වේලාව සවස හය පසු වුණා පමණි. ඒ වන විටත් බටහිර අහසෙන් හිරු අවරට ගොස් අවසන් ව තිබුණි. ගොම්මන් අඳුර අප වෙළාගෙන ඇත. දිනක් තුළ කිලෝ මීටර් හතළිහකට ආසන්න දුරක් ඒමෙන් අපි සැම හෙම්බත් වී සිටියෙමු. දැන් අපගේ සිතේ තිබුණේ සිසිල් දිය පොදකින් අපේ සිරුරු සනසාගෙන සුවපහසු නින්දක් ලබාගැනීමේ අරමුණ පමණි.
එකවරම ඇසුණේ ගස්වල කොළ සර සර ගාන ශබ්දයකුත්, බල්ලෙකු කෑගසාගෙන මා දෙසට එන ශබ්දයකුත් ය.
“මල්ලි දුවපා….න්… ඇතින්නයි පැටියායි…”
මේ ඔකඳ සිට කතරගම දක්වා පාද යාත්‍රා අතරතුර යාල මහ වන මැද දී අප මුහුණ දුන් සිදුවීමකි.
මීට වසරකට පමණ පෙර මා පළමු වසර සරසවි සිසුවෙකි. මගේ මතකයේ හැටියට රසායන විද්‍යා දේශනයක් අතර මැද මාත් මිතුරනුත් සිටියේ සුපුරුදු පරිදි පිටුපසම අසුන්වල ය. එකවර විවේක් මගෙන් ඇසුවේ “පාද යාත්‍රා ගැන අහල තියනව ද?” යනුවෙනි. එවැන්නක් මගේ මතකයේ නොවුණි.
“දෙමළ ජාතිකයෝ යාපනේ ඉඳල පයින් කතරගමට එනව ඇසළ පෝය දවසෙ තියන පෙරහැර බලන්න. මේක දවස් ගාණක් යන ගමනක්. හැබැයි ගොඩක් අය ගමන පටන් ගන්නෙ පානම ඔකඳ දේවාලය ළඟින්ලු. එතන ඉඳල දවස් හතරක වගේ ගමනක් තියෙන්නෙ. දන්නවද යාල සහ කුමන වනෝද්‍යාන දෙක හරහා කෙනෙක්ට පයින් යන්න දෙන එකම අවස්ථාව මේක. මට ගියපාර යන්න බැරිවුණා. මේ පාර නම් මම කොහොමහරි යනවා” ඔහු පැවසීය.
ඉදින් තවත් කතා කුමටද? මට දීමට තිබුණේ තනි වචනයකි. “යමු.”
එම කතාවෙන් මාස හයක් පමණ ගතවූ කල අප දෙවන වසරට පැමිණ සිටිය ද අනධ්‍යයන සේවක වැඩ වර්ජනයක් හේතුවෙන් විශ්ව විද්‍යාල මාර්ගගත ව පැවැත්විණි. සත්‍ය වශයෙන්ම පැවසුවහොත් එය අපගේ මෙම ගමනට වෙස් වළාගත් ආශිර්වාදයක්ම විය. මක් නිසාදයත් විශ්ව විද්‍යාල කටයුතු භෞතිකව පැවතුනා නම් වැඩ අටෝරාසියක් හමුවේ අපගේ මේ සිව් දිනක ගමන ස්වප්නයක්ම වන්නට තිබුණු බැවිනි.
කිහිප දෙනෙකුටම ආරධනා කළත් අවසානයේ ඉතුරු වූයේ මමත් විවේකුත් පමණි. “මොකද කරන්නෙ අපි දෙන්නවත් යමු ද? කැම්පස් පටන් ගත්තොත් වැඩ එක්ක මේක කවදාවත් යන්න පුළුවන් ගමනක් නෙමේ. ඒ හින්ද මේ පාර යමු”. ඔහුත් පැවසුවේ මා සිතැඟි හඳුනාගත්තාක් මෙනි. තවත් විශේෂයෙන් ම සඳහන් කළ යුත්තේ මෙම ගමනට සහභාගි වන දමිළ ජාතිකයන් දින ගණනක් නිර්මාංශ ව මෙම ගමනට සහභාගි වන බවයි. සුපුරුදු පරිදි අදහස විවේක් ගෙනි.
