ශ්‍රී ලංකාවේ දුම්රිය වර්ග

Alumni 0 Comments

දුම්රියක් එහෙමත් නැත්නම් කෝචිචියක් කිව්වම මොකද්ද ඔබේ සිහියට එන්නේ. හරි හරි කෝච්චියක් පින්තූරෙකින් හරි දැකල නැති කෙනෙක් නෑනේ. ඒ වුණත් ඇත්තටම කෝච්චියක මොනවද තියෙන්නෙ, මොනවද කෝච්චි වර්ග කියල ඇහුවොත් ගොඩක් අයට උත්තර දෙන්න අමාරුයි. බොහෝ විට එන්ජිමක් හා මැදිරි පෙළකින් සමන්විත දෙයක් කියල කියාවි.

හරි, ඒක වැරදි නෑ. ඒත් එයින් ටිකක් එහාට ගිහින් ටිකක් විස්තරාත්මක ව කෝච්චියක දකින්න පුළුවන් දේවල් ටිකක් දැන ගන්න කැමති නම් මේ ලිපිය ඔබට යි.

මුලින්ම කියන්න ඕන සෑම දුම්රියක්ම එක හා සමාන නැති බව. ඔබ දැනටමත් දැක ඇති සමහර දුම්රියවල වෙනම එන්ජිමක් සහ මැදිරි පෙළක් අමුණා ධාවනය වන අතර තවත් සමහරෙක එන්ජිම පිටතින් බැලු පමණින්ම හඳුනා ගත නො හැකියි. එන්ජිමත් සම්පූර්ණ දුම්රියේ ම කොටසක්. ඒ වගේම ඔබ දැක ඇති දෙදිශාවටම හැරවීමකින් තොරව ගමන් කළ හැකි දුම්රිය. එනම් දෙදිශාවට මුහුණ ලා නියමු කුටි සහිත දුම්රිය. මීලඟට අපි මේවා එකිනෙකට සමීපව හඳුනා ගනිමු.

එන්ජිමක් (locomotive) හා මැදිරි (carriages) පෙළක් සහිතව ධාවනය වන දුම්රිය.

මුල් කාලීනව, එනම් දුම්රිය සේවය ආරම්භ වූ යුගයේ සිට සෑහෙන්න කාලයක් යන තුරු පැවතුණේ මෙවන් දුම්රිය පමණයි. මුල් යුගයේ වාෂ්ප බලයෙන් ධාවනය වූ දුම්රියත් පසු කාලීනව ඩීසල් බලයෙන් ධාවනය වූ දුම්රියත් යන දෙවර්ගයම මේ ආකාරයේ සැකැස්මකින් යුතුව ධාවනය වූවා. පැහැදිලිව හඳුනාගත හැකි එන්ජිමක් වෙනමමත් ඊට ඈඳූ මැදිරි පෙළකිනුත් මෙම වර්ගයේ දුම්රිය සමන්විත වනවා.

train with locomotive
එන්ජිමක් හා ඈඳූ මැදිරි පෙළකින් සමන්විත දුම්රියක්

වාසි අවාසි

මෙම ක්‍රමයේ වාසි හා අවාසි යන දෙකම දකින්නට පුළුවන්.

වාසි හැටියට, අවශ්‍යතාව පරිදි මැදිරි ගණන වෙනස් කරන්නටත් ඒ අනුව ඊට සරිලන බලයක් සහිත එන්ජිමක් යෙදීමටත් සුළු වෙලාවක් තුළ නව සැකැස්මක් සහිත දුම්රියක් නිර්මාණය කිරීමට හැකියාවත් පෙන්වා දිය හැකියි. එමෙන්ම වැඩිපුර බලය අවශ්‍ය විට පමණක් අමතර එන්ජින් යොදවා අව්‍යතාව ඉටුකරගැනීමට හැකි වීමත් අමතර වාසියක්.

