සෙංකඩගලපුර අභිමානය ලොවට කියාපාන දළදා පෙරහැරේ වතගොත

Share

ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ යනුවෙන් හැඳින්වෙන්නේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවයි. ඒ නිර්මල බුද්ධ වචනයේ පහස ලද ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ එහි විරාජමාන ව වැඩ හිදිනා බැවිනි. අතීතයේ සිට වර්තමානය දක්වා ම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා සිදු කරනු ලබන පූජෝපහාර පෙරහර මංගල්‍යයන් ඉතා ගෞරව පූර්වක ව චිරාගත සම්ප්‍රදායන්ට අනුකූල ව පූර්ණ රාජ අනුග්‍රහය සහිත ව සිදු කරනු ලබයි. දළදා පෙරහැර හෙවත් සෙංකඩගලපුර ඇසළ පෙරහැර මංගල්‍යය  ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ විෂයෙහි පූජෝපහාරය පිණිස පැවැත්වෙන ප්‍රධානත ම  ආමිස පූජාව ලෙස හැදින්විය හැකි ය. දළදා පෙරහැර ලක්දිව ප්‍රධානත ම බෞද්ධ ආගමික උත්සවයක් ලෙසත් වැදගත් සංස්කෘතික උත්සවයක් ලෙසත් ලොව පුරා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. ඇසළ පෙරහැර මංගල්‍යය ශ්‍රී ලාංකික බෞද්ධ ජනයා බුදුරජාණන් වහන්සේට හා දන්ත ධාතුන් වහන්සේට දක්වන අප්‍රමාණ ගෞරවය හා ශ්‍රද්ධාවත්, දෙවි දේවතාවුන් වහන්සේලාට දක්වන භක්තියත් නිරූපණය කරයි.

තරමක් ඉන්දියාවේ ආෂාඨ උළෙලේ ආභාෂය සහිත වුවත් සෙංකඩගල දළදා පෙරහැර යනු දේශීය අනන්‍යතාවය පිළිබිඹු වන විවිධ සංස්කෘතික කලා අංග රාශියක් ඇතුළත් දේශයේ ප්‍රෞඪත්වය හා අභිමානය පිළිබිඹු කෙරෙන ජාතික උත්සවයකි. අතීත මහනුවර දළදා පෙරහැර  ආගම කලාව සහ දේශපාලන බලයේ සුසංයෝගයක් බව විද්වතුන්ගේ අදහසයි. දළදා පෙරහැර පැවැත්වීම  මඟින් නියං සමය අවසන් වී කලට වේලාවට වැසි ලැබෙන බවත් රාජ්‍යය සෞභාග්‍යමත් වන බවත් අතීතයේ සිට පැවත එන විශ්වාසයයි. තව ද දළදා පෙරහැර නැරඹීමෙන් ලෙඩරෝග දුරුවීම හා අපල උපද්‍රව දුරුවන බව බොහෝ දෙනාගේ පිළිගැනීම වන අතර විශේෂයෙන් කුඹල් පෙරහර නැරඹීමෙන් කුඩා දරුවන්ගේ සියලු දොස් දුරුවී රැකවරණය සැලසෙන බවට බොහෝ දෙනා විශ්වාස කරති.  එපමණක් නොව දිය කැපූ විගස එම ස්ථානයට ගොස් ස්නානය කිරීමෙන් ලෙඩ රෝග දුරුවී නීරෝගී සුවය ලැබෙන බව තවත් විශ්වාසයකි. එමෙන්ම දළදා පෙරහැර යනු ජාතීන් අතර සමඟිය හා සහජීවනය ශක්තිමත් කරන ජාතික උත්සවයක් ද වේ.

දළදා පෙරහැරෙහි චාරිත්‍රවාරිත්‍ර ඇසළ පොහෝ දිනයෙන් ආරම්භ වන අතර නිකිණි පොහොය දක්වා පැවැත්වේ. අතීතයේ සිට වර්තමානය දක්වා ම දළදා පෙරහැරෙහි නොවෙනස් ව පවතින චාරිත්‍රවාරිත්‍ර සමුදායකි. එම චාරිත්‍රවාරිත්‍ර ප්‍රධාන වශයෙන් පහත පරිදි වේ.