“අපිත් සතියක් මස් මාළු නොකා යමු ද?” අප යන්නේ ඔවුන්ගේ සංස්කෘතික ගමනක් බැවින් මටත් එලෙසම කිරීමට ඇතිවූයේ නොමද ආසාවකි.
“එහෙම කරමු. මාත් කැමතී.” මගේ පිළිතුර විය. (මට මෙම සතිය තිස්සේ නිර්මාංශව සිටීමට මාත් සමඟ ආහාර ගත් මිතුරන් මගේ පිඟානේ තිබූ මස් මාංශ වලට වග කියමින් නොමද සහයක් ලබා දුන් බව මතක් කළ යුතුම ය.)
කතිකා කර ගත් පරිදිම කොටුව බස් නැවතුම්පොළින් ජූලි 29 රාත්‍රියේ කොළඹ සිට පානම දක්වා ගමන ආරම්භ කළෙමු. බසයෙන් බාගයක්ම පිරී තිබුණේ පාද යාත්‍රා සඳහා සහභාගි වන වන්දනාකරුවන්ගෙනි.
බස් රථය අවිස්සාවේල්ල, රත්නපුර, පැල්මඩුල්ල හරහා කහවත්තට ළඟා වුණි. කුමක් හෝ පෙරහැරක් හේතුවෙන් කහවත්තෙන් පාර සම්පූර්ණයෙන් වසා තිබුණු බැවින් බස් රථය පැය බාගයක් පමණ කහවත්තේ නවත්වා තිබුණි. 20-20 ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති අවසන් මහා තරඟයේ ජයග්‍රහණය නුදුරේ සිටි දකුණු අප්‍රිකාව පරාජය වනු අප නැරඹුවේ බසය ඒ නවත්වාගෙන සිටි මොහොතේදීයි.
පසු දින පාන්දර හතර පමණ වන විට අප පානමට ළඟා වූ අතර බස් රථයේ රියදුරු හා කොන්දොස්තර සමඟ කළ කතාවකින් පසු පාද යාත්‍රා යන සියලු දෙනා ඔකඳ දේවාලයට රැගෙන යාමට ඔවුන් එකඟ විය. නැගෙනහිර අහසේ තැඹිලි පැහැයෙන් සූර්යයා නැගෙමින් තිබෙන මොහොතේ අපි ඔකඳ දේවාලය වෙත ළඟා වුණෙමු. බස් රථයෙන් ඉක්මනින් බැස ගත් අප එතැන තිබූ ගල් පර්වතය උඩට දිව ගියේ හිරු උදාවේ චමත්කාර පින්තූරයක් ලබාගැනීමටයි.
මේ වන විට පන්දහසකට අධික ජනතාවක් කුමන ගේට්ටු විවෘත කරන තෙක් දේවාල භූමිය අවට රැස්වී කෑම පිසිමින්, ස්නානය ආදී පිරිසිදු කිරීම් වල නිරත වෙමින් ද, ආගමික වතාවත්වල නිරතවෙමින් ද සිටියහ. අප සිටි ස්ථානයේ සිට ඔකඳ වෙරළට ඉතා කුඩා දුරක් තිබූ බැවින් අප දෙදෙනා ඒ මනරම් වෙරළ අසලටත් ගොස් මද වේලාවක් රැඳී සිට ඒ අසල කඩයකින් උදෑසන ආහාරය ද ලබාගෙන කුමන ගේට්ටුව අසලට සේන්දූ වූයෙමු.
