පහන් තරුව

Share

අම්මා, කෝ අද ආවා කියපු පාර්සලේ?

ආ ඒක ඔයාගේ මේසේ උඩ ඇති පුතා. ඔයා බඩු ඔක්කොම ලෑස්ති කරගෙන ඉවරද? තව අඩු පාඩු මොනවා හරි තියෙනවාද? එහෙට ගියාට පස්සේ ආයි සමහර  බඩු ගන්න ඒ පැත්තේ කඩ නෑලුනේ. අම්මා ප්‍රශ්න වැලක් අහගෙන කාමරේට ආවා. ආ පුතා ඔය පාර්සලේ තියෙන්නේ. ඔයාගේ නමට ආපු එකක්, අපි කඩලා බැලුවේ නෑ. කවුද එවලා තියෙන්නේ?

අනෝජා මිස් එවලා තියෙන්නේ. දිග කතාවක් ලියපු පොතක් වගේ. හෙට යනකොට කියවන්න පුළුවන් ට්‍රේන් එකේදි.

පුතා සඳුදා ඉඳලා අලුත් ඉස්කොලෙට පත්වීම භාර ගන්න එකට මිස්ට ගොඩක් සතුටු ඇති. මේ දවස්වල ඉතින් රටනෙ ඉන්නෙ. නැත්නම් ගිහිල්ල වැඳලා කතා කරලම එන්න තිබුණා. තාත්තත් අපෙ කතාවට එකතු වුණෙ එහෙම කියාගෙන.

අක්කා, මෙන්න මේ ටිකත් ගෙනියන්න. නංගි තව කෑම ජාති ගොඩක පාර්සල් අතේ තියාගෙන දොර ගාව. කෝ මල්ලි? අද වලියක් දාගන්නවත් ආවේ නෑනේ. මම ඇහුවෙ අම්මගෙන්. “ඔය ඉස්තෝප්පුවට වෙලා හිටියෙ කල්පනා කර කර. දුකයි ඔයා යනවට. ඇත්තටම පුතේ මාත් බයෙන් ඉන්නෙ තනියම ඔයාට ඔය ඈත පළාත්වලට ගිහින් වැඩ කරගන්න පුළුවන්ද?”

“යමුනා, අපි කාටවත් කවදාවත් කරදරයක් හිරිහැරයක් කරපු මිනිස්සු නෙමේනේ. ඒ නිසා අපි එයාගෙ ගමනට අපිට පුළුවන් විදිහට උදවු කරමු.” තාත්තා එහෙම කිව්වත් එයාගේ කටහඬේ තිබ්බ දුක්මුසු ස්වරය සඟවා ගන්න තාත්තට පුළුවන් වුණේ නෑ.

අහන්නකෝ… මේ මගේ පළවෙනි රස්සාව. ඉස්කෝලෙක කවදාවත් උගන්නලා කිසිම පළපුරුද්දක් නෑ. ඇත්තටම මට ඒ ඉස්කෝලෙ මොන පන්තියට උගන්වන්න වෙයිද දන්නෙත් නෑ. එත් මම මේ අලුත් අභියෝගයට ගොඩක් කැමතියි. මම හොයන සතුට මට සමහර විට හම්බ වේවි. ඒ නිසා අම්මයි තාත්තයි පොඩ්ඩක්වත් බය නැතිව ඉන්න. මට කිසිම කරදරයක් වෙන්නෙ නෑ. මට සතුටින් ඉන්න පුළුවන්. අනික මේ මගෙ ජීවිතේ හොඳම කාලෙ. හොඳට මහන්සි වෙලා ඕනෙම පළාතක වැඩ කරන්න පුළුවන් කාලෙ. තරුණ කාලෙ මහන්සි වෙලා වැඩ කරන්නෙ නැතිව නාකි වෙලා වැඩ කරන්නද? අනික අම්මයි තාත්තයි උනත් තරුණ කාලෙ නේද දුෂ්කර සේවෙට ගියෙ? මම ඔයාලගෙ දුව. ඒ අඩි පාරෙ මාත් යන්න ඕනි නේද? මම හිනාවෙවී මගෙ අවංක හැඟීම දිග උත්තරයකින් දුන්නෙ අම්මටයි තාත්තටයි වචනයක්වත් කතා කරන්න ඉඩ නොදී. හැබැයි අම්මයි තාත්තයි ඊට පස්සෙ ඒ ගැන වචනයක්වත් කතා කළේ නෑ. හැබැයි මූණුවල සැනසිලිදායක හිනාවක් නැඟෙනවා මම දැක්කා.

