යශෝධරා………………….

Share

බෝසතාණන් වහන්සේ සිනිඳු සළු පිළි අත්හල බව දැනගත් ඈ සිනිඳු වස්ත්‍ර අත්හැරියා ය. රස බොජුන් අත්හල බව දැන ගත් ඈ සියලු රස මසවුලු අත්හැරියා ය. වේලක් පමණක් ආහාර වැලඳූ බව දැන ගත් ඈ ද එක් වේලක් පමණක් අහර වැලඳුවා ය.
යශෝධරා දේවී ප්‍රේමයේ ප්‍රතිමූර්තිය වූවා ය.
තමා අතැර ගිය ද ඈ බෝසතාණන් වහන්සේ කෙරෙහි නිමක් නැති ප්‍රේමයෙන් මෙත් වැඩුවා ය. බුදු බව පැතුවා ය. එහෙත් නිම් හිම් නැති ප්‍රේමය නිසා ඇය හඬාවැටුනා ය. දෑසින් නොදුටුවත්, සවනට හඬ නෑසුනත් ඇය අචල ප්‍රේමයෙන් බෝසතුනට බුදු බව ලබන්නට මෙත් වැඩුවා ය.
ඇය යි යශෝධරාව ප්‍රේමයේ ප්‍රතිමූර්තිය.

විටක ඇය සඳ කිඳුරිය වූවා ය. ඇගේ විලාපය මිහිතලය ඉකමවා ගිය කල එය ම මියගිය සඳ කිදුරු කුමරුට ප්‍රාණය ගෙන ආවා ය.

තවත් විටක ඇය මද්‍රී දේවිය වූවා ය. පෙරුම් පුරණ බෝසතුනට පෙරම්න් තැනුවාය. සියලු සැප සම්පත් අත්හැර වෙස්සන්තර රජු සමඟ වන ගතවූවාය. එයයි ප්‍රේමය ඇය ඉගැන්වූ, නිමක් නැතිවූ.

රූමත් පබාවතිය වී, බෝසතුනට ක්‍ෂාන්තී පාරමිතා පුරන්නට ඇයම සවිය වූවා ය. මේ අයුරින් ඇය සසර පුරාවට බුදුවන බෝසතුනට පෙරමන් තැනුවා ය.

අවසාන භවයේ දී ඇය පිනවත් යශෝධරාව වූවා ය. අලුත උපන් පුතුද සම්ඟ තනිවූවා මහා මැදුරක. මෙත් වැඩුවා. එහෙත් ඈ හද පිරි සෙනෙහසින්.

විටක දෙනෙත් අගින් හදවත පලා ගලා යන්නට ඇති කඳුලු ගංගා. කඳුලු බිඳු විටක කාටත් නොකියාම දෑසින් ගලා යන්නේ හදවත තව දුරටත් දුක් දරන්නට අපොහොසත් වන නිසාම ය. භවයන් ගණනාවක හමුවී අවසාන හමුවීමේ දී ද ඈ සයවසක් සිය හිමි නොදැක දුක් විඳින්නට ඇති.

තවදුරටත් සිය හිමි සිදුහත් නොව තමා අභියස සිටින්නේ ලොව්තුරා බුදු රජාණන්වහන්සේ බව මතකයෙන් ගිලිහෙන්නට ඇති.
හදේ දුක නෙතින් ගලයන්නට ඇති. ඒ ඇය ද සතු වූයේ ද දුක දැනෙන සිතක් නිසා.

බුදු රජාණන් වහන්සේ සඳ කිඳුරු ජාතකය දේශනා කළසේක.

බුද්ධ දේශනාව ඉදිරිපස ඇය නිවන් පසක් කරගත්තා ය. රුදුරු කතරින් මිදුනා ය. පෙරදා සිදුවූ සියල්ල අමතක කළ පින් බර උදෑසනක් මෙන්.

අවසාන භවයේ දී ද ඈ භද්දකච්චානා මහ රහත් තෙරණිය වී, සම්බුද්ධ පරිණිර්වානයට පෙරාතුව බුදු රජාණන්වහන්සේගෙන් අවසර ලැබ සසරින් සමුගත්තා ය.