අහන්න කෙනෙක් නෑ, කියන්න කෙනෙක් නෑ. ඒ සුසුම්, විලාප, අඳෝනා වෙන්නැති ඔය නිතර නිතර ම ඇහෙන්නෙ.
ඉස්සර එකොමත් කාලෙක
නගරෙන් දුර ගම්මානෙක
වැව ළඟ ලොකු බිම් තීරෙක
නුගයක් තිබුණා
අහස් කුසට විහිදීගෙන
පළාතක් ම කළු කරගෙන
මහා තේජසක් අරගෙන
සරුවට පෙනුණා
පසළොස්වක පෝය රෑට
කෙම්මුර දවසක හවසට
මේ මහ නුග ගහේ අවට
අනුහස් දැනුණා
හිතේ පිරුණු දුක කියාන
පිහිටක් සුවයක් හොයාන
පඬුරු කාසි අත තියාන
ගම්මුත් ඇදුණා
දෙවියො වඩිනවා නිතර ම
දැකල තියෙනවා ඇහැට ම
සාදු නාද අත් මුදුනෙ ම
නුගයට පිදුණා
මහ නුගයේ විස්තරේ
දැමුවා වගෙ පත්තරේ
කොළඹින් මහ සනුහරේ
විගසින් එබුණා
අතු බිඳිනා හම්බාවෙක්
හඬ තලනා බකමූණෙක්
ඉඳහිට තව උලලේනෙක්
බයකුත් හිතුණා
අධිවේගය හදනවාලු
ගම මැද්දෙන් දිවෙනවාලු
ගහ හරහට හිටිනවාලු
කනුකුනු ඇහුණා
අරගෙන උපකරණ
නැතුව ම හව්හරණ
ගමට ම දුන් සරණ
නුග ගහ කැපුණා
Image link: https://bit.ly/3GD6mis