ආවර්ජනා

Share

කාලයට මොන තරම් වේගවත් ගමනක් තියෙනවා ද? අද දවස වෙනකොට විශ්වවිද්‍යාල ජීවිතයේ වසරකුත් හමාර යි. මුලින් ම විශ්වවිද්‍යාලයට ආපු දවස අද ඊයෙක වගෙ යි දැනෙන්නෙ. එදා ඉඳන් ගතවෙලා ගිය තුන්සිය හැටපස් දවසක මතකය, විදුලි වේගයෙන් ගලා යන කාලය විසින් අතීතය බවට පත් කරලා. ඒ අතීතය බවට පත් වූ මතකයේ ආවර්ජනය ඉතාමත් මිහිරි යි.

පොඩි කාලේ ඉඳන් ම මට තිබුණේ, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුලත් වීමේ හීනේ. දෙවතාවක් ම උසස් පෙළට පෙනී ඉඳලත් ඒ හීනේ හැබෑ වුණේ නැති නිසා, ඉංජිනේරුවෙක් වීමේ ආසාව විසින් ම තුන්වන වතාවටත් විභාගයට පෙනී සිටින්න කියලා, මට බල කරන්න පටන් ගත්තා. ඒත් තුන්වන වතාවේ ප්‍රතිඵල පිටවෙන්න කලින්, දෙවන වර ප්‍රතිඵල වලින් විශ්වවිද්‍යාල වලට ලියාපදිංචි කිරීම ඇරඹුණු නිසා, කණගාටුවෙන් වුණත් මටත් සිද්ද වුණා කොළඹ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වෙන්න. තුන්වන වර ප්‍රතිඵල පිට වුණු දවස තරම් මම අඬපු දවසක් මතක් කරගන්නත් අපහසුයි. මුළු ලෝකෙම මගේ ඇස් ඉදිරියේ කඩා වැටුණා වගෙයි මට දැනුණෙ. මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුලත් වෙන්න මං වරම් ලබා තිබුණා. ඒත් කොළඹ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචිය දැන් කටු ගාලා දාන්නේ කොහොම ද?

මං කොළඹ විශ්වවිද්‍යාලයට ආවෙ, මොරටුව විශ්වවිද්‍යාලයත්, ඉංජිනේරු හීනයත් අමතක කරලා, ඒ කණගාටුවත් පපුවෙ පැත්තක තද කරගෙන ම යි. හිතේ පොඩි ගැස්මකුත් එක්ක, අළුත් සරසවියක, අළුත් හීනයක් දකින්න හිත හිතා, විශ්වවිද්‍යාලයට අඩිය තියපු පළවැනි දවස මතකයෙන් ගොඩක් දුර ගිහින් නැහැ. ගෙවුණු වසර දිහා ආපහු හැරිලා බලද්දි, මං දකිමින් හිටපු ඉංජිනේරු හීනයට වඩා, කොළඹ විශ්වවිද්‍යාලය මවලා දීපු හීනය, කොච්චර ලස්සන ද කියලා අද මට හිතෙනවා.