පෙර දින කොළඹින් දැන්වූ පසු නිවෙස්වලට තොරතුරක් ලබාදීමට නොහැකි වූ බැවින් ද දේවාලය අසල කිසිම ස්ථානයක දුරකථන සිග්නල් නොතිබූ බැවින් ද අප දෙදෙනාම සිටියේ තරමක විස්සෝපයෙනි. නමුත් අප එක්වරම දුටුවේ පොලිස් කාන්තාවක් වීඩියෝ කෝල් එකකින් අසල සිටින වඳුරන් රැළක් කාට හෝ පෙන්වන අයුරුයි. එසැනින් නිවෙස්වලට ඇමතුම් ලබාගෙන අප හොඳින් බවත් දැන් ගමන ආරම්භ කිරීමට සූදානම් බවත් දැනුම් දුන්නේ නැවත කතා කිරීමට අවස්ථාවක් ලැබේ යැයි ඇතිවුණු සැකය නිසාවෙනි.
පිවිසීම් දොරටුව අසල සිටි දහසක් පමණ පිරිස සමඟ පෝලිමට සිට ලියාපදිංචි කිරීම් වලින් අනතුරුව අප එම සුන්දරත්වයෙන් අනූන වූ කුමන රක්ෂිතයට ඇතුළු වූවෙමු. ඊට පෙර දේවාලය තුළට ගොස් දෙවියන්ගේ ආශිර්වාදය ලබාගැනීමටත් අප අමතක නොකළෙමු.
බැලු බැලූ අත තැඹිලි පැහැයෙන් සැරසී අතින් කටින් බෑග්, හට්ටි මුටිටි එල්ලාගෙන කුඩා දරුවන් ද පෙරටුකරගෙන “හරෝ හරා”… යනුවෙන් වදන් කියමින් වන්දනාවේ යන පිරිස් ය. පියෙක් තම කුඩා දරුවා කරේ තබාගෙන උරහිසසේ බෑග් ආදී බඩු රාශියක් එල්ලාගෙන යන අයුරු මට මාගේ කුඩා කාලය සිහිකර දුනි. ජීවිතයේ සැඳෑ සමය ගතකරන බොහෝ පිරිස් ද මෙම ගමනට සහභාගි වී සිටියේ අපටත් වඩා උද්යෝගයෙන් සහ ජවය පිරි දෑසිනි. විශේෂත්වය වන්නේ මෙහි සඳහන් කල පිරිස් බොහෝමයක් දෙපා නිරුවත්ව දෙවියන් කෙරෙහි විශ්වාසයෙන් සහ භක්තියෙන් මෙම ගමනේ යෙදීමයි.
පැයක පමණ ගමනකින් පසුව අප අපගේ පලමු මං සලකුණ වූ යෝධ ලිප අසලට පැමිණියෙමු. අප සිටියේ දිවයිනේ නැගෙනහිර මායිමට ළං ව බැවින් තවමත් උදෑසන වුවද දැඩි හිරු රශ්මියක් අප සිරුරු මත පතිත වූ බව කිව යුතුමය. අප දෙදෙනාගේ අදහස වූයේ හිරු තවත් දැඩි වීමට පෙර හැකි තරම් දුරක් ගමන් කර විවේකයක් ගැනීමටයි. මග දෙපස ආසන්න ව කිලෝමීටර් තුනෙන් තුනට වාගේ හමුදාව විසින් පානීය ජල ටැංකි තබා තිබීම අපගේ ගමනට මහත් ශක්තියක් ම වූ බව ගෞරවයෙන් සඳහන් කළ යුතුය. පාර දෙපස පල බරව තිබූ වීර ගස් වලින් කඩාගත් ගෙඩි දමිළ ජනතාව අපිට ලබාදුන්නේ සංස්කෘතිකත්වයට එහා ගිය සංහිඳියාවක් විදහා පාමිනි.
තවත් පැය දෙකකට පමණ පසු අප ළඟා වූයේ පවුල් පිටින් පැමිණෙන බොහෝ දෙනාගේ පළමු දින නවාතැන වූ බාඟුරා කලපුවටයි. එහි තැනින් තැන පොළවේ වතුර තිබී සිඳී ගොස් ඉරි තැලී ගිය මඩය. යන්තම් ඉතිරි වූ කුඩා දිය කඩිතිය. ඒ වන විට බාඟුරා කලපුවට හිරු මුදුන් වී අවසන් ය. තද අව් රශ්මිය සිරුර දහදියෙන් තෙත් කරයි. එම මොහොතේ අපට ලබා දුන් සිසිල් පැන් කෝප්පය පෙනුනේ දිව්‍ය අමෘතය මෙනි.
