කතා කරන ඇස්

Blog Team, Ramalka 0 Comments

හෙමින් මෝදුව උදා හිරු සේ

අහම්බෙන් දෑස් මත සුපිපුන

කතා කරන ඒ දෑස් අද්දර

කෙලෙස මුනිවත රකින්නද මම?

කියාගන්නට නොහැකි කවියක

ඔබ විසිරවූ පදවැල්, සරසවි බිමේ

එකතු කර අමුණන්න නොහැකිය

අසරණයි  පන්හිඳ මගේ…..

 

නොකිලිටි, නිකෙලෙස්, වීතරාගී

හැඟුම් ගොන්නක් පොඳි බැඳන්

ගැටුනු නුඹේ නෙතු අමතනා හඬ

නොදැනුනා නොව, නොහැඟුනා නොව

එනමුත් සබඳ,

පුපුරා හැලෙන ගිනිකඳු අතරින්

සිසිල් ලෝදිය නොලැබෙනා සේ

නොහැක මා හට ගොතන්නට

අලුත් කවක් ඔබට

නේක වර්ණ ලා රටා මවමින්…..

 

දුරින් හිඳ ඔබ බැලුවත් ම දෙස

ළඟින් හිඳ ඉඟි මැරුවත් නිතර

නුඹව හිමි නෑ දනිමි හිතවත

නුඹ ඇය සතු තරුවයි

මම අන්සතු කුසුමයි

ඉතින් සබඳ,

ඔබේ කතා කරන ඇස් වලට

ගොලුවත රකින්නට

දැන්වත් දෙන්න අවසර !