රාවණා – නොකී පුරාවත කියූ කොළඹ සරසවිය

Ramalka 0 Comments

රාවණා යනු වීරයෙක් ද? නැතහොත් දුෂ්ටයෙක් දැ යි විමසුවහොත්, දෙවක් නො සිතා ඔහු ඉතිහාසයේ හමුවන දුෂ්ටයන්ගෙන් කෙනෙකැ යි ලඝු කෙරුමට බොහෝ දෙන නො පසුබට වන බව රහසක් නො වේ. පුරාතන ඉන්දියාවේ විසූ වාල්මිකී නම් ඍශිවරයා විසින් රචිත, ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම වීරාඛ්‍යානය ලෙස නම් කර ඇති රාමායණයේ සඳහන් වන්නේත් ඔහු දුෂ්ටයෙකු ලෙසයි. රාවණා යන නම සවනට වන් කල්හි ඔහු හා සබැඳි රාම – සීතා යන නම් ද නිතැතින් ම සිහියට එන්නේ ය. සැබැවින් ම ඔවුහු කවරහු ද?

සකලවිධ ලෝකවාසීහු පරම්පරා ගණනක් මහත් සෙනෙහසින් වැළඳගත් මෙම වීර කාව්‍යයට ප්‍රස්තුත වන්නේ ඉන්දියාවේ විසූ රාම මහ රජ විසින් මෙසිරිලක වාස භවන කොටගත් දසිස් රාවණ නම් නරපතියා සමඟ සිදු වූ සංග්‍රාමයයි. අලිඛිත ලංකා ඉතිහාසයට අයත් එම කතා වස්තුව පිරික්සන කල්හි, සැබැවින් ම ඇත්තේ වෙනස් කතා පුවතකි.

දසිස් රාවණ නිරිඳු (අකිල නිලවීර)

ලොව ප්‍රථම ගගන යාත්‍රාව ලෙස නම් දැරූ දණ්ඩ මයුර රථයට හිමිකම් කියන රාවණ රජු, එම යානයෙන් ඉන්දියාවට ගොස් එහි සිටි රාම කුමරුගේ බිරිය වූ සීතා කුමරිය පැහැරගෙනවුත්, රඳවා ගෙන සිටි බවත්, ඉන්පසු හනුමාන් නම් වදුරු රාජයාගේ සහය ඇතිව දැවැන්ත හමුදාවක් ද රැගෙන මෙරටට පැමිණ යුධ වැද රාවණා රජු පැරද වූ බවත් අපි අසා ඇත්තෙමු.

බොහෝ දෙනා නො දත් යටපත් කරන ලද මහා රාවණගේ අභිමානයේ සත්‍ය කතා පුවත පසුගිය ජනවාරි 5 වන දින නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග භූමියේ දී  “රාවණා – නොකී පුරාවත” බැලේ ඔපෙරා අභිරංගනයක් ලෙසින් වේදිකාගත වූ විය. ශ්‍රී ලාංකේය ප්‍රාසාංගික කලා ඉතිහාසයේ විශ්වවිද්‍යාලයක් විසින් නිර්මිත ප්‍රථම බැලේ ඔපෙරාව මෙයයි.

අපි බැලේ ඔපෙරා හදුනාගෙන ඇත්තේ බටහිර සංස්කෘතිය පසුබිම් කරගත් යුරෝපීය කලා නිර්‍මාණයක් ලෙසයි. එනමුදු මෙම නිර්මාණය හෙළ සංස්කෘතිය මුහු කරමින් සිංහල බසින් හඬ මුසු වූ නිමැවුමක් ලෙසින් ඉදිරිපත් කෙරෙන්නේ බැලේ ඔපෙරා කලාව නව සම්ප්‍රදායක් කරා ප්‍රවේශ කරමිනි.

ලංකාවේ ප්‍රමුඛතම සරසවිය වන කොළඹ විශ්වවිද්‍යාලයේ සියලුම පීඨ නියෝජනය කරන විද්‍යාර්ථයින් තිස්පස් දෙනෙකු (35) විසින් වේදිකාගත කළ මෙම සංගීතමය රචනය භද්‍රජී මහින්ද ජයතිලක නම් ශ්‍රේෂ්ඨ කලාකරුවා විසින් විරචිත “ශ්‍රී රාවණ පුවත” නම් ඓතිහාසික නව කතාව පාදක කර ගනිමින් තිර රචනය වූවකි.

“රාවණා – නොකී පුරාවත” රමණීය බැලේ ඔපෙරාවක් බවට පත් වන්නේ රංග වින්‍යාසය, නර්තන රචනය සහ සංගීත සංයෝජනය යන ත්‍රීවිධ අංශයන්හි, තනූජා ප්‍රියන්ති බන්දුල මහත්මියගේ මග පෙන්වීමෙනි.

මෙම නිර්මාණකරුවන්ගේ විපුල පරිකල්පනීය ශක්තිය ඔපෙරාව පුරා මොනවට පසක් විය.

සංස්කෘතික විඥානයක් ඇති ජනතාව වෙත උසස් කලා කෘතියක් තිලිණ කරනු වස් සංවිධාන සහය ලබා දුන් රනාරා ඇකඩමියත් කොළඹ විශ්ව විද්‍යාලයේ කලා මණ්ඩලයේ නො මසුරු දායකත්වයත් අගය කළ යුතු ය. සේනානන්ද ඉන්ද්‍රජිත්ගේ පසුතල නිර්මාණයත් ලස්නි සුබසිංහගේ  රංග වස්ත්‍ර නිර්මාණයත් මෙම දැවැන්ත අභිනව ඔපෙරාවට එක් කලේ ආලෝකයකි.

