ජාන වෙනස් කළ මිනිසුන් මානව ඉතිහාසයේ නව පිටුවක් පෙරලයි ද?

Share

පසුගිය නොවැම්බර් 25 වනදා මානව ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් චීන විද්‍යාඥයෙක් වන Dr. He Jiankui ප්‍රකාශ කර සිටියේ තමන් ප්‍රථම වරට ජාන සංස්කරණය කරන ලද (Gene Edited) දැරියන් දෙදෙනෙක් බිහිකිරීමට දායක වූ බවයි.  ඒ සමඟම ලොවම ඇවිලී ගිය අතර මේ පුවත ලෝකයේ උණුසුම්ම පුවතක් බවට පත් වෙමින් බොහෝ දෙනා අතර කථා බහට ලක් වූවා. මෙසේ ජාන වෙනස් කරමින් මිනිසුන් බිහි කිරීම ලෝකයේ බොහෝ රටවල නීතියෙන් තහනම් වන අතර එය සදාචාර විරෝධී යැයි ද බොහෝදෙනා තර්ක කරනවා. මේ ලිපියෙන් අදාල සිද්ධිය පිළිබඳ කෙටියෙන් ඔබ වෙත තොරතුරු ගෙන ඒම බලාපොරොත්තු වනවා. කෙසේ නමුත් මෙහි සදාචාර සම්පන්න බව හා විද්‍යාත්මක නිවරදිභාවය පිළිබඳ දීර්ඝව කථා කල යුතු මාතෘකාවක් වෙනවා.

 He Jiankui
Dr. He Jiankui

මොකද්ද මේ ජාන සංස්කරණය කියන්නේ?

ඔබ දන්නවා සියළුම ජිවීන්ගේ මූලික ඒකකය වන්නේ සෛලයයි. සමහර ජීවින් ඒක සෛලික වන අතර (උදා: බැක්ටීරියා) සමහර ජීවින් බහු සෛලික වනවා (උදා: ශාක, සතුන්). මේ සියළුම දෙනාගේ සෛල වල න්‍යශ්ටියේ DNA නම් රසායනික අණු විශේෂයක් අඩංගු වන අතර ඒවා ප්‍රවෙණි තොරතුරු ගබඩා කරන මූලික ඒකකය වෙනවා. මෙම DNA අණු ඉතාම දීර්ඝ ව්‍යුහයන් වන අතර මිනිසාගේ සෛලයක මෙවැනි අණු යුගල් 23ක් පවතිනවා.

DNA අණුවක් ගත් විට එහි එක් ඒකකයක් ප්‍රධන කොටස් තුනකින් සෑදී තිබෙනවා. එයින් තොරතුරු ගබඩා කර ගන්නේ නයිට්‍රජනීය භෂ්ම වල උපකාරයෙන්. ඒවා නම් ඇඩිනීන් (A). තයිමින් (T), සයිටොසින් (C) හා ගුඇනින් (G). මේ භෂ්ම මාරුවෙන් මාරුවට එක පෙළට පිහිටීමෙන් විවිධාකරයෙන් ජෛව තොරතුරු ගබඩා කර ගත් හෑකි වෙනවා. (උදා: GTCATATCGGATA ). මෙය DNA කේතයක් ලෙස හඳුන්වනවා. මිනිසාගේ එක් සෛලයක මෙවැනි ඒකක බිළියන තුනක් පමණ පවතින අතර වර්ථමානය වන විට මිනිසාගේ සිරුරේ සෛලයක පවතින සියළුම භෂ්ම කියවා පරිගණයකට ඉහත පෙන්වූ පරිදි අකුරු පෙළක් ලෙස ලබා ගත හැකි වෙනවා. ඒ සඳහා ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 1000ක් පමණ වැය වන අතර Genome sequencing  ලෙස එය හඳුන්වනවා. මෙම අණු වල සමහර ස්ථාන වල ජාන නම් ඒකක පිහිටා තිබෙනවා ඒව මඟින් ප්‍රෝටීන නිෂ්පාදනයට අවශ්‍ය උපදෙස් සපයනවා. මිනිස් සිරුරේ බොහොමයක් කටයුතු පාලනය වන්නේ මේ නිපදවන ප්‍රෝටීන මඟින්. ඔබ අසා ඇති බොහෝ ආවේණිගත රෝග සඳහා හේතු වන්නේ මෙසේ නිසි ආකාරයට නිපදවිය යුතු ප්‍රොටීන එකක හෝ කිහිපයක අඩුවක්. කෙසේ නමුත් අප අපගේ සිරුරේ සියළුම DNA කියවා අවසන් වූවත් ඒවාගේ නිසි කාර්‍ය භාරය කුමක් දැයි තවමත් සම්පූර්ණයෙන්ම සොයා ගෙන නෑ.