පහුවදා උදේම ඉක්මනින් ලෑස්ති වෙලා අම්මා උයපු කිරිබත් කෑල්ලකුත් කාලා අම්මට තාත්තට වැඳලා නංගියි මල්ලියිගෙන් සමු අරන් මගෙ ගමනට පිටත් උනා. තාත්තයි මල්ලියි මාව ඇරලවන්න කොටුව ස්ටේෂන් එකටත් ආවා. රජරට රැජිණි කෝච්චිය මාව වැව් බැඳි දේශයට එක්කගෙන යන්න මඟ බලාගෙන ඉන්නවා වගෙ මට දැනුණා. මම කෝච්චියට නැගලා වාඩි උනහමත් තාත්ත කිව්වෙ බය නැතිව වැඩ ටික කරගෙන යන්න කියලා. කෝච්චිය පිටත් වෙනකම්ම තාත්තයි මල්ලියි බලන් හිටියා. දෙන්නාගෙම ඇස් දිලිසෙනවා මට පෙනුණා. ඒ  ඇස්වල දුක සතුට එකට මුසු වෙච්ච කඳුළු පිරිලා තිබුණා. ගෙදර අයගෙන් ඈත්වෙලා අලුත් ජීවිතයකට යන පළවෙනි වතාව නිසා මගේ හිතෙත් දුක සතුට හුදෙකලාව පුදුමය මුසු වෙච්ච සිතුවිලි ගණනාවක් වාන් දමමින් තියෙන්නෙ. මම ඇස් දෙක වහගෙන මං ගැනම කල්පනා කළා.

මම සාවිත්‍රි වික්‍රමසිංහ. university එකෙන් pass out වෙලා මාසයයි. ජීවිතයේ සතුට හොයාගෙන යන එක මගෙ පුරුද්ද. මම හොයන සතුට තවම මට හම්බවෙලා නෑ කියලා මට හිතෙනවා. පවුලෙ අය, නෑදෑයො, යාළුවො හැමෝම අත්හැරලා මම මේ යන්නෙ වැව් බැඳි පුරවරයට. ගල්ගමුව තිස්ස විද්‍යාලයේ අලුත් ගණිත ගුරුවරයා මම තමයි.

කොළඹින් ඈතට යන්න යන්න දැනෙන සොබාදහමේ චමත්කාරය මගේ හිත සංසුන් කරනවා වගෙ මට දැනෙනවා. ආ.. දැනුයි මතක් වුණේ අනෝජා මිස් මට එවලා තිබ්බ පොත. මගෙ අත් බෑගයේ දාලා තිබ්බ පොත මම හරි පරිස්සමට එළියට ගත්තා. දුඹුරු පාට සම් කවරයක් දාලා තිබ්බ පොත දිහා බලා ඉන්නකොට මගෙ හිත මටත් නොදැනීම අතීතයට දිව ගියා.

