මතක මන්දිර (දෙවන කොටස)

Anupama, MathakaMandira 0 Comments

මතක මන්දිර
(දෙවන කොටස)

වාර අවසාන විභාග වලදී අපි බොහෝ විට පළමු වැනියා හෝ දෙවැන්නා වීමු. එහෙත් ඒ වෙනුවෙන් තෑගි ලබන්නට සිහිනෙන් හෝ සිතුවේ නැත. අම්මා සමඟ කිව්වත් අම්මා සිනාසුන අතර කිසිත් නොකියා සතුටු සුසුමක් හෙලුවාය.එහෙත් තාත්තාට මේවා කියන්නට අප අදහස් කළේ නැත.

පාසල් නිවාඩුව විනෝද සාගරයක් විය. සමහර දිනක අපි පෙරහැරවල් ගියෙමු. කොළ අතු එල්ලාගෙන, මූණෙ දැලි ගාගෙන වැද්දා වෙන්නේ “උක්කුං” ය. අයියලා උණ ලී බෙර බැඳගෙන නට නටා ගියහ. අපි(ගැහැණු ළමුන්) ලී කෑලි වලට කඩදාසි රිංගවා ගෙන සාදු කියමින් අහල පහල මිදුල් උඩින්, අගල් අස්සෙන් කෑ ගසමින් ගියෙමු. වැඩිහිටියෝ අපට බාධා නොකලහ. එහෙත් ගොයම් වැඩ කාළයට මේ සියල්ල නවතා ඒ වැඩට උදව් වන්නට අපට සිදු විය. සමහර දින වල අපි එකතු වී ගොස් පන්සල් වත්තේ මිදුල පිරිසිදු කළෙමු. දැන් මෙන් දරුවන් බිය ගැන්වූ බාහිර බලපෑම් කිසිවක් නොවූ බැවින් වැඩිහිටියන්ටත් අපව බරක් නොවීය.

ශිෂ්‍යත්වය සමත් වීම නිසා මට හේනගම මධ්‍ය මහා විදුහලට ඇතුල් වන්නට සිදු විය. මුල් වසරේ ගෙදර සිට සැතපුම් 3 ක් පමණ පයින්ම ගෙවා ගිය ඒ ගමන අද නම් සිහි වෙන විටත් විස්මය දනවන සුළුය. උදේ 6.00 ට පමණ ගෙදරින් පිටවෙන මම ඇඹරළුවේ බටපොල ගෙදර සෝමාත්, පොල්හේනෙ ගෙදර චාලටුත් සමඟ කිතුල්වත්තේ ලිලියන්ගේ ගෙදරට එකතු වී නැදුන්ගහහේන, කිරිකිත්ත, වැලිවේරිය, ඇටිකෙහෙල්ල හරහා හේනගමට ඇදී ගියේ පාසල පටන් ගන්නට මොහොතකට පෙරයි. පළමු වසරින් පසු නේවාසිකාගාරයේ ඇරැඹි ජීවිතය, මගේ ජීවිතයේ අළුත් පිටුවක් පෙරලීමට සමත් විය.

කාලසටහනක් අනුව අපගේ දෛනික කටයුතු සියල්ල සිදු විය. ඒ අතරේ ඉගැන්වීම් සිදු වූයේද තරගයක් ලෙසයි. මා ඉතා ප්‍රිය කල නැටුම් හා නාට්‍ය කලාව ප්‍රගුණ කරන්නට ලැබුනේ මේ අවදියේය. නමුත් වැඩිවියට පත් වී පාසල් පැමිණි මා හට නැටීම සඳහා ගෙදරින් අවසර නොලැබිණ. නමුත් නැටුම් ගුරුතුමා “බලමු හේමා නටන් නැතිවම ඉදියිද කියලා” පවසමින් බෙරය ගසන්නට වූයේය. ඉබේටම මගෙ දෙපාද නැටවෙන්නට විය. එදායින් පසුව තහනම් නියෝග අමතක කරමින් හැකි සෑම අවස්ථාවකදීම නැටුම් සඳහා සහභාගි වූවෙමි. 8 වසරින් පසුව පැවැත්වූ සෑම කලාත්මක සංදර්ශනයකදීම අපට ප්‍රේක්ෂකයා අතර සිට නැරැඹීමට නොහැකි විය. ඒ අපද නොයෙකුත් අංගයන්ට සහභාගි වූ බැවිනි. මේ පුරුද්ද අභ්‍යාස විද්‍යාලයේදීත් එතැන් සිට ඉගැන්වූ සෑම පාසලකදීමත් ඒ ලෙසම සිදු විය.

