සසර සැරිසරන තෙක් ඔබ මගේ

Share

යෞවන ප්‍රේමය මිහිරි ය. එය යොවුන් හදවත් තුළ සදා නොමැකෙන මතක සැමරුම් ජනිත කිරීමට සමත් වෙයි. සැබැවින් ම ප්‍රේමය මනුෂ්‍ය සන්තානය තුළ පහළවන අතිශය උත්තරීතර හැඟීමකි. ප්‍රේමය කිමැයි මොනවට පැවසෙන ගීයක් මේ මොහොතේ මා මතකයට නැගෙන්නේ නිතැතිනි. “ප්‍රේමය නම්, රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි….., පාරිශුද්ධයි සුරම්‍ය යි” මියුරු ස්වරයෙන් නන්දා මාලිනිය ගයන්නී ය. ප්‍රේමය සඳ එළියක් වැන්න. සෞම්‍ය ය, පිවිතුරු ය, සුරම්‍ය ය. ප්‍රේමයේ අරුමය දැනවීමට, සඳ එළිය කදිම උපමාවකැ’යි හැඟිමි.

මම ද ප්‍රේමයේ ආශ්වාදය විඳිමි. මහද ඉපදුණු නොඉඳුල් පෙම නුඹ වෙනුවෙනි. දෙතොලග පිපෙන සිනහව පියකරු ය. නුඹේ හසරැල් දැකුමෙන් මා හද සුවපත් වෙයි, මුදු වෙයි. නුඹ මා වෙත පානා ආලය, විඩා පත් සිත සුවපත් කරන ඔසුවක් වැනිය. එ නමුදු විටෙක නුඹේ ආලය මා නොසන්සුන් කරවයි. ඒ නුඹේ ආලය පෙර නොවිඳි ආකාරයේ ආගන්තුක හැඟීමක් බැවිනැ යි සිතමි. නුඹේ සිත හැඳිනීමට තව ද වෙර දරමි. සසර සරන තෙක් නුඹේ ආලය මා කෙරේ ම වේ නම්……

දිවා කිස නිම කොට, හිරු සිඳු කුස සැඟව ගොසිනි. හිරු රැස් නිවී, රැය උදා වී ඇති මොහොතක, සොම්නස් සහගත හැඟීමකින් මම තරු පිරි අහස දෙස බලා හිඳිමි. දහසක් තාරකාවෝ මා හා සිනාසෙන්නා සේ ය. මට නුඹ සිහි වෙයි. ඈත හිඳ ම වෙත සිනා පාන දිදුලන තරු එළි තුළින්, මම නුඹේ නුවන් කැලුම් දකිමි.

වසන්තය එළඹෙත් ම හාත්පස දිස් වන්නේ නවමු වෙනසකි. තුරු ලතාවෝ නව දළු ලා වැඩෙති. එළඹෙන වසන්තය පිළිගැනීමට සියල්ල සූදානම් සෙයකි. නා මලින් ගැවසී ගත් නා වැටිය මා නෙතට පියකරු දසුන් ගෙනෙයි. ළපටි නා දළු වල රත් පැහැය, හාත්පස වර්ණ ගන්වා ඇත. මඳ සුළං රැල් වැදී සැලෙන නා දළු වල පැහැය, නුඹේ දෙතොලේ පැහැය ම නොවේ ද? නෙත් මානයේ මැවෙන දහසක් දසුන්, මට සිහි ගන්වන්නේ නුඹ ම ය. එ පමණට ම අපි ආත්මයෙන් බැඳී සිටිමු. කිසිඳු වෙනසක් වන්නට ඉඩ නොමැත. සසර සරන තුරු නුඹ මගේ ම යි…

ජීවන ගමන දිගු ය. බාධක, කම්කටොළු ගහණ ය. කඳුළු, සුසුම් නිම් නැත. මෙතෙක් ගෙවා ආ මග කෙටි ය. යා යුතු මග බොහෝ වෙයි. ගමන දුර ය, වෙහෙසකර ය, දුෂ්කර ය. මා ජීවිත සරතැස නිවා ගන්නේ, නුඹේ සෙනේබර වදනිනි. නුඹේ සිනා වත මඬල දකිමිනි. නුඹේ සෙනෙහෙබර වදන්, දහසක් හැල හැප්පීම් විසින් විපිළිසර කළ මා සිතට අමාවකි. නුඹේ සිනහව, මා සිත ගිනිගත් සොහොනට වට මල් වැස්සකි. අපි දෙදෙනා මේ සා දුරක් සෙනෙහසින් අත්වැල් බැඳ පැමිණියෙමු. එහෙත් දිවි මගෙහි නෙක බිඳ වැටීම් හමුවේ, නුඹ මා කෙරෙන් දුරස් වේ දැයි, විටෙක මම දැඩි ව බියපත් වෙමි. යුග යුග ගානේ පෙමින් වෙලී ගෙවා පැමිණි මග පැටලී, වැරදී ඇති සෙයක් දැනෙයි.සිත කොනිති ගසන වේදනාව ඉසිලිය නොහැකි තරම් ය. විරහව පිළිබඳ හැඟීම් මාත්‍රයක්, මා සියොලඟ දවාලන සේ හැඟෙයි. සැබැවින් ම නුඹ මා කෙරෙන් පලා යන්නෙහි ද? සසර සැරිසරන තෙක් මා සමඟ ම එන්නෙමැ යි නුඹ මට පිළිණ දුන්නා නොවේ ද?

නැත, කෙසේ වත් එය සිදුවිය නොහැක. නුඹ මා හැර නොයන බැව් සහතික ය. නුඹ මගේ ජීවිතයේ කොටස්කාරිය යි. යසස ද, අයස ද, කිත් පැසසුම් ද, ගර්හාවන් ද, තුටු හසරැල් ද, සෝ සුසුම් ද එක් ව බෙදා ගනිමු යි, අපි එකිණෙකා හට පිළිණ දුනිමු. ඒ පිළිනයෙන් දිවි තුරා බැඳී සිටිමු. සසර සැරිසරන තෙක් නුඹ මගේම යි.

ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
හද දියඹ ගලා යයි රැළි ලමින් සැලි සැලී
මෙ වන් සුව පෙර නොවිඳි තුන් සිත ම සලිත වේ
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ…..

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ……

නා ගසක් දළු දමා වසන්තය එළඹිලා
මඳ පවන් රැල් වැදී සැලෙන විට කැලඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ…….

යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන් ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ……

අහස තල පොළෝ තල ඔබ ට මට පොදු වෙලා
හදවතින් එක් වුණත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොළඟ ම තැවෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ……..

ගේය පද
ප්‍රේමකීර්ති ද අල්විස්