එදත් ගැහැනු හරි තතුත් නොදැන ම
පිනැති බිම්බා පුවත නිර්මල
උනුන් කන්වල ඔහේ තැන්වල
සිතූ සේ කෙඳිරුවේ මේ ලෙස
රූබර බව හැබැයි, ඒත්
නැහැනේ කිසි කලඑළියක්
ගෝතමි හිත් ගින්දරින් ලු
දහතුන් වස් ගියත් – කෝ දරුවෙක්!
අන්න, හිමිත් හැර ගොසින් ලු
දරුවා බිහි වූ දාම?
සැකයක් නම් නැහැ කොහිත්
ඇගේ අත ඇති මහ ම වරදක්
මේ කුමන ගැරහුමක්ද?
මවක් නම් මෙසේ හැසිරේද?
නැවතත් සරණ යන හැඩයි
අත ගන්ට කුමරුන් තරගෙටයි
කසී සළු හැරදමා – රළු වතක් අඳිනව ලු
රජ බොජුන් නොවේ දැන් – සුළු අහර පමණම ලු
එතරම් ම සෙනෙහසක්
තිබුණේ වී නම් පෙරත්
හිමි මන්ද නොරැඳුණේ
මෙතැන ඇත පැන ගොඩක්
දනී ද එදා වූ විපත?
විළි බියක් ඇත්තේ ම නැතුවද!
ගෙන්වා ලූ සැටි අප ‘තුම් මුනිඳුන්
යහන් ගැබ ඈ දෙපා මුලට ම
අන් කතක් නම් නුහුලනා
අපමණ දුකක් ඕ දරමිනා
සියල් මේ බස් නොහොබිනා
ඉවසුවේ මේ ලෙස කුළුණිනා
බිම්බා දේවී:
මෙවත් ගොතනා කතුන් මෙන් මම
පින් මඳ ව කතක ව නුපන්නෙමි
හිමි සඳට බැඳි පෙමින් කැපවන
වරම් ලද කුමුදුනිය මම වෙමි
සකල ජන මෙහි කුමක් කීවද
ඊට පිළිතුරු නොම බඳින්නෙමි
එ දන සසරින් එගොඩ කරනට
පතිවතේ පාරමී පුරනෙමි
Written By : Nipuni Kadupitiya
Image Courtesy : https://cutt.ly/Pfn8dUY