යසෝධරා “ලු” වත

Share

එදත් ගැහැනු හරි තතුත් නොදැන ම

පිනැති බිම්බා පුවත නිර්මල

උනුන් කන්වල ඔහේ තැන්වල 

සිතූ සේ කෙඳිරුවේ මේ ලෙස

 

රූබර බව හැබැයි, ඒත් 

නැහැනේ කිසි කලඑළියක්

ගෝතමි හිත් ගින්දරින් ලු

දහතුන් වස් ගියත් – කෝ දරුවෙක්!

 

අන්න, හිමිත් හැර ගොසින් ලු

දරුවා බිහි වූ දාම?

සැකයක් නම් නැහැ කොහිත්

ඇගේ අත ඇති මහ ම වරදක්

 

මේ කුමන ගැරහුමක්ද?

මවක් නම් මෙසේ හැසිරේද?

නැවතත් සරණ යන හැඩයි

අත ගන්ට කුමරුන් තරගෙටයි

 

කසී සළු හැරදමා රළු වතක් අඳිනව ලු

රජ බොජුන් නොවේ දැන්සුළු අහර පමණම ලු

 

එතරම් ම සෙනෙහසක්

තිබුණේ වී නම් පෙරත් 

හිමි මන්ද නොරැඳුණේ

මෙතැන ඇත පැන ගොඩක්

 

දනී ද එදා වූ විපත

විළි බියක් ඇත්තේ ම නැතුවද!

ගෙන්වා ලූ සැටි අප තුම් මුනිඳුන්

යහන් ගැබ ඈ දෙපා මුලට ම 

 

අන් කතක් නම් නුහුලනා

අපමණ දුකක් ඕ දරමිනා

සියල් මේ බස් නොහොබිනා

ඉවසුවේ මේ ලෙස කුළුණිනා

 

බිම්බා දේවී:

මෙවත් ගොතනා කතුන් මෙන් මම

පින් මඳ ව කතක ව නුපන්නෙමි

හිමි සඳට බැඳි පෙමින් කැපවන

වරම් ලද කුමුදුනිය මම වෙමි

 

සකල ජන මෙහි කුමක් කීවද

ඊට පිළිතුරු නොම බඳින්නෙමි

එ දන සසරින් එගොඩ කරනට

පතිවතේ පාරමී පුරනෙමි

 

Written By : Nipuni Kadupitiya

Image Courtesy : https://cutt.ly/Pfn8dUY

 
Tagged : / / /