රාමු කලාවේ රස රහසක්

Share

ලෝකය ම වේගවත් ලෙස පරිවර්තනය වෙමින් නො නැවතී ගලා යන යුගයක කාලය ම එක මොහොතකට ගල් කරන්න, කැටි කරන්න තිබෙන පුංචි මැජික් එකක් – ඡායාරූපකරණය. තවත් ලෝක ඡායාරූපකරණ දිනයක් සැමරීමට ලොව ම සූදානම් වන හෝරාවේ මෙම ආදරණිය කලාවේ ආකර්ශණීය ඉතිහාසය හරහා ගමන් කිරීමට, එහි නූතන ජනප්‍රියත්වය ගවේශණය කිරීමට සහ මානව නිර්මාණශීලිත්වය හා කෘතිම බුද්ධිය අතර දෝලනය වන ආකාරය සොයා බැලීමට පුංචි කාලයක් වෙන් කරමු.

එකමත් එක කාලයක, ස්මාර්ට් ෆෝන්, ඩිජිටල් කැමරා ලෝකයට බිහිවෙන්න බොහෝ කාලයකට පෙර අති විශිෂ්ට ගණයේ අදහසක් ලෝකය තුල මුල් බැස ගත්තේ ය. එනම් ආලෝකය භාවිතයෙන් තහඩුවක් මත රූපයක් නිර්මාණය කිරීමයි. බැලූ බැල්මට සරල වුවත් මෙය සංකීර්ණ දාම පෙළක් හරහා  ඡායාරූපකරණයේ උපතට තුඩු දුන් හේතුවයි. 1826දී Joseph Nicéphore Niépce විසින් ගන්නා ලද කවුළුවකින් පෙනෙන දර්ශනය ඡායාරූපකරණ කලාවේ නිමක් නැති අවස්ථා රාශියකට දොරගුළු විවර කරන ලද අඩිතාලමක් විය.

කාලයාගේ ඇවෑමෙන් ඡායාරූපකරණය විවිධාකාර පරිණාමයන්ට ගොදුරු වෙමින් අතේ ගෙන යා හැකි සියුම් උපාංග දක්වා ම වර්ධනය වී ඇත. එයටම ආවේණික වූ භාෂාවකින්, පුද්ගලයන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීමට, කතාන්දර කීමට හා ආදරණීය මතකයන් සංරක්ෂණය කිරීමට ඉඩ සලසයි. ඡායාරූප ශිල්පය නම් මායාව ලොව පුරා ලැව් ගින්නක් සේ පැතිර ගියේ භාවික ගුණ හා පරිකල්පන ශක්තීන් ග්‍රහණය කරගනිමිනි.

වර්තමානයේ වේගයෙන් වෙනස් වීම් වලට භාජනය වන ලෝකය තුල ඡායාරූපකරණය, කලාවෙන් ඔබ්බට ගිය ජීවන මංපෙතක් බවට පත්ව ඇත. මේ පොළෝ තලයේ සෑම අස්සක් මුල්ලක් නෑරම දැන් ස්මාර්ට් ෆෝන්, DSLR හෝ ක්ෂණික කැමරා (Instant cameras) වලින් සන්නද්ධ ඡායාරූප ශිල්පීන්ගෙන් පිරී ඇත. අහඹු ඡායාරූපවල ගැබ් වූ කතාවන්ගෙන් පටන් මිනිසුන් සිය අත්දැකීම් ලෝකයා සමඟ බෙදා ගැනීමට ඡායාරූපකරණය නැමැති අවිය අතට ගෙන ඇත. එය නාගරික පසුතලයක හිරු බැස යන අවස්ථාවක් හෝ වේවා, මිතුරන් හා සතුටු සාමිච්චියේ යෙදෙන අවස්ථාවක් හෝ වේවා, රස නහර පිනවන ආහාර බඳුනක් හෝ වේවා, විවිධ වූ ක්ෂේත්‍රවල උත්සව හෝ රැස්වීම් අවස්ථාවක් හෝ වේවා, එකී මෙකී නොකී සියල්ල ඡායාරූපකරණ ප්‍රකාශනය නම් විශ්වීය භාෂාවේ තමාට ආවේණික ස්ථානයක් වෙන් කර ගෙන ඇත.

නමුත් ඡායාරූපකරණයේ සුන්දරම අංගය – කාලයට මුසු වී අහිමි වන අවස්ථා කැටි කිරීමට  ඇති හැකියාව අමතක නොකළ යුතු ය. ඔබ අවසන් වරට පැරණි ඡායාරූප ඇල්බමයක් පෙරලුයේ කවදා ද? එහි ඇති සෑම රූපයක්ම කතාන්දරයක් කියමින් පැරණි මතකයන් ආවර්ජනය කරනවා නේද? ඒවායේ කැටි වී ඇති සිනහව, අහඹු චලනයන්, පවුල් එක් වීම්, මේ සියලු මතකයන් එක පෙළට පැමිණෙන්නේ ඒවා ගත් මුල් දිනයේ මෙන් විචිත්‍රවත් ලෙසිනි. අපගේ කාර්යබහුල ජිවන රටාව මධ්‍යයේ ඡායාරූපකරණය, කාලය එක් මොහොතකට නවත්වන මතකයන් අතරට අපව එක් කරන නවාතැනක් වැනි ය.