තැනින් තැන තිබූ සත්ත්ව ඇටකටු වලින් මෙය සත්ත්ව රාජධානියක් බවට මතක් කර දුන්නේ අපූර්ව අයුරිනි. ගමන ආරම්භයේ සිටම අහස අපට විචිත්‍රවත් වලාකුළු චිත්‍ර මවමින් ගමන් මහන්සිය දුරු කළ බව පැවසිය යුතුම ය. කාලයත් සමග අප දෙදෙනා කහට පොකුණ කලපුව, දඹකොටවල කලපුව පසු කරමින් යකාල කලපුව අසලට පැමිණෙමින් සිටියෙමු. එක්වරම දුටුවේ පාර හරහා පැන ගිය හාවෙකි. ඌ පසුපස හඹා ආ නරි දෙදෙනා එතැන සිටි මිනිසුන් දැක ආපසු හැරී දිව ගියේ නම් අනපේක්ෂිත මෙම සත්ත්ව කොට්ඨාසය ගැන පුදුමවෙමින් බව ඉඳුරාම පෙනී ගියේ ය.
යකාල කලපුවේ ඉදිරියට යන විට අපි දෙදෙනා දුටුවේ, මුව අං තට්ටුවක් අසල ඇති ගලක ගසා කැඩීමට උත්සාහ කරන අවුරුදු අටක්, දොළහක් පමණ වයසැති කුඩා ළමුන් දෙදෙනෙකි. ඉතා අනර්ඝ තත්වයේ වූ ඒ අං තට්ටුව අප ඉල්ලාගෙන ඡායාරූප කිහිපයක් රැගෙන තිබූ පරිදි ම ස්ථානගත කළෙමු. ළමුන් දෙදෙනා පැවසූ පරිදි ඔවුන් කතරගම පාසලක ඉගෙනුම ලබන අයියාත් මල්ලීත් ය. මේ නිවාඩු කාලය බැවින් පවුලේ සියල්ල එක්ව පාද යාත්‍රාවේ යෙදෙයි. පවුලේ වයසක උදවියට ඉක්මනින් ගමනේ යෙදිය නොහැකි බැවින් ඔවුන් පසුපසින් එන බවද තමා මල්ලීත් සමග ඉදිරියට යන බවද අයියා අපට පැවසීය. වගකීම්, බැඳීම්වලින් අඩු කුඩා කාලයේම මෙවන් ගමනක් යාමට ලැබීම මා නම් දකින්නේ ඔවුන් ලද භාග්‍යයක් ලෙසයි.
පළමු දිනයේ අවසන් භාගයට අප පැමිණ සිටියත් නරින් දෙදෙනාත් හාවාත් තැනින් තැන අපට ඔරවාගෙන සිටි කුළු හරකෙකුත් ඇරුණු කොට වෙනත් විශේෂ පක්ෂියෙක්වත් දැකගැනීමට නොලැබුණු හෙයින් මාත් විවේකුත් සිටියේ තරමක විස්සෝපයෙනි. සමහර කලපුවල තිබූ සත්ත්ව ඇටකටුවල මස් ඉතිරිව තිබුණේ ඒවා ඉතා මෑතකදී සිදුවූ දඩයම් බවට ඔප්පු කරමිනි.
අප දෙදෙනාගේම අදහස වූයේ මෙතරම් මිනිසුන් ප්‍රමාණයක් එකවර පැමිණෙන බැවින් සතුන් අප මගහැර ගිය බවයි. නමුත් අදහස වෙනස්වීමට ගත වූයේ තවත් පැය බාගයක් පමණි. ඒ අප පැමිණ සිටියේ කුමන කුරුළු නැරඹුම් කණුව අසලටයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පාරාදීසයක් වූ එය විවිධ වර්ගයේ පක්ෂීන් දහස් ගණනක් සැරිසරන පක්ෂි රාජධානියකි.