එකල නේවාසිකාගාරයන් කොපමණ ආහාර ලබා දුන්නත් එය මට සෑහුනේ නැත. මට පමණක් නොව මගේ යෙහෙලියන්ටද එලෙසම විය. එබැවින් නේවාසිකාගාරයේ කුස්සි අම්මාව මිතුරු කර ගත් අපි ඇගෙන් හොදි හා පාන් ඉල්ලා ගෙන තව තවත් ආහාරයට ගත්තෙමු. එකල මට පාන් බාගයක් වුවත් ගිල දැමීම ඉතා සුළු දෙයකි. මෙකල පාන් මෙන් නොව එකල පාන් ගෙඩියද ඉතා විශාලය. මේ නිසා අනෙක් ළමයින් මෙන් නොව, අපි බතල ගෙඩි මෙන් මහතට මහතේ සිටියෙමු.

මගේ සිත් ගත් තවත් ස්ථානයක් වූයේ පාසලේ sick room එකයි. එතැන මගේ වඩාත් සිත් ගත්තේ එහි නිදන් සිටින විට ඇසෙන වතුර ගලා යන සිලි සිලි නාදය මාව වඩ වඩාත් සුවපත් කරන්නට වූ බැවිනි. කවුලුවෙන් පිටත බලන විට පෙනෙන මනස්කාන්ත සුන්දර දසුනෙන් මගේ සිතද සුවපත් කරයි. හිරු කිරණින් විකසිත වී දිලෙන නොයෙකුත් මල් වර්ග වලින් එම කාමරයේ පිටත වඩ වඩාත් අලංකාර විය. ඇතැම් විට බොරුවට ලෙඩ වී මෙම සුන්දරත්වය විඳ ගැනීමට මා පැමිණි අවස්ථාවන් නැත්තේම නොවේ.

1957 සා/පෙළ සමත් වූ මම වයස අවුරුදු 19 පිරෙන්නටත් පෙර අභ්‍යාස විද්‍යාල ප්‍රවේශය සමත් විමි. අපේ ගම් පෙදෙසින් පිට, එහි සිට කිලෝ මීටර 250ක් පමණ ඈත කච්චිගල විදුහලේ ගුරුවරියක් ලෙස මා පත් වූයේ 1960/02/15 වන දිනය.

එය පිහිටා තිබුනේ ගෝනුන් , මුවන්, අලි ඇතුන් පිරුණු වනයක් මැදයි. ගම් වැසියෝ කුරහන් තලප හා දඩමස් ආහාරය පිණිස ගත්හ. ඔවුන්ගේ ගෙපැල මැටි ගසා පිදුරු හෝ මානා සෙවෙලි කර තිබුණි. ගමේ උළු සෙවිලි කළ එකම ගොඩනැගිල්ල පාසල විය. ගමේ දරුවෝ “තුන්කම පොළෙන්” (ගමක නමක්) මිලට ගත් සරම්, බැනියම් , චීත්ත ගවුම් ඇඳ , පාවහන් නොමැතිව පාසලට ආහ. මුළු ශිෂ්‍යයන් ගණන 80ක් පමණ වූ අතර ගුරු මණ්ඩලය 4ක් විය. පාසල ඉහිටා තිබුනේ වැවත් කැලෑවත් අතරේ උස් බිමකය.

ස්වාභාවික සෞන්දර්යයේ දැකුම්කළු මෙන්ම කටුක අත්දැකීම් මා ලැබුවේ එහි ගත කල මාස 9ක පමණ කෙටි කාළය තුලදීය. උදෑසන අවදි වී බලන විට වැව එකම මල් තලාවකි. රතු නෙළුම් , මානෙල් මල් වලින් එය සහ මුලින්ම වැසී යයි. හිමිදිරියේ හිරු එළිය වැටෙද්දී “හ්ම්ම්ම්ම්ම්…” ශබ්දයක් නැගී එන්නට වෙයි. එය ක්‍රමයෙන් දියුණු වෙත්ම අඩි 4ක් පමණ පළල කුරුළු පටියක් බටහිර දෙසින් නැගෙනහිර දෙසට ඇදෙන්නට වෙයි. ඉතා කුඩා ප්‍රමාණයේ කුරුල්ලන් ලක්ෂ ගණනක් මේ ගමනට සහභාගි වෙති. ඔවුන් ගමන් කරනවා ඇත්තේ කැලයට ඔබ්බෙන් පිහිටි ගොවි ජනපද කුඹුරු කරා වන්නට ඇත. හැන්දෑවේ ගොම්මන් වේලාවට මේ කුරුලු පටිය ආපසු ඇදෙන්නේද ඒ අයුරින්මය.

අත්තම්මාගේ දිනපොතේ තවත් රසවත් කොටසකින් නැවත හමුවෙමු……

Image : www.haverford.edu/