නැකැත් රාළ විසින් පිළියෙළ කරනු ලබන නැකැත්වලට අනුව දළදා පෙරහැරට අයත් සියලු කාර්යයන් සිදු කරනු ලබයි. පෙරහැර පවත්වන දිනය හා වේලාවන් ගම් දහයේ විදානේවරුන්ට දැනුම් දෙනු ලබන්නේ කාරියකරවන කෝරාළ විසිනි .

කප් සිටුවීම

පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රයයි. පෙරහැරේ සියලු කටයුතු සාර්ථක ව ඉටුකර ගැනීමට දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගනු වස් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සතර මහා දේවාල භූමියන්හි මෙම චාරිත්‍රය සිදු කරයි. පළමුව කොස් ගසක් හෝ රුක්අත්තන ගසක් තෝරාගෙන ගසට පුද පූජා කිරීමෙන් අනතුරු ව සුදු වතින් සැරසුණු විෂ්ණු දේවාලයේ ආවතේවකරුවෙකු විසින් සෞභාග්‍යය සංකේතවත් කිරීම පිණිස කිරි වෑහෙන පරිදි ගස කපා හෙළයි. පසුව එය කොටස් සතරකට බෙදා සතර මහා දේවාල භූමියන්හි සිටුවනු ලැබේ.

දේවාල අභ්‍යන්තර පෙරහැර

මෙම පෙරහැර සතර මහා දේවාල ආශ්‍රිත ව පුරා දින පහක් සන්ධ්‍යා භාගයේ දී පැවැත්වේ. දෙවියන් කෙරෙහි භක්තියෙන් යුතුව පවත්වනු ලබන කුඩා පෙරහර මංගල්‍යයන් වේ.

කුඹල් පෙරහැර

පුරා දින පහක් වීදි සංචාරය කරන කුඹල් පෙරහැර ආරම්භ වන්නේ දේවාල අභ්‍යන්තර පෙරහැර අවසන් වූ පසුව ය. අතීතයේ දී අලුත් වළං කදක් ගත් කුඹලෙක් පෙරහරේ ඉදිරියෙන් ම ගමන් කිරීම මෙම පෙරහැර කුඹල් පෙරහැර යනුවෙන් නම් කිරීමට හේතු වී ඇත. නමුත් වත්මන් කුඹල් පෙරහැරෙහි එවන් චාරිත්‍රයක් දක්නට නොලැබේ. සතර මහා දේවාල පෙරහැර මාලිගාවේ පෙරහැර සමඟ එක්ව ගමන් කරන අතර මෙම පෙරහැරට ගම් දහයේ විදානේවරුන්, බෙර වාදකයින්, නැට්ටුවන් මෙන් ම අලි ඇතුන් ද සහභාගී වේ. මීට අමතර ව කාරියකරවන රාළ විසින් මාලිගාව තුළ තිබෙන මුරායුධ, පළිහ, සේසත්, රිදී උඩැක්කි, පන්තේරු, රිදී අත්පන්දම්, වඩන තල අතු ආදිය පිරිසිදු කොට ඒවා පෙරහැරට එක් කරනු ලැබේ. පෙරහැරේ ගමන් ගන්නා නිලමේවරුන්ගේ වස්ත්‍ර සුදු පැහැති ය. පෙරහැරේ ආලෝකය ද තරමක්  අඩු ය. එහෙත් දේවාල පෙරහැරට වඩා අලංකාරත්වයෙන් යුක්ත වේ.