විවිධ වර්ගයේ පිළිහුඩුවන්, පෙලිකන්ලා, කොමරොන්ට් පක්ෂීන් ඇතුළු නම නොදන්නා ඒකදේශීය, සංචාරක පක්ෂීන් දැකීමෙන් අපි උමතු වී ගියෙමු. කැමරා අතැතිව සිටි පුද්ගලයන් දිගට හරහට ඡායාරූප ගැනීමේ යෙදී සිටියේ අපිටත් එකක් තිබුණා නම් යන හැඟීම සිතේ ජනිත කරවමිනි. විල්ලුවෙහි මැදට වන්නට කළු පැහැති තිතක් මෙන් පෙනුණු හස්තිරාජයා හරියටම දැකගත හැකි වූයේ ඉල්ලාගත් දුරදක්නයකින් බැලීමෙනි. තවත් හොඳින් නිරීක්ෂණය කිරීමේදී තවත් අලින් දෙදෙනෙකු දැකගත හැකිවූයෙන් පළපුරුදු සංචාරකයෙක් පැවසුවේ තව පැයක් දෙකක් ඇතුළත අද දින නවාතැන්පල වෙත යාම ඇඟට ගුණ බවයි.
නැවත ගමන පටන් ගත් අප දෙදෙනා තවත් පැයකට පමණ පසු අපගේ පළමු දින නවාතැන වන කුඹුක්කන් ඔය අසබඩ කුඩා කැබිලිත්ත දේවාලය අසලට පැමිණියේ සාර්ථක දිනයක් අවසන් කරමිනි. අප යන විටත් දේවාල භූමිය අසල සැලකිය යුතු පිරිසක් තම ස්ථාන තෝරාගෙන පිරිසිදු කිරීම් කටයුතුවල යෙදී සිටියහ. අප දෙදෙනාත් අපිට සරිලන කුඩා භූමියක් පිරිසිදු කරගෙන කුඹුක්කන් ඔයට ගියේ ඇඟපත දොවා ගැනීමටයි. වර්ෂාව හේතුවෙන් කුඹුක්කන් ඔයේ වතුර මට්ටම සැලකිය යුතු තරමකින් ඉහළ ගොස් තිබූ බැවින් ස්නානය සඳහා ඔයේ කොටසක් වෙන් කර තිබුණි.
නෑමෙන් පසුව ගමන් මහන්සිය ද, දිවා ආහාරය ප්‍රමාණවත්ව නොගැනීම ද හේතුවෙන් අප දෙදෙනාගේ බඩගින්න ද උත්සන්නව පැවති බැවින් අපගේ අදහස වූයේ බතක් පිස සෝයාමීට් හා පරිප්පු සකසා ගැනීමටයි. මෙවැනි ම ගමන් වලදී ක්ෂණිකව සකසා ගත් නූඩ්ල්ස් එකක් ඇරුණුකොට කිසිදා කෑමක් පිස නොතිබුණු අප දෙදෙනා එය සකසාගත් ආකාරය මෙය කියවන ඔබට සිතා ගත හැකි යැයි මම සිතමි.
මුලින්ම අසලින් ගල් තුනක් සොයාගෙන අවශ්‍ය යැයි අප සිතූ පමණින් හාල් සහ වතුර තබා අසල අයෙකුගෙන් ඇලුමිනියම් පිඟානක් ද ඉල්ලාගෙන මුට්ටිය වසා බත ඉදෙන තෙක් මුට්ටිය වටේ ඉඳ බලා සිටියේ ආඬි කැඳ හැලිය ඉදෙනතුරු බලා සිටියාක් මෙනි. ටික වෙලාවක් යන විට වතුර ඉක්මනින් වාෂ්ප වුව ද බත නම් ඉදෙන පාටක් නොමැති බැවින් විඩින් විඩ නැවත වතුර එකතු කිරීමෙන් පසු බාගයක් බෙරි වූද බාගයක් ඇටකුනා වූ ද බතක් පිස ගැනීමට අපට හැකිවූ බව ආඩම්බරයෙන් කිව යුතුම ය. ඊළඟට එම බඳුනටම නැවත වතුර දමා සොයාමීට් එකක් ද සකසා ගත්තෙමු. ඔබ සෝයාමීට් සැකසීමේදී තෙල් පැකට්ටුව වෙනුවට සෝස් පැකට්ටුව මුලදී දැම්මත් රසේ කිසි වෙනසක් සිදු නොවන බව මට කිව හැක්කේ එදා අත්දැකීම්වලිනි. කෙසේ හෝ පරිප්පු සෑදීම පැත්තක තබා සකසාගත් සෝයාමීට් සහ බත අප රැගෙන ආ රටකජු සමග ආහාරයට ගත්තේ අපගේ ඉවුම් පිහුම් ගැන සෑහීමකට පත්වෙමිනි.
