කෙම්මුරයි අද සෙනසුරාදා

Share

ඔව්, කවියෙන් තමයි ලස්සන ම කෙටිකතා ලියන්න පුළුවන්. කියවලා බලන්නකෝ !

 

රෑ වැඩ මුරය අහවර ලහි ලහියේම

වෑබොඩ ගෙදර එන ලෙස තකහණියේ ම

බෑගය අතක ගෙන නිදිමත ගතියේ ම

කෑ මොර දෙමින බසයකි හිටි හැටියේ ම

 

හමා එන සුළඟ හරි වෙනසකි ය පෑවේ

නමා අතු ගොන්න නුගෙ කෙඳිරියකි ආවේ

යොමා නෙතු බලන කල පපුව මොර ගෑවේ

පමා වන නමුදු මෙහි නොනගිමු’යි කීවේ

 

රියැදුරු තැන පමණකි මුළු බස් රථයෙම පෙනුණේ

බියකරු මුහුණකි සතු දෙනෙතෙහි රුදු බව රැඳුණේ

අනතුරු උපදන ඉඟියකි එකෙණෙහි සිහි නැඟුණේ

යනතුරු නිසලව සිටියෙමි නැහැ මම ගොඩ වැදුණේ

 

අටේ කණිසම පහු වෙලා නවයටත් ළං වී ඇති බව

වටේ බැලුව ම නිසසල යි කවුරුවත් නෑ දකිනට තව

ගැටේ සිතුවිලි නොකඩවා බය අමුත්තක් හිතෙ මව මව

කටේ දිය වියැකී ගිහින් තෙත් උනා එක සැණෙකින් මුව

 

වරු තුනක් පිරිතක් කියා මහ රෑම යැවු දඹ හෙප්පුවේ

බොරු හුඟක් නිරවුල් වෙලා නඩු කියපු උන් හොර ඔප්පුවේ

මෙරු ගුලක් වගෙ දවාලක වැලි ලොරියකින් විත් හැප්පුවේ

ගුරුකමක්වත් කරලදැයි හිත හඬයි දැක කැරකොප්පුවේ

 

අතු ඉති පුරා පැතිරුණු මී ගහ ගාව

රතු රෙදි පොටින් ගෙල ලූ මරණෙට දාව

තතු දුටු නියා ඉඳහිට සුසුමක යාව

සිතුවිලි දවයි නෙක නෙක අයුරින් මාව

 

අත ළඟටම ආවත් බසයක් පෙරදී

හිත මගෙ ගත් තීරණෙ එතනදි වැරදී

හත පහු වී දැන් පැය තුනකුත් සමු දී

ඇත මෙහි බලයක් නොපෙනෙන සැක උපදී

 

දුර දුවනා මීමෙකු විලසයි තෙල කා

ජරමරෙ තව ඉවසනු බැරිමැ’යි වළකා

ගොර හඬ හිමිදිරියෙම කිමෙදැ’යි සලකා

කර වටෙ අත දා ගෙල මිරිකයි තිලකා

 

මොකද බං ඔය කලබලෙන් උඹ හීතලෙන් ගැහෙනව වගේ

හැතිද ඇයි මහ සෝනවත් දැකලාද පස්සෙන් මඟ දිගේ

බැරිද දැන් තේරුම් අරන් ඔය බීම අඩු කළොතින් අගේ

ඇතිද මං කට කැඩෙනකල් කියනවනෙ බොල සුමනයො මගේ

 

පිටත් වෙනකොට උදෙන් පෙරමඟ හමු උනා සැර නොයෙක් බාදා

කටත් ඇරගෙන කෑරලෙක් කළු ඉගිලුණා බර උගුර පාදා

වැටත් පැනගෙන ඌරු මස් ඇතිලියක් අර උඩ ගෙදර සාදා

මටත් අමතක උනා නොවැ අද කෙම්මුරයි බව සෙනසුරාදා

 

Image Courtesy : Author

 

 

 

 
Tagged : / /