රන්දෝලි පෙරහැර

කුඹල් පෙරහැරෙන් පසු ව ආරම්භ වන්නේ රන්දෝලි පෙරහැරයි. මෙය ඉතා අලංකාර ව විචිත්‍රවත් අයුරින් දින පහක්  පැවැත්වේ. අතීතයේ දී මෙම පෙරහැරේ රජතුමාගේ අග බිසව හෙවත් රන්දෝලි බිසව ගමන් කර ඇති නිසා මෙම පෙරහැර රන්දෝලි පෙරහැර වී ඇතැයි පැවසේ. වර්තමාන පෙරහැරේ රන්දෝලි යනුවෙන් හඳුන්වන්නේ දේවාලවල දේවාභරණ වැඩවවීම සිදු කෙරෙන දෝලාවලට යි. රන්දෝලි පෙරහැර ආරම්භයට පෙර මාලිගාවේ ප්‍රධාන දොරටුව අබියස දී කරඬුව රැගෙන යන ඇතා සරසනු ලබයි. පෙරහැරේ ගමන් ගන්නා නිලමේවරු ඇතුළු සියලු දෙනා පෙරහැර ආරම්භයට පෙර දියවඩන නිලමේතුමාට වැඳ අවසර ගෙන පෙරහැර හා සම්බන්ධවීම සිරිතකි.  දළදා පෙරහැර පිටත්වීමට පෙර වෙඩි හඬ තුනක් නිකුත් කරයි. පළමු වෙඩි හඬට සිව් මහා දේවාලවල පෙරහැර මාලිගාව අසළට ගමන් කිරීම ආරම්භ කරයි. එවිට පනික්කයෝ ගොස් දියවඩන නිලමේතුමා කැඳවා ගෙන එනු ලබන අතර දියවඩන නිලමේ විසින් නියමිත නැකතට අනුව දළදා කරඬුව ඇතු පිට තැන්පත් කරන්නේ තූර්ය නාද මධ්‍යයේ දී ය.  එවිට ම දෙවන වෙඩි හඬ නිකුත් කරන්නේ සාධාතුක කරඬුව ඇතුපිට රැඳි රන්සිවිගේ තැන්පත් කළ බව දැනුම් දීමට ය. අවසාන වෙඩි මුරයත් සමඟ පෙරහැර ගමන් අරඹන අතර ප්‍රධාන දොරටුව ඉදිරියේ දී දියවඩන නිලමේතුමාට සමන්පිච්ච මල් මාලයක් පැළඳවීම ද අතීතයේ සිට පැවත එන සිරිතකි.

රන්දෝලි පෙරහැරේ පිළිවෙලින් කසකරුවන්, ගිනිබෝල කරුවන් සහ බෞද්ධ කොඩි ගෙන යන්නන්, කොඩි ගෙන යන්නන්, පෙරමුණේ රාළ ,හේවිසි වාදකයන්, ගජනායක නිලමේ, ඇතුන් කිහිප දෙනෙකු, නැට්ටුවන් සහ බෙරවාදකයන්, කාරිය කෝරාළ, නැට්ටුවන් හා බෙරවාදකයන්, කවිකාර මඩුවේ ශිල්පීන්, දළදා කරඬුව රැගත් ඇතා හා දෙපස දෑලේ ඇතුන් දෙදෙනෙකු, වෙස් නැටුම් කණ්ඩායමක් හා බෙරවාදකයන් හා අනතුරු ව දියවඩන නිළමේතුමා ගමන් ගනියි. දළදා මාලිගාවේ පෙරහැරට පසුව නාථ දේවාලයේ පෙරහැර, විෂ්ණු දේවාලයේ පෙරහැර, කතරගම දේවාලයේ පෙරහැර හා පත්තිනි දේවාලයේ පෙරහැර පිළිවෙලින් ගමන් ගනියි. අවසන් රන්දෝලි පෙරහැර වන මහා රන්දෝලිය දුටුවන් නෙත් පැහැර ගන්නා සුළු ය. ඉතා අලංකාර ඇඳුම් ආයිත්තම්වලින් සැරසුණු අලි ඇතුන් මෙන් ම  පෙරහරේ ගමන් ගන්නා ශිල්පීන් ද පෙරහැර තවත් කළඑළි කරයි. වසර දෙසීයකට පෙර පැවති නර්තනාංග පවා තවමත් දළදා පෙරහැරෙහි දැක ගැනීමට හැකිවීම වාසනාවකි. එමෙන් ම උඩරට සම්ප්‍රදාය පදනම් කරගත් නැටුම් පමණක් මෙහි දක්නට ලැබීම ද දළදා පෙරහැරෙහි සුවිශේෂත්වයක් වේ.

