මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි

Share

“උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ මරණයක් කොටා ඇත නළලේ “

එහෙත් සමහර පුද්ගලයන් මිය ගියත් දස දහස් ගණනක් හදවත් වල සදාකාලයටම ජීවත් වන්නේය. පසුගිය දා අප අතරින් වියෝ වූ පණ්ඩිත් අමරදේවයන් ද එසේ අමරණීය මිනිසෙකි. යුගයක් අමන්දානන්දයට පත් කළ ඒ හඬපෞරුෂය රසික හදවත් තුළ නැවත නැවතත් රැව්පිළිරැව් දෙනු ඇත.

සුභාවිත ගීතය දුර්ලභතත්වයකට පත්වී යන සහසංගීතය අවභාවිතයට යොදාගනිමින් පවතින වර්තමානය තුළ එතුමාගේ අභාවප්‍රාප්ත වීම මුලු මහත් ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයටම කිසිදාක පුරවාලිය නොහැකි හිස්තැනකි. එනම් ජාතියේ යශෝරාවය නිහඬවීමකි.

1927  උඳුවප් මස 5 වන දින මොරටුව කොරලවැල්ලේ දී ගිරිනෝරිස් පෙරේරා හා වෙස්ලිනා මෙන්ඩිස් යුවලගේ කනිටු පුතු ලෙස මෙලොව උපන් ඔහුට දෙමාපියන් නම් තබන්නේ ඇල්බට් පෙරේරා කියාය. කොරලවැල්ලේ මලලන්කාර හිමියන් ගෙන් මෙන්ම ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ මිශ්‍ර පාසල, කළුතර විද්‍යාලය හා බලපිටිය සිද්ධාර්ථ යන විද්‍යාලවලින් අධ්‍යාපනය ලබා ඇත. පාසල් සමයේ සිට සංගීතයට දස්කම් පෑ හේ තරගවල දී ජයග්‍රහණ හිමි කරගත්තේය. පද්‍ය ගායනා වෙනුවෙන් කොළඹ කලා සංගමයේ තිළිණ ලබන්නට ද, 1945 දී ජනකලා මණ්ඩලයෙන් සම්මාන ලබන්නට ද සමත්විය.

අමරදේවයන්ගේ පළමු සංගීත ගුරු වූ ඩබ්.ජේ.ප්‍රනන්දු මහතා විසින් එවකට ප්‍රකට සංගීත වේදීන්වූ මොහොමඩ් ගවුස් හා ජෙරාඩ් පීරිස් මහත්වරුන්ට හඳුන්වාදෙන ලදින් අශෝකමාලා චිත්‍රපටියේ ගී ගායනයට අවස්ථාව ලැබිණි. ප්‍රේමකුමාර මහතාගේ ‘සැලළිහිණිය’ සඳහා ගී ගයන මොහොතේ ප්‍රේක්ෂකගාරයේ සිටි ඩී.බී.ධනපාලයන් සහ සරච්චන්ද්‍රයන් තම හඬින් මවිත කරන්නට සමත් වූ නිසාම ඔවුන්ගේ අදහසක් අනුවම ඉන්දියාවේ ලක්නව් විද්‍යාලයට ඇතුළත් වීමේ අවස්ථාව හිමිකර ගැනිමට මෙම තරුණයා සමත්විය. ලංකාවට පැමිණි අවස්ථාවක රවි ශංකර් සංගීතවේදියා සිදු කළ ආරධනාව ද ලක්නව් ඇතුළත් වීමට මහෝපකාරි විය.

සරච්චන්ද්‍රයන්ගේ ඉසිවර දැක්ම අනුව මේ ඇල්බට් තරුණයාට ජගත් කීර්තියක් ලබන්නට වාසනාවක් තිබෙනවා යැයි ඔහුට හැඟුණ නිසාම දේශියත්වය ඉන්දියාවට රැගෙන යාමේ අරමුණෙන් ඇල්බට් නම “අමරදේව” ලෙසින් වෙනස් කිරීමට සරච්චන්ද්‍රයන් පියවර ගත්තේය. ඒ අනාගත දැක්ම කොතරම් නිවැරදි දැයි වර්තමානයේ අපට දැනේ.  එසේම ඔහු ගොඩනගාගත් අනන්‍යතාවය ප්‍රතිස්ථාපනය කිරිමට කිසිවෙකුට නොහැකි වනු ඇත.

එදාමෙදා තුර සංගීතයට කළ අනුපමේය සේවය නිසාම පණ්ඩිත් අමරදේවයන් ලද සම්මාන ගණන විශාලය. කලා කීර්ති සම්මානය (1986), දේශමාන්‍ය සම්මානය (1998), පිලිපීනයෙන් ලද රමොන් මැග්සේසේ සම්මානය (2001), ප්‍රංශයෙන් ලද Order of Arts and Letters සම්මානය (2003) ඒ අතරින් කීපයක් පමණි.

ඉතිං ඒ අමර ස්වරය අද නිහඬවී ඇත. නමුදු එතුමා කළ සේවාව සදානුස්මරණීය වේ. පණ්ඩිත් අමරදේවයන්ගේ ජීව ආත්මය දේශයෙන් සමුගෙන අවසන්ය. නමුත් එතුමන්ගේ ගීත ආත්මය මේ දේශය තුළ සදාකාලයටම පවතිනු ඇත.

අපි ඔබට නිවන් සුව පතමු.