කෑමෙන් පසු බෝතල් වලට වතුර පුරවාගෙන ඒමට ගිය මම නැවත පැමිණෙන විට විවේක් සිටියේ උඩ බිම බලමිනි. ඇයි දැයි විමසූ විට ඔහු පැවසූවේ ” ගැහැනු කෙනෙක් ආව බං දෙමළෙන් මගෙන් මොනවද ඇහුව. මම නෑ කිව්ව. ලිප් ගල් තුන අරන් ගියානෙ ඊටපස්සෙ…..”
ඔහු එය පැවසූ ආකාරය සිහිවී මෙය ලියන අවස්ථාවේදීත් මට නැගෙන සිනහව නම් වළක්වාගත නොහැකි ය.
“දැං අද ආයෙ ලිපක් ඕන වෙන්නේ නෑනෙ හෙට උදේ උයද්දි ඒක බලමු” යැයි පැවසූ මම අප රැගෙන ආ පැදුර බිම එලා සැරසුනේ නින්දට යාමටයි.
මේ වන විටත් අවට තිබුනේ මදක් කලබලකාරී තත්වයකි. ඇතැමුන් තවමත් රාත්‍රී ආහාර පිසිමින් හෝ ආහාර ගනිමින් ද සතුටු සාමීචියේ යෙදෙමින් ද සිටියහ. අවට සිටි පුද්ගලයෙක් පැමිණ අපට රසකැවිලිවලින් ද සංග්‍රහ කරේ සහජීවනය නැවත නැවතත් විදහාපාමිනි. සත්‍ය වශයෙන්ම ඒවා ඉතා රසවත් විය. ඒ අතුරුපසෙන්ද අනතුරුව අප දෙදෙනා අහසක් නොපෙනෙන තුරු වියන දෙස බලමින් හෙට දින කළ යුතු දෑ ද, දුරකථන සිග්නල් නැතිවීම නිසා සමීපතමයන් දුරස්වීම ගැන ද කතා කරමින් සිටිය බව මට මතකය.
දෙතුන් වරක් කුඩා සතුන් වර්ගයක් අපේ ඇඟට වදින බව දැනුණ ද වැඩිය සැලකිල්ලක් නොදැක්වූවත් එය දිගින් දිගටම සිදු වූයෙන් අපි සොයා බැලූ විට පෙනී ගියේ, ඔයේ සිට එන කුඩා ගෙම්බන් අපේ ඇඟට පනින බවය. රැය පහන් වන තුරු ම මේ ගෙම්බන් විටින් විට අපේ ඇඟට පනිමින් එහා මෙහා ගිය අතර පෙර දා රාත්‍රියේ බසයේ හරි හැටි නින්දක් නැතිවීමත්, අද සෑහෙන දුරක් පයින් ඇවිදීමත් නිසා අධික තෙහෙට්ටුවෙන් සිටි අප දෙදෙනාට ගෙම්බන් ප්‍රශ්නයක් නොවූයෙන් සුළු මොහොතකින් නින්ද අප කරා ළඟා වුණි.
මතු සම්බන්ධයි.

Image credits: © Pamuditha Silva, 2024.
Written by : Pamuditha Silva