සාමාන්‍යයෙන් දැනට දන්නා පරිදි ජානයක තිබිය යුතු කේතයට වඩා වෙනස් කේතයක් හට ගැනීම විකෘතියක් ලෙස සළකනවා. එවැනි විකෘති ස්වභාවිකවත් භාහිර බලපෑම් නිසාත් හටගන්නා අතර විවිධාකාරයි විකෘති හටගන්නවා. කෙසේ නමුත් සරලවම විකෘතියකින් වන්නේ නියමිත කේතය වෙනස් වී වෙනස් කේතයක් ලැබීමයි. එවිට නිපදවන ප්‍රෝටීනයද වෙනස් වී අදාල ප්‍රෝටීනයේ කර්තව්‍ය කිරීමට නොහැකිව යම් රෝගයක් හට ගන්නවා. නමුත් කලක පටන් විද්‍යාඥයන් මේ ජාන වල භෂ්ම වෙනස් කරමින් විකෘති හටගෙන ඇත්නම් ඒවා නිවැරදි කිරීමට විවිධ පර්යේෂණ පැවැත්වූවා. නමුත් මෙවැනි පර්යේෂණ විකෘති නිවැරදි කිරීමට පමණක්ම නොව වෙනත් කටයුතු සඳහා ද යොදාගත හැකි වෙනවා. උදාහරණයක ලෙස නව ප්‍රෝටීන පවා මේ ආකාරයෙන් බිහි කළ හැකියි. එසේ ජාන සංස්කරණය කරන ලද ක්‍රමවේදයන් බොහොමයක් තිබුණත් 2012දී CRISPR-Cas9 පද්ධතිය මඟින් ඉතා සාර්ථකව හා වැඩි නිරවද්‍යතාවයක් සහිතව සෛල තුලදීම ජාන සංස්කරණය කර අපට අවශ්‍ය කේතයක් ජානයකට හෝ DNA අණුවේ මොනයම්ම ප්‍රදේශයකට ඇතුලත් කිරීමටත් ඉන් ඉවත් කිරීමටත් හැකි බව සොයා ගත්තා. (මෙහිදී CRISPR ඉතිහාසය හා එහි ක්‍රියාකාරීත්වය පිලිබඳ කථා කිරීමට බලාපොරොත්තු නොවන අතර එය දිර්ඝව කථා කල යුතු මාතෘකාවක් වෙනවා.)

පසුගියදා ඇත්තටම මොකද වුනේ?

පසුගියදා Hong Kong හිදී පැවති ජාන සංස්කරණය පිළිබඳ දෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේ දී සහ youtube videos කිහිපයකින් තමන් මුළින්ම ජාන සංස්කරණය කරන ලද ලුලූ සහ නානා යන අන්වර්ථ නාම වලින් හඳුන්වන දැරියන් දෙදෙනෙක් සති කිහිපයකට පෙර ලොවට බිහිකිරීමට කටයුතු කළ බව He Jiankui පැවසුවා. කෙසේ නමුත් තවමත් මේ පිළිබඳ පර්යේශණ වාර්ථා කිසිවක් ඔහු ඉදිර්පත් කර නොමැති අතර ඔහුගේ පර්යේශණ පත්‍රිකාවක් peer reviewed journal එකක විමර්ශණය වෙමින් (under review) පවතින බව කියවෙනවා. ඔහු මෙහිදී මානව කළල කිහිපයක CCR5 නම් ජානයක් සංස්කරණය කරන ලද බව පැවසෙනවා. මෙම ජානය මඟින් නිපදවන ප්‍රොටීනය ඉවත් කිරීම මඟින් HIV වයිරසය සඳහා ප්‍රතිරෝධයක් ඇති කිරීමට හැකි බව වසර කිහිපයකට පෙර අනාවරණය වූයේ මේ ජාන වෙනස සහිත මිනිසුන් ස්වභාවිකව හමු වීමත් ඔවුන් HIV වයිරසයේ strains දෙකකට ප්‍රතිරෝධයක් දැක්වීමත් සමඟින්. ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපයේ මිනිසුන්ගෙන් 20% පමණ මේ ජාන වෙනස් වීම සහිත බව කියවෙනවා. මෙහිදී He Jiankui මෙම ජාන වෙනස රසායනගාරයේ ප්‍රතිනිර්‍රමාණය කරමින් කෘත්‍රිමව ළදරුවන් දෙදෙනාට HIV සඳහා ප්‍රතිරෝධයක් ලබා දීමට කටයුතු කළ බව කියවෙනවා.