අවාසි හැටියට, ගමන් කරන දිශාව ක්ෂණිකව මාරු කිරීමට හැකියාවක් නැති වීම ප්‍රධාන කොට සැලකිය හැකියි. මෙවැනි දුම්රියක් කොළඹ සිට මහනුවර හරහා බදුල්ල දක්වා යැවුවහොත් මහනුවරදී එන්ජිම ඇති ස්ථානය වෙනස් කිරීමට ගතවන කාලය හා, දුම්රියේ නැරඹුම් මැදිරියක් ඇත්නම් මහනුවර දක්වා එය දුම්රියේ ඉදිරියට එනම් එන්ජිම පිටුපසින් ඇමිණීමට සිදු වීම නිසා මගීන්ට අවට නැරඹීම පසෙකලා එන්ජිම නැරඹීමට සිදු වීම මෙම ආවාසි වලට උදාහරණ වශයෙන් දක්වන්නට හැකියි.

Diesel Multiple Units (DMU)/Power set බලවේග කට්ටල දුම්රිය

මුලින්ම මෙම දුම්රිය වර්ගය හඳුන්වන නාමයෙහි ගැටලුවක් ඉංග්‍රීසි හා සිංහල භාෂාවන් දෙකෙන්ම පවතිනවා. නම සඳහා වන වාදය අමතක කර අපි ඉදිරියට යමු.

දෙපසින්ම නියමු කුටි දෙකක් සහිතව එක් පසකින් එක් එන්ජිමක් හෝ දෙපසින් එන්ජින් දෙකක් හා ඈඳූ මැදිරි කට්ටලයක් මෙවන් දුම්රියකට අයිති වනවා. මෙවන් කට්ටල එකට ඈඳා බහු කට්ටල (Multiple Units) වශයෙන් ධාවනය කිරීමේ හැකියාවද පවතිනවා.

Diesel Multiple Unit
Diesel Multiple Unit

මෙහි ඇති විශේෂත්වය කලින් කී වර්ගයේ අවාසි මඟහරවා නිම වූවක් වීමයි. දෙදිශාවටම නියමු කුටි පැවතීම හේතුවෙන් දිශාව මාරුකිරීමේ දී විනාඩියක් දෙකක් ඇතුළත දිශාව මාරුකිරීමට ඇති හැකියාව කැපී පෙනෙනවා.

මෙම දුම්රිය ආකාර කිහිපයකින් අපට දකින්නට හැකියි.

  1. එක් ආකාරයක් නම් එක් එන්ජිමක් සමඟ එන්ජිමක් රහිත එළවුම් මැදිරියක් හා කෙටි දුර නාගරික ධාවනයට සුදුසු පරිදි දිග අතට ආසන සවි කළ මගීන් වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැකි මැදි යෙදූ කට්ටල (උදා, S8, S9, S10 පන්තියේ දුම්රිය).
  2. අනෙක් ආකාරය එක් එන්ජිමක් සමඟ එන්ජිමක් රහිත එළවුම් මැදිරියක් හා දුර ගමන් සේවා සඳහා පහසුකම් වැඩි සාමාන්‍ය ආසන (හරස් අතට සවිකළ ආසන) සහිත මැදිරි යෙදූ දුම්රිය කට්ටල. (උදා S11 පන්තියේ දුම්රිය)
  3. ඊළඟට එන්ජින් දෙකක් දෙපසින් යොදා ඉහත කී ආකාරයේ දුර ගමන් සේවා ආසන සහිත දුම්රිය කට්ටල. (උදා S12 පන්තියේ දුම්රිය)

කොළඹ තදාසන්න මාර්ගයන්හි ධාවනය සඳහා පළමු ආකාරයේ දුම්රිය වැඩිපුර යොදවා තිබෙනු දක්නට ලැබෙනවා. එයට හේතුව අඩු කාලයකදී ගමන් දිශාව වෙනස් කිරීමට ඇති හැකියාව හා වැඩි මගීන් ප්‍රමාණයක් ගෙනයා හැකි අන්දමේ ආසන සැකැස්මක් මැදිරි තුළ දක්නට ලැබීමයි.

