නමේ වරදක් ?

Share

පුරුදු වූ රටාවකින් බැහැර වීම තරමක අපහසුවකි, එමෙන්  ම ආන්දෝලනයකි. සෑම කල්හි ම, විවෘත මනසකින් විචාරීමට හුරු වීම යෙහෙකි.

 

රා. සේ. පි. – රාජ්‍ය සේවය පිණිසයි

ත. බෞ. ස. – තරුණ බෞද්ධ සමිතිය

ලං. දු. දෙ. – ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

අ. පි. බ. – අනිත් පිටුව බලන්න

 

ඔය මොනවද, අපි එදිනෙදා දකින, අහන බොහොම ප්‍රසිද්ධ කෙටි යෙදුම් කීපයක්නෙ. මේවට තව උදාහරණත් ගොඩක් තියෙනවනෙ. පු. ලි. දෙ., අ. පො. ස. සා. පෙ., ස. තො. ස. ඕන තරම්.

හොඳට බලන්න. නමේ මුල අකුර, ඒ අදාළ ස්වරයත් එක්ක ම අරගෙනයි දාන්නෙ. හැම වචනෙක ම පළවෙනි අකුර විතරක් ගන්නව. ඒ අකුර එහෙම ම අරන් තිතක් තියනව අගට. ඔය විදියට කරනව හැම වචනෙට ම.

 

ර. ස. ප. – රාජ්‍ය සේවය පිණිසයි

ත. බ. ස. – තරුණ බෞද්ධ සමිතිය

ල. ද. ද. – ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

අ. ප. බ. – අනිත් පිටුව බලන්න

 

ස්වරයට ‘අ’ එකතු කරල දානව නෙමෙයිනෙ, පැහැදිලියිනෙ, ඔහොම නෙමෙයිනෙ, ඕක තනිකර ම වැරදියිනෙ. මුල්ම අකුර ම ගන්න ඕන කිසි වෙනසක් නොකර. සරලයිනේ.

 

ආර්. එස්. පී. – රාජ්‍ය සේවය පිණිසයි

ටී. බී. එස්. – තරුණ බෞද්ධ සමිතිය

එල්. ඩී. ඩී. – ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

ඒ. පී. බ. – අනිත් පිටුව බලන්න

 

සිංහල උච්චාරණයේ හඬට අදාළ ඉංග්‍රීසි අකුරත් නෙමෙයිනෙ. ඔහොම ක්‍රමයක් නෑනෙ, භාෂා දෙකක් එකට ගන්න බෑනෙ. ඔය වගේ ක්‍රමයක් නෑනෙ. ඕකත් තනිකර ම වැරදියිනෙ.

හරි දැන් අපි කතාවට යමුකො.

 

රත්නායක මුදියන්සේලාගේ ජගත් චාමින්ද මුනිදාස

අපි ලියන්නෙ කොහොමද ?

ආර්. එම්. ජේ. සී. මුනිදාස

 

සිංගක්කුලි ආරච්චිගේ කුසුමා පද්මිනි දිසාසේකර

අපි ලියන්නෙ කොහොමද ?

එස්. ඒ. කේ. පී. දිසාසේකර

 

බෝගොල්ලාගමගේ වාසුලා ධර්මසේන

අපි ලියන්නෙ කොහොමද ?

බී. ඩබ්ලිව්. ධර්මසේන

 

ඔය රටාව හරිද? හිතන්න, බලන්න, උඩදි අපි කතා කළ දේවල් එක්ක. අපි සිංහල අකුරුවලට ලියන ඉංග්‍රීසි අකුරු ක්‍රමය හරිද. මුලකුරු කියන්නෙ මුල් අකුර. හැම නමේ ම පළවෙනි අකුර. ඒ අදාළ ස්වරයත් එක්ක ම.