මේ පිලිබඳ ලොව පුරා කථිකාවක් ඇති වී තිබෙන්නේ ඇයි?

මෙය ඉතා මතභේදාත්මක කරුණක්. මා ඉහත කී පරිදි අප තවමත් මානව ගැනෝමයේ (human genome – එනම් සෛලයක පවතින DNA වල එකතුව ) සම්පූර්ණ කර්තව්‍ය හරි හැටි නොදන්නා බැවින් එසේ ජාන වෙනස් කරන ලද මිනිසුන් බිහි කිරීම ආරක්ෂා කාරී නොවේ. එමෙන්ම මේ තාක්ෂණය මඟින් කළලයේ පවතින ජාන සංස්කරණය කර ඇති නිසා එය ඉන්පසු සියළුම සෛල වලටත් මතු පරම්පරාවලටත් සම්ප්‍රේශණය වේ. එමෙන්ම මෙහිදී He විසින් සාමාන්‍ය ක්‍රියාකාරීත්වයේ පවතින ජානයක් ක්‍රියාවිරහිත කර ඇති අතර ඉන් සඳහා HIV ප්‍රතිරෝධයක් හට ගත්තත් මේ හේතුව නිසා වෙනත් රෝග සඳහා වැඩි ප්‍රවණතාවක් පවතින බව පැවසෙනවා.

එමෙන්ම CRISPR  තාක්ෂණය තවමය් දියුණු වෙමින් පවතින අතර එහි සීමා පවතින අතර නිරවද්‍යතාවය 100% නොවේ. එම නිසා අදාල නොමැති ස්ථාන ද සංස්කරණය වීම සිදු විය හැකි අතර එමඟින් නොසිතූ ගැටළු රාශියකට මුහුණ දීමට සිදු වේ. මෙය off target effect ලෙස හැඳින්වේ. ඒ අතරම එය සියළුම සෛල සංස්කරණය නොකිරීමද ජානයක සියළුම ඇලීල සංස්කරණය නොකිරීම ද තවත් දුර්වලතාවයක් ලෙස හැඳින්විය හැකියි. මෙම තත්ත්වය mosaicism ලෙස හඳුන්වන අතර මෙහිදී සිරුරේ සමහර සෛල වල ජානය ක්‍රියාත්මක වීමත් සමහර සෛල වල ක්‍රියාත්මක නොවීමත් සිදු වේ. He විසින් කළලය සංස්කරණය කරන ලද්දේ සෛල 2ක අවස්ථාවේ නිසා එක් දැරියගේ සිරුරේ මේ mosaicism තත්ත්වය පවතින බව හෙළි වී තිබෙනවා.

කෙසේ නමුත් දැනටමත් විද්‍යාඥයන් විසින් CRISPR තාක්ෂණය පිළිකා සහ වෙනත් ආවෙණිගත වන රෝග වලට ප්‍රතිකාර සඳහා යොදා ගැනෙන අතර මේවා අදාල පුද්ගලයාගෙන් මතු පරම්පරාවට සම්ප්‍රේශණය නොවීමක් සිදු වේ. මක් නිසාද යත් ප්‍රතිකාර සිදු කරන්නේ වැඩුණු පුද්ගල‍යින්ට වීමයි.

මෙහි සදාචාරසම්පන්න බව ගත් විට කෙනෙකුට මෙසේ වැඩි දියුණු කරන ලද මිනිසුන් සමාජයට බිහි කිරීමෙන් ඇතිවිය හැකි ගැටළු ගැන තර්ක කර හැකියි. උදාහරණයක් ලෙස මේ සිද්ධිය මෙසේ ඉදිරියට ගොස් අනාගතයේ දී සුපිරි මිනිසුන් බිහිකිරීම දක්වාම යා හැකියි. මිනිසෙකුගේ ස්වභාවිකත්වයට හානි කිරීම සියළු මානව සංහතියේ විනාශයට හේතු වේ ද නොවේ ද යන්න ගැඹුරින් සළකා බැලිය යුතු කරුණු වන්නේ ය. කෙසේ වුවද ඒ සියළු දේ පිළිබඳ අදහසක් දීමට මගේ දැනුම ප්‍රමාණවත් නොවන බව මගේ හැඟීම නිසා ඒ පිළිබඳ තර්ක කිරීම ඔබට භාර කරමි.

References

https://www.theatlantic.com/
https://www.nytimes.com/
https://www.vox.com/
https://www.broadinstitute.org/
https://www.statnews.com
https://en.wikipedia.org/wiki/Genome_editing

Featured Image
https://lifenews-wpengine.netdna-ssl.com/