මේ කියන ආකාරයේ දුම්රිය මෑතක් වන තුරු බොහෝ සෙයින් කොළඹ අවට පමණක් ධාවනය වූ අතර ශ්‍රී ලංකා දුම්රිය සේවය මෑතදී (2011න් පසුව) එකතු වූ බලවේග කට්ටල දුර ධාවනයටත් සරිලන පරිදි (දෙවන හා තුන්වන ආකාරය) ඇතුළත පහසුකම් (low density comfortable passenger seating arrangement with sanitary facilities) සපයා ඇති බැවින් මේ වන විට දිවයිනේ ත්‍රිකුණාමල හා මඩකලපු මාර්ගයේ හැර අන් සෑම මාර්ගයකම දුර ධාවනය සඳහා යොදවා තිබෙනවා.

Class S12 interior © Thurya Owitipana
Class S12 interior © Thurya Owitipana

වාසි අවාසි

මෙහි වාසි අවාසි ගැන කතා කරන විට, වාසි වශයෙන් කලින් කී වර්ගයේ අවාසි මඟහැරීම ප්‍රධාන කොට සලකන්නට හැකියි. අවාසි ගතහොත් මෙහි සාමාන්‍ය නැරඹුම් මැදිරි එකතු කිරීමේ හැකියාක් නැහැ. නමුත් දෙපස විශාල කවුළු තැබීමෙන් මෙම අපහසුතාව මඟහරවා ගත හැකි නමුත් ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව කණගාටුවෙන් වුත් සඳහන් කළ යුතුයි. මෙතෙක් කළක් අවාසියක් ලෙස ගැනුණු ආසන සැකැස්ම පිළිබඳ ගැටළුද කලින් සඳහන් කළ ආකාරයට විසඳා ඇති හෙයින් බලවේග කට්ටල දුම්රිය අවාසි අවම ක්‍රමයක් බව සඳහන් කළ හැකියි.

භාණ්ඩ ප්‍රවාහන සහ මිශ්‍ර දුම්රිය

භාණ්ඩ ප්‍රවාහනය සඳහාම තැනුණු ශ්‍රී ලාංකීය දුම්රිය මාර්ග ජාලය අද වන විට භාණ්ඩ ප්‍රවාහනය කරන්නේම නැති තරම්. නමුත් අදටත් ඉතා සුළු ප්‍රමාණයක් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ක්‍රියාත්මක වන අතර ඉන්ධන, මෝටර් රථ, කන්ටේනර් සහ අනෙකුත් භාණ්ඩ ප්‍රවාහනයට දුම්රිය සේවයට හැකියාව පවතින අතර මෙකී ආකාරයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය කිහිපයක් මේ වන විට ක්‍රියාත්මක වනවා.

A mix train
ලෑල්ල හෙවත් අංක 1126 දරණ මිශ්‍ර දුම්රිය

ඉන්ධන ගෙන යාම සඳහා විවිධ ප්‍රමාණයේ හා විවිධ වර්ගයේ ඉන්ධන ප්‍රවාහණය සඳහා වෙන් වූ ඉන්ධන ප්‍රවාහණ ගැල් (Gasoline/Kerosene/Diesel Tank) ලදුදෙ සතුව පවතින අතර ගැලුම් 20,000ක ධාරිතාවෙන් යුතු ඉන්ධන ගැල් ඒ අතරින් ප්‍රමුඛත්වයක් ගන්නවා. ඉන්ධන ප්‍රවාහණය සැලකූවිට සාමාන්‍ය ඉන්ධන ප්‍රවාහණය ප්‍රධාන මාර්ගයේ (කොළඹ – බදුල්ල) හා උතුරු මාර්ගයේ (පොල්ගහවෙල-යාපනය) බහුලවටම සිදු වනවා. කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලට අවශ්‍ය ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනයත් දුම්රිය මගින් සිදු කෙරෙනා සුවිශේෂ කාර්යයක්. පේරාදෙණිය, හපුතලේ, බදුල්ල, කුරුණෑගල වැනි දුම්රිය ස්ථාන හා යාබදව විශල ඉන්ධන ගබඩා දකින්නට හැකි අතර ඒවා අවට ප්‍රදේශය පුරා දුම්රියෙන් ගෙන ආ ඉන්ධන බෙදාහැරීමට භාවිත කරනවා.

