අතින් කෙතරම් ඉදිරියට විත් සිටිය ද A, B, AB, O යන සිව් රුධිර
ගණයන්ට අයත් මිනිස් රුධිරය නිපදවීමට මිනිසා මෙතෙක් සමත් ව නැත. එම නිසා තවමත්
එක් මිනිසෙකුගේ රුධිර අවශ්‍යතාව සපුරාලිය හැක්කේ තවත් මිනිසෙකුට ම පමණි. එය
මිනිසෙකු වශයෙන් තවත් මිනිසෙකුට ලබා දිය හැකි උතුම් ම තිළිණය යි.
සාමාන්‍යයෙන් වැඩුණු මිනිසෙකුගේ ශරිරය තුළ රුධිරය පයින්ට් 8 ත් 12 ත් අතර
ප්‍රමාණයක් පවතින අතර රුධිරය පරිත්‍යාග කරන අවස්ථාවක දී එක් රුධිර
දායකයකුගෙන් ලබා ගැනෙන්නේ රුධිරය පයින්ට් එකක ප්‍රමාණයක් පමණි. රතු රුධිර
සෛල, රුධිර පට්ටිකා සහ රුධිර ප්ලාස්මාවෙන් සමන්විත රුධිරය, එක් රුධිර
දායකයෙකුගේ රුධිර පයින්ට් එකකින් පුද්ගලයින් තිදෙනෙකුට ජීවිතය දීමට සමත් ය. රුධිර
පරිත්‍යාගශීලියෙකු කෙතරම් වටිනා අයෙක් ද යන වග මින් මොනවට පැහැදිලි වේ.

රුධිර පරිත්‍යාගශීලීන් දිරි ගැන්වීම සඳහාත්, රුධිර අවශ්‍යතාවය ට සරිලන රුධිරය දෛනික
ව සපයා ගැනීම සඳහාත් (භාවිතයට පෙර දීර්ඝ කාලයක් රුධිරය ගබඩා කර තැබිය
නොහැකි නිසා අඛණ්ඩ රුධිර සංචිතයක් පවත්වා ගත යුතු ය.) ලෝක සෞඛ්‍ය සංවිධානය
විසින් “ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය”  ක් නම් කොට තිබේ. එය 2004 වසරේ සිට
අඛණ්ඩ ව සෑම වසරක ම ජූනි මස 14 වන දිනක ම සැමරේ. මෙවර 2020 ජූනි 14 වන දින
යෙදී ඇති “ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය” , ” SAFE BLOOD SAVE LIVES “තේමාව
පෙරටුකොට ගෙන  ” Give blood and make the world a healthier place” යන පාඨය යටතේ සමරනු ලැබේ. ලෝකයේ රටවල් අතර රුධිර පරිත්‍යාගශීලීන්ගේ කණ්ඩායම් හතරක් දක්නට ලැබේ.

 

1.ස්වේච්ඡා පරිත්‍යාගශීලීන් – නොමිලේ තම රුධිරය පරිත්‍යාග කරන පිරිස

2. ආදේශක පරිත්‍යාගශීලීන් – මොවුන් සිය ඥාතීන් හෝ මිතුරන් වෙනුවෙන් රුධිරය
පරිත්‍යාග කරන පිරිස

3.ගෙවුම් ලබන පරිත්‍යාගශීලීන් – මොවුන්ගේ රුධිරය සඳහා ගෙවීමක් සිදු කෙරේ.

4. නිර්දේශිත පරිත්‍යාගශීලීන් – මෙම කණ්ඩායමේ රුධිර දායකයින් රුධිරය ලබා
දෙන්නේ ඔහුගේ රුධිරය විශේෂිත ව නිර්දේශ වූ පුද්ගලයෙකු වෙනුවෙනි

වඩාත් සතුටුදායක ම කරුණ වන්නේ ශ්‍රී ලංකාව ස්වේච්ඡා රුධිර පරිත්‍යාගශීලීන් වෙසෙන
රටවල් අතරින් ප්‍රමුඛස්ථානයක සිටීමයි. ශ්‍රී ලාංකික බොහෝ දෙනා රුධිර පරිත්‍යාගය කෙරෙහි වැඩි වශයෙන් නැඹුරු වන බවක් ද දක්නට ලැබේ. නමුත් ඒ සඳහා යම් අවශ්‍යතා සපුරාලිය යුතු අතර එම අවශ්‍යතා රටින් රට ට වෙනස් වේ. ශ්‍රී ලංකාව තුළ දී රුධිර පරිත්‍යාග කිරීමට නම්,

 වයස අවුරුදු 18 ත් 60 ත් අතර විය යුතු ය.
 බර 50kg ට වැඩි විය යුතු ය.
 හිමොග්ලොබීන් ප්‍රමාණය 12g/dL ට වැඩි විය යුතු ය.
 රුධිර පරිත්‍යාග කිරීම් 2 ක් අතර අවම පරතරය මාස 4ක් විය යුතු ය.

එසේ ම විවිධ රෝග සහිත පුද්ගලයින්, ගැබිනි සහ කිරිදෙන මව්වරු, අවදානම් සහගත
ලිංගික හැසිරීම් වල නිරත වූවන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ආදි පුද්ගලයන් රුධිර
පරිත්‍යාග කිරීමට නිර්දේශිත නොවේ. රුධිර පරිත්‍යාගයක් තුලින් ජීවයක් ලබා දිය හැකිවනවා සේම රුධිර පරිත්‍යාගශීලියා හට ද යම් ප්‍රතිඵල හිමිවේ. පහතින් දැක්වෙන්නේ ඉන් කිහිපයකි.

 රුධිරයේ යකඩ ප්‍රතිශතය වැඩි වීම නිසා ඇතිවන රෝග අවම වේ.
 පිළිකා අවදානම අඩු වේ.
 හදවතේ සහ අක්මාවේ නිරෝගීතාව පවත්වා ගනී.
 ශරීරයේ බර අඩු වේ.

එක් රුධිර පරිත්‍යාගයක් සඳහා ගතවන්නේ විනාඩි 8ත් 10 ත් අතර ඉතා සුළු කාලයකි. ඔබේ රුධිර පයින්ට් එකකින් ජීවිත තුනකට ආලෝකයක් විය හැකි නම් එය කෙතරම් අගනේ ද? සියලු රුධිර පරිත්‍යාගශීලීන් වෙනුවෙන් අපෙ ප්‍රණාමය පුද කරමු. පරිත්‍යාගශීලී වෙමු.

දී බිඳක් ලේ…..
තනමු ලොව නිරෝගී...

 

References :
https://www.brmsonline.com/blog/wellness/healthcare/2018/benefits-of-blood-donation
http://www.nbts.health.gov.lk/index.php/donate-blood/about-blood
https://www.who.int/news-room/q-a-detail/why-should-i-donate-
bloodhttps://www.rrvbc.org/blood-facts 2/https://thalassaemia.org.cy/dev/event/world-blood-

image credit :

image 1 : https://bit.ly/37okP0c
image 2 : https://bit.ly/2UxnnUU

 
Tagged :