මෑණියනි…

Anjali 0 Comments

මගේ දෙපතුල් රිදුම් දුණි

ඇවිද දුර ගිය විටදි ඔබ හා

මඟදි නතරව හැඬුයේ මා

තවත් යා නොහැකියි කියා

 

කඳුළු තෙරපෙන නෙතින් බැලු ඔබ

මා වඩා සිඹ සැනසුවා

මගෙ බර නැත බරක් වුයේ

සිහින් වූවත් ගත ඔබේ

 

මදක් හිඳ ගිම් නිවූ නිවසේ

වහලයත් අහසත් එකක් වේ

අහස හඬනා විටදි මා දැක

කඳුළු දිය මා තෙත් කළේ

 

විගස මා තුරුලේ හොවා

මගේ ගත උණුසුම් කළා

සියුම් වෙවුලුම් ගතට දැනුනත්

මගේ නිදි සුව සැලසුවා

 

උදෑසන සුදු ඇඳුම් ලා ගත්

ළමෝ දිව යන විටදි අකුරට

මා ද පසුපස දිව ගියේ මුත්

වැට මායිමේ නැවතුනා

 

මගේ නෙතු අග කඳුළු දුටු ඔබ

මගේ හිස සිඹ සැනසුවා

මට නොපෙනෙන දුරක ගොස් ඔබ

ඉකි ගසා කඳුලැලි වැගිරුවා

 

දැනෙන විට කුසගිනි තදින් මට

මට බඩගිනියි පැවසුවා

පාන් කාලක් අතට දී ඔබ

මහා කුසගිනි ඉහිලුවා

 

සියලු දුක් මා නමින් ඉවසා

අවසානෙ ඔබ නැගී සිටියා

නෙතු අගට හුරු කඳුළු පිසදා

හදවතට දොරගුළු දැමූවා

 

ඔබ නොදැරු රන් කිරුළු

මට උරුම කර දෙන්න

දෙවන මව් තුරුල මත

මා තබා ගියා ඔබ

 

මා වටා සුරවිමන්

කොතෙක් අද වූ නමුත්

ඔබේ උණුසුම අදත් ඇවසිය

එදා මා හට ලබා දුන් ලෙස

 

මතු භවේදිත් මෑණියන් වී

මා ළඟින් ඔබ හිඳී නම්

ඇවැසි නැත මට සුරවිමන් මැද

උපත ලබනට කවර කලකත්

 

Image Courtesy : http://dr-mahesh-parimal.blogspot.com/2017/02/blog-post_3.html