කන්ටේනර් දුම්රියෙන් ගෙන යාම සඳහා ව්‍යාපෘතියක් මේ සහස්‍රකයේ මුල භාගය ආරම්භ වුවද ලොරි රථ හිමියන්ගෙන් රජයට වූ බලපෑම් හේතුවෙන් එය නවතා දැමුණු බව කියවෙනවා. කෙසේ නමුත් ව්‍යාපෘතිය සඳහා ගෙන්වූ කන්ටේනර් ප්‍රවාහන ගැල් (Container Flats – CF) යම් ප්‍රමාණයක් ල.දු.දෙ සතුව පවතින අතර පුත්තලම සිමෙන්ති කම්හල සඳහා ක්ලින්කර් (Clinker) ප්‍රවාහණ දුම්රිය සඳහා ඒවා යොදවා තිබෙනවා. මීට අමතරව එවන් container flats කිහිපයක් මෝටර් රථ ප්‍රවාහණයට සුදුසු පරිදි වෙනස් කර Micro සමාගම සඳහා මෝටර් රථ ප්‍රවාහණයට යොදවා තිබෙන අතර කලින් කලට මෝටර් රථ ධාවන තරඟ සංවිධායකයින්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ මෝටර් රථද ප්‍රවාහණය කර තිබෙනවා.

Micro cars transport by train
Micro cars transport by train © Micro Cars

මිශ්‍ර දුම්රිය ලෙස හැඳින්වෙන්නේ භාණ්ඩ හා මගීන් එකවර ප්‍රවාහණය කෙරෙන දුම්රියවලට යි. මේ සඳහා අතිශය ජනප්‍රිය උදාහරණය කඳුකරයේ දිවෙන මිශ්‍ර දුම්රිය අංක 1126 හා 1596 දරණ දුම්රිය දෙකයි. මේ දුම්රිය මගීන් හඳුන්වන්නේ “ලෑල්ල” යන නමින් වන අතර මෑතක් වන තුරු මගීන් සඳහා වූයේ දැවයෙන් නිමවූ මැදිරි දෙකක් පමණයි. මේ වන විට සාමාන්‍ය මගී මැදිරි දෙකක් හා පළමු පන්තියේ නැරඹුම් මැදිරියක් එක් කර ඇති මෙම දුම්රිය මහනුවර සිට බදුල්ල දක්වා යෑමට පැය 12ක් ගන්නවා. මීට අමතරව කලකට පෙර අනුරාධපුර දක්වා ධාවනය වූ මිශ්‍ර දුම්රිය ද මීට උදාහරණයක්.

විස්තර කළ කරුණු පිළිබඳව ප්‍රශ්න ඇත්නම් කමෙන්ට් මගින් විමසන ලෙසද සදොස් තැන් හා එකතු විය යුතු කරුණු ඇත්නම් දැනුම් දෙන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.

මීළඟ ලිපියෙන් ශ්‍රී ලංකාවේ දුම්රිය සම්බන්ධයෙන් වන තවත් වර්ගීකරණයක් පිළිබඳව කෙටි විස්තරයක් ගෙන එන්නට බලාපොරොත්තුවෙන් සමුගන්නම්.

පලි: සියළුම හිමිකම් ඇවිරිණි. විශේෂයෙන් සඳහන් කර ඇති ඡායාරූප හැර අනෙකුත් සියළුම ඡායාරූප, රූපසටහන් සහ ලිපියේ අයිතිය රචකයා සතුවන අතර අනවසරයෙන් උපුටා ගැනීම් සහ නැවත පළ කිරීම් සපුරා තහනම් වේ. All rights reserved. All the pictures and sketches are belong to the author otherwise stated. Unauthorized extractions and republishing is prohibited.