දිය කැපීමේ මංගල්‍යය

ඉතා උත්කර්ෂවත් ව පවත්වන ලද අවසන් රන්දෝලි පෙරහැර වෙන දා මෙන් මාලිගාවට ගෙවදින්නේ නැත. එදින පාන්දර පෙරහැර ආදාහන මළුව වෙත ගමන් කර දළදා කරඬුව ගෙඩිගේ විහාරයේ තැන්පත් කරනු ලබයි. අනතුරු ව ගැටඹේ තොටේ දී දිය කැපීමේ මංගල්‍යය සිදු කරයි. එහි දී සිදු වන්නේ දේවාල කපුවන් ඔරුවෙන් ගඟ මැදට ගමන් කර ගඟ මැද දී දිය දෙබෑ වන සේ රන් කඩුවකින් ගසා අලුත් දිය බඳුනක් පුරවා ගැනීමයි. මෙසේ ලබාගන්නා ජල බඳුන රන් දෝලාවෙහි තබා පෙරහැරෙන් පුල්ලෙයාර් කෝවිල දක්වා ගමන් කර එහි දිය බඳුන තැන්පත් කරයි. අනතුරු ව නැවතත් ගෙඩිගේ විහාරයට පැමිණෙන පෙරහැර, දළදා කරඬුව දළදා මාලිගයට වැඩම කරවයි. එහිදී මාලිගයට ඇතුළුවීමට පෙර මාලිගා චතුරශ්‍රය වටා තුන්වරක් පැදකුණු කිරීම සිරිතයි. මෙයින් පෙරහැර කටයුතු අවසන් වේ.

අනතුරු ව දින ගණනාවක් පුරා පැවැත් වූ සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යය සාර්ථක ව නිම කළ බව සඳහන් පෙරහැර සංදේශය දියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිතුමා වෙත බාර දෙනු ලබන්නේ පෙරහැර අවසන් වූ බවට රජුට දැනුම් දීම යන අතීතයේ සිට පැවත එන චාරිත්‍රයට අනුව යි.

වලියක් මංගල්‍යය

දළදා පෙරහැර මංගල්‍යයේ අවසාන චාරිත්‍රයයි. දහවල් පෙරහැර දළදා  මාලිගයට ගෙවැදීමෙන් පසු පුරා දින හතක් වලියක් මංගල්‍යය පවත්වනු ලබයි. මෙහි මූලික අරමුණ වන්නේ පෙරහැර පැවැත්වීමෙන් පසු දෙවියන්ට පිංපෙත් පැමිණවීම වන අතර දියවඩන නිලමේතුමා ඇතුළු සෙසු නිලමේවරුන්ටත්, ඇතුල් කට්ටලයේ සහ පිටකට්ටලයේ සියලු ම නිලධාරීන්ටත්, අලි ඇතුන්, නැට්ටුවන්, බෙරකරුවන් ඇතුළු පෙරහැරේ ගමන් කළ සියලු ම දෙනාටත් පෙරහැර නැරඹූ සියලු දෙනාටත් පෙරහැරට සහභාගීවීම නිසා කිසියම් ආකාරයක වස්දොස් අපල උපද්‍රව සිදු වූයේ නම් ඒ සියල්ල දුරු කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

විෂ්ණු මහා දේවාලයේ හතර වන මහලේ පැවැත්වෙන මෙම ශාන්ති කර්මය සිදු වන්නේ දළදා පෙරහැරේ චාරිත්‍රයක් ලෙස, වසරකට එක් වරක් පමණක් වීම විශේෂත්වයකි. සත්වන දින අවසන වරු පිරිත් සජ්ඣායනාව හා බලිබත් දානය දීම සිදුවේ. ඒ සමඟ ම හත් දා වලියක් මංගල්‍යය අවසන් වන අතර ම දළදා පෙරහැර හා බැඳුනු සියලු චාරිත්‍ර ද අවසන් වේ.

                                                          උතුම් දළදා සමිඳු පිහිටයි !!!

 

Written by: Sanduni Gunaratne

References:

Image Courtesies:

 
Tagged : /