අනෝජා නෙලුම්දෙනිය….. තීක්ෂණ දෑසකින් යුතු ප්‍රියමනාප ප්‍රතාපවත් ගුරුතුමියගේ රුව මගේ සිතේ මොහොතකට ඇඳුණා. මගෙ ජීවිතෙ හැරවුම් ලක්ෂය මිස්ගෙ ආගමනය. දක්ෂ සිසුවියක් වෙලා හිටපු මට එක කාලෙකදි ඉගෙන ගැනීම එපාම වෙලා ගියා. සමහර ගුරුවරුන්ට මාව වහකදුරු වගෙ වෙලා හිටියෙ. මටත් එහෙම්මයි. ඔහේ ගියපු මගේ ජීවිතයට ඒ කාලෙ කිසිම අරමුණක් තිබ්බෙ නෑ. ඔය කාලෙදි තමයි අනෝජා මිස් කියන හිරු කිරණ අපෙ ඉස්කෝලෙට එන්නෙ. තරමක් උස සිහින් තළෙලු සිරුරකට හිමිකම් කියූ ඇයගෙ මුවේ නිරතුරු ප්‍රතාපවත් සිනහවක් රැඳී තිබුණා. ඇගෙ තියුණු දෑස නිතර ළමයි ගැන සෙවිල්ලෙන් තිබුණා. හදේ ගැඹුරටම කාවදින ඇගේ හඬේ තිබුණෙ නායකත්වය සපිරි නිර්භය බවක්. ගොඩ දෙනෙක් ඇයට බය වෙලා හිටියෙ. සැර නපුරු ටීචර් කෙනෙක් කියලා හිතලා. මට තාම මතකයි අපේ අලුත් ඉංග්‍රීසි ටීචර් විදිහට මිස් ආපු දවස. එදා පොත් බලද්දි මම මිස් කියපු දේ නෙමෙයි කරලා තිබ්බෙ. මට ඕන අභ්‍යාස මම කරලා තිබ්බෙ. කෙලින්ම මාව පන්තියෙන් එළියට දැම්මා. ඒ වගේම මම අපිළිවෙළට වැඩ කරද්දි මට හොඳටම බනිනවා. වැඩේ පිළිවෙළකට කරනකම්ම කරවනවා. ඒ දවස්වල මම මිස්ට හිතින් බැනපු තරම්. හැබැයි මාව නොකරපු වැරැද්දකට අහු වෙලා දඬුවම් විඳින්න යනකොට මාව බේර ගත්තෙත් මිස්මයි. කොහොම හරි මට තරු විසි උනෙ මාව 10 වසරෙදි මිස්ගෙ පන්තියට වැටුණම. මම කොච්චර මහන්සි උනාද ඒ පන්තියෙන් මාරු වෙන්න. මට නිදහසක් දුන්නෙම නෑ. පස්සෙන් ඉඳගෙනම O/L වලට පාඩම් කෙරෙව්වා. මගෙ මුරණ්ඩුකම හිතුවක්කාරකම වැරැද්දක් කියලා කියන්නෙ නැතුව පොසිටිව් විදිහට පාවිච්චි කරන්න මට ඉගැන්නුවෙ මිස්. කවදාවත් කාටවත් වැරැද්දක් කරන්නත් එපා.  ඒ නිසා කාටවත්ම බය වෙන්නෙ නැතුව ඉස්සරහට යන්න වගේම එක පාරක් වැටෙද්දි දහ පාරක් නැගිටින්න මට පුරුදු කළෙත් මිස් තමයි. අන්තිම මොහොත වෙනකම්ම පරාජය පිළිගන්නෙ නැතුව ඉස්සරහට යන්න මට ශක්තිය උනෙ අම්මගෙ තාත්තගෙ ආදරය වගේම මිස්ගෙ ශක්තිය සහ මඟ පෙන්වීම. මම හොඳට විභාගෙ පාස් වෙලා මිස්ට රිසල්ට් කියන්න ගිය වෙලාවෙ මම මිස්ට කියපු දේ මට තාම මතකයි. මිස්ව මට මුල් කාලෙ පේන්න බෑ. හැබැයි දැන් මිස් මට අම්මා වගේ. මගෙ ඉස්කෝලෙදි අම්මා මිස්. එදා මට මිස් කිව්වෙ “සාවිත්‍රි පුතේ, ඔයා මට ඉස්සර පොඩ්ඩක්වත් කැමති නැති බව මම දන්නවා. ඒ වගේම දැන් මට ගොඩක් ආදරෙයි කියලත් දන්නවා. ජීවිතේ ඕන ඕනෑම දෙයකදි ඔයා හරි නම් අන්තිම මොහොත වෙනකම් පරාජය පිළි ගන්නෙ නැතිව වැඩ කරන්න.” එහෙම ජීවිතේ කියලා දීපු මිස් අද ඉන්නෙ ජර්මනියේ. බලමු මිස් මට මොනවද කියලා තියෙන්නෙ කියලා.

ආදරණීය සාවිත්‍රි,

මුලින්ම යුනිවසිටි එකෙන් හොඳ රිසල්ට් එකක් අරන් පාස් අවුට් වුණාට මගෙන් සුබ පැතුම්. ඔයා ටීචින් යන්න ගත්ත තීරණය ඇහුවහම මට කියාගන්න බැරි සතුටක් දැනුණා. මොකද හොඳ ගුරුවරු නැති වුණොත් කවදාවත් දක්ෂ දොස්තරලවත්, ඉංජිනේරුවන්වත්, රාජ්‍ය නිලධාරීන්වත් බිහි වෙන්නේ නෑ. හොඳ යුනිවසිටි රිසල්ට් එකක් අරගෙනත් ටීචින් යන එක ඔයා ගත්ත හොඳම තීරණයක්. ඒ ගැන කවදාවත් දුක් වෙන්න එපා. ඒ වගේ තීරණයක් ගන්න හිතපු එක ගැන ආඩම්බර වෙන්න.

