ආලය වන් මනරම්

Share

විසිඑක් වන සියවසේ ඉලක්ක හඹා යමින්, අනාගතය නැමති මායාව යථාර්තයක් කරගැනීමෙහිලා ආත්මාර්ථය හා මමත්වය පෙරදැරි කරගනිමින්, මුදල් පසුපස යන අධිවේගී තරඟයකට අපි සැවොම අවතීර්ණ වී ඇත බව නො රහසකි. එවන් අධිවේගී තරඟයකට අවතීර්ණ වූ කවරකුගෙන් වුව ප්‍රේමය යනු කවරක්දැ යි මා විමසුවහොත් එය වනාහි මෙසේ යැයි අරුත් ගැන්වීමට බොහෝ දෙනා අසමත් වනු ඇත.

නමුත් ප්‍රේමය පාලක බලවේගයක් ලෙස ලෝකය වෙලාගෙන ඇත. එය නිසරු දෙයක් යයි සිතා ඉවත දැමිය නො හැක්කේ ද සියලු මිනිසුන්ගේ ජීවත් වීමේ බලාපොරොත්තුව එය වන බැවිනි.

අප ආදරය හඳුනා ගන්නේ මවගෙනි. ඉන්පසු පියාගෙන් හා සහෝදර සහෝදරියන්ගෙනි. ඉන් අනතුරුව හිතමිත්‍රාදීන්ගෙනි. සමාජය තුළ ජීවත් වීමේ දී ඇති කරගන්නා ස්ත්‍රී පුරුෂ සබඳතා එක්කර තබන යදමක් ලෙසින් ද ප්‍රේමය අරුත් ගැන්විය හැකි ය. මෙම භාෂා වියමනට ප්‍රස්තුථ වන්නේ ද එකී ප්‍රේමයයි.

ප්‍රේමය, ආදරය, ආලය ලෙස බොහෝ පර්යාය පදවලින් හැඳින්වුව ද එය හුදෙක් සංකල්පයකි. තාත්වික ලෝකය තුළ දී සිදුවන්නේ ආදරයට අනුරූප වීම විනා එය භෞතික දෙයක් නො වේ. එය හුදෙක් ස්පර්ශ කළ හැකි දෙයක් ද නො වන අතර රාගයෙන් තොර වූ මනෝභාවයකි. ප්‍රේමය වූ කලී හුදු ආධ්‍යාත්මික සුවයකි.

ප්‍රේමය එහි අවංක බවින් හා සුන්දර බවින් ඈත් වෙමින් පවතින යුගයක, ආධ්‍යාත්මික ප්‍රේමය කියා දෙයක් ලොව තිබේදැ යි සිතීම ද ගැටලු සහගත ය. එවැන්නක් තිබේයැ යි කෙනෙකු පවසන කළ තවකෙකුට එවැන්නක් නැතැ යි තර්ක කළ හැකි ය.

බොහෝ විට ආදරයක් සිතේ ජනිත වන්නේ අප නෙතින් දකිනා රුවකට ය. නෙතට වස්තු වන සෑම දෙයක්ම චිත්තාකර්ෂණීය නො වන්නේ යම් සේ ද නෙතින් දකිනා සෑම රුවක් කෙරෙහිම අප ආලයෙන් නො බැදෙනු ඇත. එබැවින් ආදරය ගැන කෙසේ පැවසුව ද ආදරය හටගන්නේ මුලින්ම දකින බාහිර රූපය කෙරෙහි නම් ආධ්‍යාත්මික ප්‍රේමයක් අරුත් ගැන්වීම කාලෝචිත දැ යි සිතේ.

ෆැන්ටසියෙන් ඔබ්බට ගිය ප්‍රේමයේ විරාග රාගය අතර දෝලනයවන අර්ථරසය හඳුනාගත්තෝ අද දුලබ වෙති. කෙසේ වුවත් ආදරය ගේය පද රචකයන් අතර සුන්දර වරදක් ලෙස කිරුළු දරා ඇත. නමුත් එය සුන්දර යයි කීම මා කරන වරදක් නොවේ.

වත්මන හමුවන බොහෝ චරිත තුළ සැඟව ඇත්තේ අස්ථිර වූ ආදරයක ස්ථිරත්වය සොයායන්නවුන් සහ ස්ථිර වූ ආදරයක අස්ථිරත්වය සොයායන්නවුන් ය. මොවුන්ගේ වැරදි නිවැරදි බවට හේතු දැක්වීම ඔබට බාර ය. මගේ හැගීම නම් දෙදෙනා ම වැරදි බවයි. මන්ද යත් ස්ථිර වූ ආදරයක ඇත්තේ අස්ථිර බවක් නිසාවෙනි. “එදා සෙනෙහෙන් නො බැදුනා නම් මෙදා වියොවක් නෑ” ලෙසින් පල්ලේගම හේමරතන හිමියන්ගේ පන්හිඳට ප්‍රස්තුථ වන්නේ ද ආදරය පසුපස හඹායෑම තුළින් හමුවන අස්ථිර බවයි.

මාගේ වෑයම ප්‍රේමයට නව අර්ථකතනයක් දීම නො වේ. හුදෙක් ඒ දෙස සමාජය විසින් බලන දෘෂ්ටි කෝණය යම් තරමකට හෝ වෙනස් කිරීමයි. කාලානුරූපි අනුක්‍රමණයේ ප්‍රතිමූර්තිය සිතුව්ම් කරනු වස් රචිත මේ වියමන තුළින් සන්නිවේදනය කරන්නට යත්න දරන්නේ, ප්‍රේමය යනු භෞතික වස්තූන්ගෙන් සුසැදි බාහිර ආටෝපයක් ලෙසින් නො ව දයාව, හෘදයංගම බව, සෙනෙහහස හා  අන්‍යොන්‍ය ගෞරවය පෙරදැරි කරගත් උතුම් හැඟීමක් ලෙස උසස් මනසකින් දකින ලෙසයි.

යුරෝපීය සිරිත් ලෙවකමින්, ලෞකික තාවකාලික ආශාවන් නැමැති මිරිඟුවේ දැවටෙමින් අවර ගණයේ බිහිසුණු වූ බාල ආකල්ප තුළ ප්‍රේමය නැමැති සංකල්පය සිරගත කොට තිබීම අභාග්‍යයකි. හිස් වූ ආත්මයන් හිමිකර ගත් විපරීත වැඩිහිටි සමාජයේ, ප්‍රේමය හමුවේ මුලාව හා රැවටීම පොදු සාධකයක් වී තිබීම මෙයට හොඳම සාක්ෂියයි.

එනමුත් ඒ උත්තරීතර මනෝභාවය කිළිටි කිරීමට කිසිවකුටත් අයිතියක් නැත. එය එසේ වූවත්, ආත්ම ලාභය උදෙසා ඇප කැප වූ මිනිසුන් වෙසෙන සමාජයක, සංවේදී ස්ත්‍රී පුරුෂයන් වසන තාක් ප්‍රේමය, මිලිනව නො යන සුවඳවත් කුසුමකි.

ආදරය කරන නො කරන සියලු දෙනා වෙත සෙනෙහසින් !

සංවාදයට විවෘතයි.

ඡායාරූප:https://static.superiorwallpapers.com/images/lthumbs/2018-02/12605_The-tree-of-pure-love-made-from-hearts-Valentines-Day.jpg