රත්නායක නම් ‘ර’, මුදියන්සේලාගේ නම් ‘මු’, ජගත් නම් ‘ජ’, චාමින්ද නම් ‘චා’, අවසානෙට මුනිදාස

සිංගක්කුලි නම් ‘සිං’, ආරච්චිගේ නම් ‘ආ’, කුසුමා නම් ‘කු’, පද්මිනි නම් ‘ප’, අවසානෙට දිසාසේකර

බෝගොල්ලාගමගේ නම් ‘බෝ’, වාසුලා නම්’ වා’, අවසානෙට ධර්මසේන

ඔය තියෙන්නෙ. බලන්නකො. නමේ මුල අකුර හරියට අරගෙන තියෙනව. ඔය තියෙන්නෙ ක්‍රමය.

නමුත්, අපි මොකද කරන්නෙ. උච්චාරණයෙ හඬ සලකල, ඉංග්‍රීසි හෝඩියෙ අකුරු විසි හයත් මතක් කරගෙන, සිංහල අකුරින්ම ඒ ඉංග්‍රීසි අකුරුවලට ගළපන්න හදනව. එම්, ජේ, අයි, ආර් ඕං ඔය වගේ. අපි මේ පුරුදු වෙලා තියෙන රටාව තමයි මේ !

ඔය ක්‍රමයෙ වාසියක් තියෙනව ඉතිං, එතකොට විභේදනය අඩුයිනෙ. ඕන ම නමක් අකුරු විසි හයකට ලඝු කරන්න පුළුවන්. සමහරවිට ඒක වෙන්නත් ඇති ඔය ඉංග්‍රීසි සිංහල දෙමුහුන් රටාව තෝරගන්න හේතුව. කොහොම උනත් ඒක වැරදියි ඉතිං.

අපි කවුරුත් නිතරම පාවිච්චි කරන මේ ක්‍රමය ඉතිං අවබෝධ කරගන්න ඕන. සම්ප්‍රදායට එහෙම ලීවත් හරි ක්‍රමය දැනගෙන ඉන්න ඕන. සිංහල භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව පටලවාගන්න බෑ.

මීට පස්සෙ මුලකුරු සමඟ නම සිංහලෙන් ලියන්න කීවම, මේ අදහස මතක් කර ගන්න. අපේ සිංහල භාෂාවෙ, ලස්සන සිංහල අකුරු අභිමානයෙන් ලියන්න. තමන්ගෙ නම සිංහලෙන් ලියනකොට සිංහලෙන්ම ලියන්න. එදා ඉඳන්ම ලියල ලියල පුරුදු වෙච්ච රටාව නිසා වෙනස් කරගන්න අමාරු වෙයි. කොහොම නමුතේ වරද දකින්න. අවබෝධයෙන්, කල්පනාවෙන් තමන්ගේ නම සිංහල ආරෙට හරියට ලියන්න.

තවත් උදාහරණ නම් කීපයකින් මෙච්චර වෙලා අපි කතා කරපු මේ ආන්දෝලනාත්මක හුටපටය තව ටිකක් නිරාකරණය කරගෙන මම නවතින්නම්.

 

යසවතී හාමිනේගේ ලීලාවතී

වයි. එච්. ලීලාවතී නෙමෙයි

ය. හා. ලීලාවතී

 

ඉසුරුපුර වික්‍රමගේ තුෂාර පීරිස්

අයි. ඩබ්ලිව්. ටී. පීරිස් නෙමෙයි

ඉ. වි. තු. පීරිස්

 

රේණුකා බාලසූරියගේ ජයන්ති සචිත්‍රා බාලසූරිය

ආර්. බී. ජේ. එස්. බාලසූරිය නෙමෙයි

රේ. බා. ජ. ස. බාලසූරිය

 

ඔය නම් සේරම මම ගළපපුවා. කාරණය අවබෝධය පහසුව පිණිස. ඒ සේරම මන:කල්පිතයි.

 

Image: Author

 
Tagged : /