විශ්වවිද්‍යාලයට ආපු මුල් දවස් වල ඉඳන් ම, ලංකාවේ හැම පැත්තෙන්ම ආපු හැම දෙනාම ඇසුරු කරන්න, හැම දෙනා එක්ක ම මිතුරු වෙන්න, අපිට අවස්ථාව ලැබුණා. ඒ සහජීවන සංස්කෘතිය, අපේ පීඨයේ සංස්කෘතිය අපිට හඳුන්වා දුන්නේ, අපේ ජ්‍යේෂ්ඨ සහෝදර සහෝදරියන්. ඔවුන් ගැන බිය මුසු හැඟීමක් හිතේ තිබුණත්, ඒ බිය වැඩි කල් නොගිහින් ම ගෞරවයක් බවට පත් වුණා. අපි එකතු වෙලා මුලින් ම සංවිධානය කළේ, අවුරුදු කෑම මේසෙ.  කැවුම්, කොකිස් පිරිලා ඉතිරිලා. හැමෝගෙ ම මූණු වල හිනාව ඉහිරිලා. කට්ටියම එකතු වෙලා වැඩක් කරපු සන්තෝසෙ, හැමෝගෙ ම මූණු වල තැවරිලා. ඊළඟට ආවෙ වෙසක් උත්සවයෙ කටයුතු. වැඩ කටයුතු සාර්ථක ව කරගන්න, හැම දෙනා ම එකා වගේ මහන්සි වුණා. බට කපනවා, පට්ටම් බඳිනවා, සව් කොළ කපනවා, කූඩු අලවනවා, කට්ටියක් ඕපන් එකෙන් තේ ගෙනත් දෙනවා, තව කට්ටියක් භක්ති ගීත පුහුණු වෙනවා, හැමෝ ම බරටම වැඩ. කට්ටිය ම එකතු වෙලා, “කොමන්” එකම කූඩු වලින් පිරෙව්වා. වෙසක් කූඩු හදන අතරේ,  තමන්ගෙ කූඩුව හදා ගන්නත් අපේ කිහිප දෙනෙක් අමතක කළේ නෑ. ඊළඟට අයියලා අක්කලා අපි වෙනුවෙන් පවත්වපු sports day එක.  ඉස්කෝලේ sportsmeet එකෙන් පස්සේ, අපි ගොඩ දෙනෙක් සහභාගී වුණු sportsmeet එක තමයි ඒ. වෙනස් ම තාලෙක sportsmeet එකක්. සෙල්ලම් එහෙමත් සාම්ප්‍රදායික සෙල්ලම් නෙමෙයි, අයියලා අක්කලා නිර්මාණය කරපු, අළුත් ම විදියේ සෙල්ලම් ටිකකට අපි සහභාගී වුණා. ජීවිතේට ම අමතක නොවන විදියේ කිරුළක හිමි කාරයා, අපේ ටොලමි. හැමෝම ගොඩක් සතුටින්. Spaorts day එක එකම හිනා සාගරයක්. ඊළඟට ලේ දන් දීමේ කඳවුර. Batch එකක් විදියට කටයුතු කීපයක් ම සංවිධානය කරලා තිබුණු අපිට, ලේ දන් දීමේ කඳවුර අපහසු දෙයක් වුණේ නෑ. බැරි බැරි ගාතේ ලේ දෙන්න ගිහින්, අපේ සමහරු අමාරුවෙ වැටිලත් තිබුණා. ලේ පරිත්‍යාග කරපු අයට, ලස්සන සිහිවටනයක් දෙන්නත් අපි අමතක කළේ නෑ. ඊළඟ මතකය තමයි batch trip එක. කාලෙකට අමතක නොවන, ත්‍රාසජනක අත්දැකීමක් ඒක. ආදර කඳු තරණයෙන්, අපේ සහෝදරත්වය තව තවත් තර වුණා. ගෑණු ළමයින්ව අතින් කරින් උස්සගෙන, බැරි බැරි ගාතේ වුණත් කන්ද මුදුනට ම ගෑටුවා අපේ පිරිමි ළමයි ටික. හැමෝටම හැමෝගෙම අත්වැල වුවමනා කරන බව දැනුණු මොහොතක් ඒ. ඊළඟට අයියලා අක්කලා අපිට තෑගි දීපු welcome එක. අපි වෙනුවෙන් ඔවුන් කොච්චර මහන්සි වෙලා තියෙනවද කියලා, හිතා ගන්නත් බැරි තරම්. ඔවුන්ගේ ශක්තිය මත, දැවැන්ත කාර්යයක් අපි වෙනුවෙන් ඔවුන් අතින් සිදුවුණා. Welcome එක ජීවිතේට ම අමතක නොවන ලස්සන මතකයන්ගෙන් පිරුණු, සුන්දර රාත්‍රියක්. පවුරු බිඳ දමා සිහින මතින් ආ කොදෙව්වේ, හැමෝගෙ ම සිහින සිතුම් පාට වුණු, මුළු හදින් සෙනෙහසින් යා කළ රාත්‍රියක්. පිරිත් පිංකමක් සංවිධානය කරලා, තුන් රුවනේ ආශිර්වාදය ලබා ගන්නත් අපි අමතක කළේ නෑ. අපේ පීඨයට අළුතින් ආපු නංගිලා මල්ලිලා පිළිගැනීමත් පසුගිය දවසක සිදුවුණා.

අවුරුද්දකුත් හමාරයි. කාලය ඉගිලිලා ගිහින් කාටත් හොරෙන්. ගතවුණු අවුරුද්දෙ සිදුවීම් දාමයත් එක්ක බද්ධ වෙලා, මතක ගොන්නක් හිතේ ඉතිරි වෙලා. ඒ මතක ආවර්ජනාවන් බොහොම ලස්සනයි. අපේ සරසවි ජීවිතයට වසරක් පිරෙන දිනයත් හැමෝ ම එකතු වෙලා සමරන්න අපි කල්පනා කළා. කිරිබත් කෑල්ලක් කාලා, අපේ සන්තෝසයෙ කොටස්කරුවෙක් වෙන්න, පෙබරවාරි දෙවැනි දාට, “ඕපන්” එකට ගොඩවෙන්න කියලා, අභිනව දෙවන වසර අපි ඔබ හැමට ම සෙනෙහසින් ඇරයුම් කරනවා.