නිර්මාණික හා තාක්ෂණික යන පරිමණ්ඩල දෙකෙන් ම මෙම ඔපෙරාවට ලබා ගෙන තිබූ පරිපූර්ණත්වය ඉමහත් ය. අකිල නිලවීර දසිස් රාවණ භූපතියාගේ භූමිකාවට ද, ජීවන්ත සෙනවිරත්න කාලනේමිගේ භූමිකාවට ද, අශාන් විජේකෝන් රාම කුමරුගේ භූමිකාවට ද පණ ලබා දුන්නේ ජාත්‍යන්තර රංග මහිමයකින් ය.

කාලනේමි (ජීවන්ත සෙනවිරත්න)

රාවණ අග බිසව මන්දෝදරී ලෙස තත්සරණි මල්ලව ආරච්චි  ද සීතා කුමරිය ලෙස  පියුමි කාවින්ද්‍යා ද රංගනයෙන් දායක විය.

රාම කුමරු (අශාන් විජේකෝන්) හා සීතා කුමරිය (පියුමි කාවින්ද්‍යා)

ඔවුන්ගේ රංග වින්‍යාසයන්ගෙන් නැගී ආ ශෝක, කරුණා, සංවේග, කෞතුක, ශෘංගාර, වීර, හාස්‍ය සහ සංගීතාදී නෘත්‍ය රස භාවයන් රසික හදවත් ඇමතුවේ ය. මෙම අභියෝගාත්මක රංග පෞර්ෂයන් නිසා පාත්‍ර වර්ගයා අභිමුව වේදිකාව මත මැවුණේ එකම නේත්‍රොත්සවයකි.

බැලේ ඔපෙරාව දිව යන්නේ නර්තනය මුසු වූ සුගායනයක් ලෙසිනි. එකී සුගායනයට ඉහළ හඬ පරාසයෙන් (Soprano) හඬ මුසු කළ තරංගා වික්‍රමගේ ප්‍රධාන සෙසු විද්‍යාර්ථයින්ගේ හැකියාව විස්මිත ය.

සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ලබා දෙමින් සිය රසික සහෘදයින් වෙත , බැලේ ඔපෙරාවේ නවඹු අත්දැකීමක් තිලිණ කරන්නට කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ නිල මාධ්‍ය ඒකකය වන FOS Media නිරන්තර ව කැප විය. ආරම්භයේ සිට ම ඔවුන්ගේ නිල වෙබ් අඩවිය, කෙටි පණිවුඩ සේවාව සහ ට්විටර් ඇතුළු සමාජ ජාල හරහා ප්‍රේක්ෂක ජනයාගේ කුතුහලය නංවමින් සිදු කළ දැනුවත් කිරීමේ කාර්යය අගය කළ යුතු ය.

කාලයේ වැලි තලාවෙන් වැසී යා නො දී, දස විද කුසලතාවයන්ගෙන් පිරිපුන් දසිස් රාවණ නම් නරපතියා හා සහසබැඳි සත්‍ය පුරානෝක්තිය ලෝකයාට විවර කරනු වස් නිමැ වූ මෙම ඔපෙරාව සැබැවින් ම සංකීර්ණ, විස්මය දනවන, විචිත්‍රවත් ප්‍රසාංගයකි. එය විශ්ව විද්‍යාලයීය ඉතිහාසය තුළ සිදු කරන ලද දැවැන්ත නිර්මාණයක් මෙන්ම ලබා ගත් සුවිසල් ජයග්‍රහණයකි.

සමාජය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දුටුවේ මහ මග අවහිර කරමින් අට්ටාල මත නැගී, සටන් පාඨ කියමින් අරගල කරනා පිරිසක් ලෙස ය. එනමුත් එකී ආකල්ප ඉවත ලා සහජ කලා කුසලතාවලින් පිරි සමාජයට පණිවුඩයක් දිය හැකි යහපත් පුරවැසියෙකු ලෙස සරසවි විද්‍යාර්ථයා යළි හඳුනා ගැනීමට මෙකී ඔපෙරාව ඉවහල් වනු ඇත.

සැබෑවටම බලන කළ වීරයකු වන්නේ රාවණා මිස රාම නො වන වග මෙම සංගීත සංධ්වනියේ සැබෑ සාක්ෂිකරුවන් වන අපි දනිමු.

ශ්‍රී ලංකාවේ නූතන නාට්‍ය පරම්පරාව සහ පෙර පරම්පරාව යන පරම්පරා දෙකක ඥාන සම්භාරයකින් පෝෂණය වූ මනා සංයෝජනයක් ලෙසින් “රාවණා – නොකී පුරාවත” , තිර විවර වන්නේ ශ්‍රී ලංකා වංශ කතාවේ ප්‍රථම වරට ය. එකී නිමේෂයේ කූඨප්‍රාප්තිය මෙසේ සනිටුහන් වූ වගයි. ශ්‍රී ලංකා සමාජ ස්ථරය තුළ නව කියැවීමක් ලෙස “රාවණා – නොකී පුරාවත” තව බොහෝ කලක් රංගාවතරණය කරනු ඇත.

දස බලැති රාවණා
දසිස් නම් රාවණා
ආයුබෝවේවා !

ඔපෙරා කණ්ඩායම