පුතේ ඔයාට අලුත් ඉස්කෝලෙදි A/L, O/L  වගේ ලොකු පන්තිවලට විතරක් උගන්නන්න හම්බවෙයි කියලා හිතන්න එපා. 7,8,9 වගේ පන්තිවලට උනත් ඔයාට උගන්නන්න වේවි. සමහර විට පුංචිම පුංචි 1, 2 ළමයින්ට උනත් ඔයාට උගන්නන්න වේවි. මොකද ඔයා යන්නේ ගොඩක් ඈත දුෂ්කර පැත්තක තියෙන ඉස්කෝලෙකට. මොන පන්තියේ ඉගෙන ගත්තත් ඒ හැමෝම ඔයාගේ ගෝලයෝ කියලා මුලින්ම මතක තියාගන්න. ඒ හැමෝම ගැන ඔයාට ලොකු වගකීමක් තියෙනවා. එයාලට උගන්නද්දි එයාලගෙ වයස ගැන හොඳට මතක තියාගෙන වයසට ගැලපෙන විදිහට උගන්නන්න. මේක ඔයා දන්න දෙයක් උනාට ප්‍රැක්ටිකලි කරද්දි ටිකක් අමාරුයි. ඔයාට ගොඩක් පුරුදු ලොකු ළමයි එක්ක වැඩ කරලා නිසා ඔයාට නොදැනීම පොඩි ළමයින්ටත් ඒ වගේ උගන්නන්න ඉඩ තියෙනවා. ඒ වගේම ළමයි ඉගෙන ගන්න වගේම තේරුම් ගන්න වේග වෙනස්. සමහර ළමයි එකම දේ දෙතුන් පාරක් නෙමෙයි පස් හය වතාවක් තේරෙන්නෙ නැතිව අහන්න ඉඩ තියෙනවා. ඒ වෙලාවට ඔයාට ගොඩාක් ඉවසීමෙන් එයාලට කියලා දෙන්න වෙනවා.

ඒ වගේම පුතේ ඔයාට එක එක තරාතිරම්වල විවිධ පවුල් පසුබිම් තියෙන දරුවො මුණගැසේවි. ඒ හැමෝටම එක වගේ සලන්න. එයාලගේ ප්‍රශ්න තේරුම් ගන්න. එයාලා ගැන නිතර හොයලා බලලා සැලකිල්ලෙන් ඉන්න.

ඔයාට මම පුංචි කතාවක් කියන්නම්. මම මුල්ම කාලෙ උගන්නපු ඉස්කෝලෙ 9 පන්තියේ හිටියා කාවින්දි කියලා ලස්සන පුංචි දුවෙක්. එයා හැමදාම ඉස්කෝලෙ එන්නෙ පරක්කු වෙලා. මුල් පීරියඩ් හතරටම එන්නෙ නෑ. ඉතින් සමහර පාඩම් උගන්නද්දි තේරෙනවා අඩුයි. මගෙන් බැනුම් අහලත් තියෙනවා. හැබැයි එයාට ඉගෙන ගන්න ලොකු උවමනාවක් තිබුණා. හොයලා බලද්දි එයාට ඉන්නෙ අම්මා විතරයි. අම්මා කුලී වැඩ කරන කෙනෙක්. පලංචියෙන් වැටිලා ඒ දවස්වල ඔත්පල වෙලා හිටියෙ. ගෙදර වැඩ කරලා, අම්මට බෙහෙත් කරලා විතරක් නෙමෙයි තව කීයක් හරි හොයා ගන්න ගෙදරක වැඩත් කරලා තමයි ඒ දරුවා ඉස්කෝලෙට එන්නෙ. ඉතින් ඒ වගේ ළමයෙක්ට මොකද කරන්නෙ? අතෑරලා දාන්නද? ටීචර්ලා කීප දෙනෙක් එකතු වෙලා පුළුවන් වෙලාවට කතා කරලා ඒ දරුවට මගහැරෙන පාඩම් කියලා දුන්නා. අන්තිමට එයා තමයි ඒ ඉස්කෝලෙ හොඳම රිසල්ට් අරන් O/L පාස් උනෙ. පස්සෙ ඒ දුව යුනිවසිටි එකටත් ගියා. හොඳ රස්සාවක් දැන් කරනවා. දැන් ඒ අම්මයි දුවයි සතුටින් ඉන්නවා.

