දූෂණය හා භීෂණය නැති කිරීමට නම්

Share

අතීතයේ සිටම ශ්‍රි ලංකාව ඇතුළු මුළු මහත් සමාජයම, ධර්මයේ පෝෂණයත් සමඟ ධර්මද්වීපයක් ලෙස ලොව පුරා නම් දැරී ය. සෙත් පිරිතෙන් අවදි වී, මහ පිරිතෙන් නින්දට යන සමාජයක අපි ජීවත් වුණෙමු. එහෙත් දැන් අවාසනාවකට මෙන් සියලු උත්තම මිනිස් ගුණ ධර්ම, සාරධර්ම උඩු යටිකුරු වී අපරාධ, දූෂණය, භීෂණය රජයන සාපලත් සමාජයක ජීවත් වන්නට වර්තමානයේ අපට සිදු වී ඇත. ජාති අරගල, දේශ සීමා අරගල, රටක අභ්‍යන්තරයේ දේශපාලන අරගල, විශ්ව විද්‍යාල තුළ ගැටුම්, මෙපමණක් නො ව මෑතක සිට පාසැල් භූමිය තුළ ද ජීවිත විනාශ වීමට තරම් තුඩු දෙන සාහසික සිතුවිලි කුඩා දරුවන්ගේ සිත් සතන් තුළ ද රජයන අයුරු සැමටම පැහැදිලි කරුණකි.

මෙසේ බලන කල්හි දශක ගණනාවක් තිස්සේ මිනිසුන් අතර තිබූ සාමය, සහජීවනය දුරු වී සමස්ත ලෝක වාසීහුම ත්‍රාසය හා භීතිය මැද ජීවත් වෙති. සෑම මොහොතකම ලෝකයේ කොතැනක හෝ යුද්ධයකි. ඉන් වටිනා මිනිස් ජීවිත මෙන්ම භෞතික සම්පත් ද විනාශ වන අතර මිනිසා මිනිසාගේම සතුරකු වී ඇත. ක්‍රෝධය, පළිගැනීම, අසංවරකම නිසා ඇතිවන මෙවැනි තත්තවවල අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ අසරණභාවයයි.

ගඟක් ඉවුරු බිඳගෙන ගිය කළ, ගඟ අයාලේ ගලා යයි. වැසි ලැබුණහොත් එය ප්‍රචණ්ඩ විය හැකි ය. ඉන්පසු නිර්මාණය වන මහා ජල කඳ නිසා ඇති වන්නේ බරපතල ඛේදවාචකයකි. සමාජය ද එවැනිම ගඟක් නම් එය සුදුසු මග ඔස්සේ ගලා ගියහොත් එතරම් ගැටළු පැන නගින්නේ නැත. නමුත් අයාලේ ගියහොත් අත්වන ප්‍රතිඵලය බිහිසුණු ය. මව්පිය සෙනෙහස, සාරධර්ම, නිසි අධ්‍යාපනය, සමාජය නැමැති ගඟේ ඉවුරු ය. එහෙත් සියල්ලටම මිලක් නියම වී ඇති අද වැනි සමාජයක යහපත ද විකුණා ගැනීමට සමත්කම් දරයි. ඉවුරු කඩාගෙන මත් ද්‍රව්‍ය උවදුර, විෂම ගති පැවතුම් හා දූෂණ, වංචා, හොර මැරකම් නම් වූ ගල්පර ඔස්සේ ගලායන ගංදිය පාළු වගුරක අතරමං වූවා වැනි ය.

දුරාචාරයෙන් දෑස වසාගත්, මාපිය සෙනෙහස නො හඳුනන, නිසි අධ්‍යාපනයක් යනු කුමක්දැ’යි නො දත් විෂම ආශාවන්ගෙන් පෙළෙන පාපීන්ගෙන් සැඳුම්ලත් ඒ වගුර මිනී මැරුම්, හොරකම්, මැරකම්, මං පැහැරීම, බාල අපචාර, ස්ත්‍රී දූෂණ, පුරා වස්තු වැනසීම වැනි අපරාධවලින් ගහන ය. අපරාධ වැඩිවීමට මූලික හේතු ලෙස මිනිස් සන්තානයේ ඇති විෂම සිතිවිලි දැක්විය හැකි වුවත් රැකියා විරහිතය, අපේක්ෂා භංගත්වය වැනි කරුණ ද එයට බලපා තිබේ.

