රාවණ මහරජු උඩුගුවන ආක්‍රමණය කළ දා

Share

ශ්‍රී ලාංකික අභ්‍යවකාශ හා තාරකා විද්‍යාවේ ඉතිහාසය වසර 5000 ක් තරම් ඈතට දිවයන්නකි. ලිඛිත සාක්ෂි හමු නොවුන ද පුරාවිද්‍යාත්මක සාධක ඔස්සේ බලන කළ එය රාවණ රජුගේ අවධිය දක්වා දිවයන්නක් බවට ඇති හොඳම නිදසුන වන්නේ ඉසුරුමුණියේ තාරකා දොරටුවයි. 2019 අප්‍රේල් මස 17 වන දින රාවණ දරුවන් දෙදෙනෙක් එම ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට සමත් වූහ. ඒ තීරණාත්මක සන්ධිස්ථානය වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව වූ රාවණ 1 නැතහොත් BIRD-LKA උඩුගුවනේ කක්ෂගත කිරීමයි.

රාවණ 1 යනු ඝනක චන්ද්‍රිකාවකි, එනම් ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවකි. එය ප්‍රමාණයෙන් ඝන සෙන්ටිමීටර 1000 ක් වන අතර එහි ස්කන්ධය කිලෝග්‍රෑම් 1.1 කි. රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ මූලික අරමුණු පහක් විය. ඒවා නම්,

  • චන්ද්‍රිකාව කක්ෂගත කිරීම හරහා ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ලබා ගැනීම.
  • ඉදිරි චන්ද්‍රිකාවල භාවිතා කිරීමට නියමිතව ඇති ‘ලෝරා මොඩියුල් ‘ නම් දත්ත බාගත කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සදහා යොදා ගැනීමට සැලසුම් කර ඇති මෘදුකාංගය අත්හදා බැලීම.
  • චන්ද්‍රිකා නිර්මාණය කිරීමේදී  භාවිතා වන දෘඪාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම.
  • චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් පසු තමන් වටා කැරකෙන ප්‍රවේගය (කෝණික ප්‍රවේගය ) අඩු කිරීම පිළිබඳව අත්හදා බැලීම.
  • පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය පිලිබඳ අධ්‍යනය කිරීම.

 

 

ජපානයේ කියුෂු සරසවියේ “BIRD 3” ව්‍යාපෘතිය යටතේ රාවණ 1 චන්ද්‍රිකාව නිර්මාණය විය. නේපාලයට සහ ජපානයට අයත් චන්ද්‍රිකා දෙකක් ද මෙම ව්‍යාපෘතිය යටතේ නිර්මාණය විය. නේපාලයේ ප්‍රථම චන්ද්‍රිකාව වන “Nepalisat-1” ද නිර්මාණය වන්නේ මෙම ව්‍යාපෘතිය යටතේ ය.
ශ්‍රී ලාංකීය අභ්‍යවකාශ තාක්ෂණයේ නව මංපෙත් සොයාගිය රාවණා දරුවන් වන්නේ මොරටුව ආතර්.සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවන් වන ලංකාවේ  තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ ය. පේරාදේණිය සරසවියේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව හැදෑරූ තරිඳු දයාරත්න විසින් චන්ද්‍රිකාවේ සබඳතා පද්ධතිය නිර්මාණය කළ අතර, තායිලන්තයේ දී විද්‍යුත් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව හැදෑරූ දුලානි චාමිකා විතානගේ විසින් චන්ද්‍රිකාව තම අක්ෂය වටා භ්‍රමණය වන කෝණික ප්‍රවේගය අවම කිරීම සඳහා අවශ්‍ය පද්ධතිය නිර්මාණය කරන ලදී.

මෙම චන්ද්‍රිකාව රාවණ 1 ලෙස නම් කර ඇත්තේ ව්‍යාපෘතියේ නියමුවකු වන ආතර්. සී. ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සරත් පනාවැන්න මහතාගේ අදහසක් අනුවය.
ජපාන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රාවණ 1 චන්ද්‍රිකාව 2019 පෙබරවාරි 18 වන දින නිල වශයෙන් භාරදෙන ලදී. ජපාන අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් නාසා ආයතනය වෙත රාවණ 1 ඇතුළු “BIRD 3” ව්‍යාපෘතියට අයත් චන්ද්‍රිකා භාරදීමෙන් අනතුරුව සිග්නස් 1 අභ්‍යවකාශ යානය මඟින් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත යොමු කෙරුණි. ඒ 2019 අප්‍රේල් 17 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් අළුයම 2.16 ට පමණ ඇමරිකා එක්සත් ජනපඩයේ වර්ජිනියා හිදී ය. 2019 අප්‍රේල් 18 වන දින රාවණ 1 ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත භාරදෙන ලදී. 2019 ජුනි 17 වන දින පෘථිවියට කිලෝමීටර 400 ක පමණ දුරින් එය කක්ෂගත කෙරිණි.
රාවණ 1 දිනකට ඡායාරූප 15 ක් ලබාගැනීමේ හැකියාවෙන් යුක්ත විය. චන්ද්‍රිකාවේ අපේක්ෂිත ආයු කාලය වසර 1.5 ක් වුවද වසර පහක පමණ කාලයක් එය ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රාවණ 1 උඩුගුවනේ කක්ෂගත කිරීම ශ්‍රී ලාංකීය අභ්‍යවකාශ විද්‍යාවේ ජයග්‍රාහී කඩඉමකි.මෙම කක්ෂගත කිරීමෙන් දැන් වසරකටත් වඩා ගතවී ඇති නමුත් නැවත නැවතත් අප එය සිහිපත් කරනු අවැසි වනුයේ එය රාවණ පරපුරේ විසල් ජයග්‍රහණයක් වූ නිසාවෙනි. සිරිලක් දූ පුතුන් හට අභ්‍යවකාශ විද්‍යාවේ ශ්‍රී ලාංකීය මුද්‍රාව සනිටුහන් කිරීමට තව තවත් දිරි ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.

Image courtesy ;

https://images.app.goo.gl/FyaEWcFBV3SY4buP9 

https://images.app.goo.gl/jHeZ21tfopAyqTQ76

https://images.app.goo.gl/FKZy7nkRcfuTdoPZ8

 

 
Tagged : /