දෛවයේ විස්මිත පෙරළියක් ලෙස ඡායාරූපකරණය අනපේක්ෂිත සහකරුවෙක් සොයා ගෙන ඇත. ඒ කෘතිම බුද්ධියයි. තාක්ෂණය වැට කඩුලු පනිමින් ඉදිරියට යන විට ඡායාරූපකරණය යථාර්ථයෙන් එපිටට ගොස් කෘතිම බුද්ධි මාදිලි සමඟ සබැඳිව ඡායාරූප ප්‍රතිනිර්මාණය කිරීමට සමත් වී ඇත. සිතන්න ඔබේ ආච්චිලා සීයලාගේ පැරණි, වියැකි ගිය ඡායාරූපයක් එහි මුල් ස්වරූපයට ගැනීමට තරම් නූතන ඡායාරූපකරණය හපන්කම් පෙන්වා ඇත. මානව නිර්මාණශීලීත්වය සහ කෘතිම බුද්ධි නවෝත්පාදනය සමඟ සුසංගත වෙමින් ඡායාරූපකරණය සත්‍යය හා පරිකල්පනය අතර බැමි බිඳ දමමින් නව තලයකට ගොස් ඇත.

ඉතින් මේ කථාව නම් අපව ගෙන යන්නේ ලෝක ඡායාරූප දිනය නමැති මහා සැමරුම වෙතටයි. සෑම වසරකම අගෝස්තු 19 වන දින, ඡායාරූප ශිල්පයේ සුන්දරත්වය හා කලාත්මකභාවය අගය කිරීමට 2010 වසරේ පටන් සෑම අවුරුද්දකම ලෝකයේ සිව් දෙසින් ඡායාරූප ශිල්පීහු එක් වෙති. මෙම දිනය කැමරා කාච ඇසට හසු වූ ප්‍රිතිමත් පුවත්, ඡායාරූප ශිල්පීන්ගේ විස්මිත දක්ෂතා හා හැකියා ස්මරණය කරන දිනයකි. සෑම වසරකම එයටම ආවේණික වූ තේමාවන් සමගින් ගෝලීය ඡායාරූප සංසදය කරලියට පැමිණේ. මෙම වසරේ තේමාව ‘භූ දර්ශන’ (landscape), සොබාදහමේ සුන්දරත්වය අගය කිරීමට සහ එම විස්මිත නිමැවුමේ මතක සටහන් ලෝකයාට කියා පෑමට ඡායාරූපකරණයට බලය ඇති බව සිහිගන්වයි.

ලෝක ඡායාරූප දිනයේ වැදගත්කම කලාවෙන් ඔබ්බට යන්නකි. එය පින්තූර පමණක් නොව, හැඟීම්, කාලය සහ අතීතය ග්‍රහණය කරගැනීමට මිනිසාට ඇති ඇදහිය නොහැකි විස්මිත හැකියාව පිළිබඳ අපට මතක් කරයි. එමෙන් ම වෙහෙස මහන්සිය නොබලා සුන්දර අවස්ථාවන් හඹා යන ඡායාරූප ශිල්පීන්ගේ කැපවීම සහ දක්ෂතාවය ද අගය කළ යුතු ය. තාක්‍ෂණය භාවිතයෙන් සීමාවෙන් එපිටට ගොස් අපගේ මානව අත්දැකීම් වලට නව නිර්වචනයක් දෙමින්, සංස්කෘතීන්, භාෂා හා පරම්පරා යා කරන පාලමක් ලෙස කටයුතු කරයි.

තවත් ලෝක ඡායාරූප දිනයකට ළං වන හෝරාවේ ඡායාරූපකරණයේ අතීතයේ පටන් පැවත ආ ගමන පිළිබඳ මොහොතක් සිහි කරමු. නිරන්තරයෙන් වෙනස් වන ලෝකය තුළ එක් දෙයක් නොවෙනස් ව පවතී. එනම්, ජිවිතයේ සුන්දර ආදරණීය මතකයන් කැමරා කාචයට හසු කර ගැනීමට ඇති ආශාවයි. සත්‍ය වශයෙන්ම සෑම ඡායාරූපයක්ම ප්‍රකාශ කිරීමට ආශාවෙන් බලා සිටින කතාවක් පවතින අතර ලෝක ඡායාරූප දිනය එයට කදිම අවස්ථාවයි.

Image Courtesy: https://bit.ly/45AAZ3t

 
Tagged : /