එහෙයින් අද පවතින සමාජයට අවශ්‍ය වී ඇති, මෙකී නො කී සියලු අපරාධවලින් තුරන් වූ කර යහපත් සමාජයක් ගොඩනැගීම නම්, අනුහස් ප්‍රාතිහාර්යයි. ඒ සඳහා මිනිස් සන්තානයේ ඇති අන්තගාමී අදහස් ගිලිහී යන්නේ කවදා ද? එවැන්න්ක් සිදුවන තුරු බලා සිටීමෙන් පලක් නැත. එසේ නම් කළ යුතු දේ කිරීමට කාලය එළඹ ඇත. සියල්ලන්ගේම පරමාර්ථය වන සොඳුරු යහපත් සමාජයක් ඇති කරලීමට මිනිස් මනස තුළ ස්වයං ශික්ෂණය ඇති කිරීම අවැසි වේ.

ස්වයං ශික්ෂණය යනුවෙන් අදහස් කරන්නේ ලැජ්ජාව සහ බිය යන කරුණු මුල් කරගෙන කයෙන් හා වචනයෙන් නිවැරදි හැසිරීමයි. මෙහිදී එක් ප්‍රමාණයකට සිදු කරන්නේ කායික හා වාචික සදාචාරය අප තුළ ඇති කිරීමයි. ස්වයං හික්මීම වූ කලී පෞද්ගලිකව එක් පුද්ගලයෙකුට පමණක් නො ව මිනිස් සමූහය හෙවත් සමාජයක් සම්බන්ධයෙන් අර්ථවත් වන්නක් බව එය විමසා බැලූ විට පැහැදිලි වේ. ස්වයං ශික්ෂණය ඇති වීම පුද්ගලයෙකු දේවත්වයට උසස් කරවන ගුණ දහමක් බව බුදු දහමේ ද පෙන්වා දෙයි. එමෙන්ම, බුදු දහමෙහි එන පන්සිල්, අටසිල් සහ දසිල්වලින් ද ස්වයං ශික්ෂණය ඇති කිරීමට සමත් වෙයි. බුදු දහම පමණක් නො ව අන් සියලු ආගම්වල දර්ශනය තුළින් ද ස්වයං හික්මීම ඇති කරලයි. මෙතුළින් පුද්ගලික ආධ්‍යාත්මික දියුණුව මෙන්ම සමාජ සදාචාරය ද වැඩි දියුණු වේ. ස්වයං ශික්ෂණය ඇති කිරීමට නම් සොරකම්, මැරකම්, සුරා පානය ආදී වූ වරදින් තමා වැළකීමත්, ඉන් අන් අය ද මුදවා, ඉන් වැළකීමේ අගය පෙන්වා දීමත් අපට කළ හැකි වුවත් එය එතරම් පහසු කාර්යයක් නොවේ.

බල ලෝභයෙන් වියරු වැටී, මුදල් පසුපස හඹා යන අදූරදර්ශිකයන් දැනුවත් කිරීමටත්, අපරාධ මැඩලීමටත් රටේ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුයි. එසේම යහපත් ගුණ ධර්ම රෝපණය වන පරිදි සාර සිතුවිලි පුබුදුවන පරිදි අධ්‍යාපන ක්‍රමය ද සකස් විය යුතුයි. දේශපාලඥයන් තැනූ කොටු පවුරු මධ්‍යයේ සිරගත නො වී, සමාජ හිතවාදී ලෙස කටයුතු කිරීමට ද පොලිස් නිලධරයන් කටයුතු කළ යුතුයි.

ලෝක වාසීහු සියලු දෙනාම එකා මෙන් එක් ව, දූෂණය හා භීෂණය තුරන් කිරීමට පෙළ ගැසෙන දිනක, ඒ සුන්දර ලෝකයේ වෙසෙන ලොකු කුඩා බාල මහලු සැවොම සුරැකෙනු ඇත. එබැවින් දූෂණයෙන් හා භීෂණයෙන් තොර යහපත් හෙට දිනක් උදා කර දීමට ස්වයං ශික්ෂණය ඇති කර ගනිමු.

ඡායාරූප අනුග්‍රහය : http://www.thedailystar.net/upload/gallery/image/arts/acc_3.jpg

 
Tagged :