ඒ වගේම ළමයින්ගෙ මානසික මට්ටම් හොඳට අවබෝධ කරගෙන උගන්නන්න. මම බණ්ඩාරවෙල ඉස්කෝලෙක උගන්නන කාලෙ තමයි මට මාධව පුතාව මුණගැහුණෙ. දඟ මල්ලක්. ඉගෙනගන්න හරිම කම්මැලියි. ඉගෙනගන්න උවමනාවක් ඇත්තෙම නෑ. 3 වසරෙ හිටියට හෝඩියේ අකුරු ටිකවත් හරියට ලියන්න බෑ. අනික් ළමයින්ටයි ටීචර්ලටයි හරියට කරදර කරනවා. හැමෝම කියන්නෙ ඇට්ටර මාධව කියලා. අපි මාධව ගැන හොයලා බලද්දි මාධවට අම්මා තාත්තා කවුරුවත්ම නෑ. හැදෙන්නෙ ආච්චි ගාව. ආච්චි කුලී වැඩ කර කර සෑහෙන්න දුක් විඳිනවා මාධව ව බලාගන්න. ඉතින් ආච්ච්ට මාධවට ලොකු අවධානයක් දෙන්න විදිහක් නෑ. ඒ නිසා තමන්ට අවධානය ගන්න තමයි මාධව මේ විදිහට හැසිරෙන්නේ. ඒ දරුවට වැඩිපුර අවධානය දීලා මමයි තව ටීචර් කෙනෙකුයි හවස් වරුවෙත් ඒ දරුවව තියාගෙන ඉගැන්නුවා. මාධවගෙ දරදඬු ගතිය අඩු වෙලා හොඳට ඉගෙනගන්න දක්ෂ දරුවෙක් වුණා. අද මාධව කියන්නෙ රටවල් ගණනාවක පැතිරුණු ලොකු ව්‍යාපාර ජාලයක කළමනාකාර අධ්‍යක්ෂකවරයෙක්.

ඒ වගේම සාවිත්‍රි ඔයාට විවිධ ශාරීරික ආබාධ සහිත ළමයි මුණගැහේවි.

මම පුතාලගෙ ඉස්කෝලෙට එන්න කලින් ආනමඩුව පැත්තෙ ඉස්කෝලෙක ඉගැන්නුවා කියලා ඔයාලට කියලා තියෙනවා නේද? එහෙදි තමයි මට දසුන් පුතාව මුණගැහෙන්නෙ. හරි අපූරු දරුවෙක්. නම දසුන් උනාට හැමෝම එයාට කියන්නෙ තිත් මුවා කියලා. මොකද දසුන්ට තිබුණු ජානමය විකෘතිතාවක් නිසා එයාගෙ ඇඟ පුරාම මුවෙක්ගෙ වගේ තිත් වැටිලා තිබ්බා. එයා හිටියෙ 6 වසරෙ. ළමයි විතරක් නෙමෙයි. සමහර ගුරුවරුත් දසුන් පුතාට කතා කළේ තිත් මුවා කියලා. සාවිත්‍රි, හොඳට මතක තියාගන්න. ළමයෙක්ට මොන විකෘතිතාවක් තිබුණත් එයට පටබැඳිලා තියෙන නමින් ගුරුවරයෙක් කතා කරන්න හොඳ නෑ. මොන තත්ත්වෙ හිටියත් ඒ ළමයා ගුරුවරයට එයාගෙ ගෝලයෙක්. මේ තිත් මුවා නම නිසා දසුන් ඉස්කෝලෙට එන්න කැමතිම නෑ. හැංගිලා ඉන්නම තමයි බලන්නෙ. මුළුගැන්විච්ච චරිතයක් වෙලා හිටියට දසුන්ට හරි ලස්සන කටහඬක් තිබුණා. දෙවියො කෙනෙක්ට දෙයක් අහිමි කරද්දි තවත් වටිනා දෙයක් තිළිණ කරනවනෙ. ඉස්කෝලෙ සංගීත සර්ට දසුන්ගෙ හැකියාවන් දැනගන්න ලැබුණෙ අහම්බෙන්. මුලින්ම ඉබ්බව කටුවෙන් එළියට ගන්නවා වගෙ ගොඩක් අමාරු දෙයක් වුණා දසුන්ගෙ බය ලැජ්ජාව නැති කරලා සමාජෙට ගේන එක. සංගීත සර් බොහොම කැපවීමෙන් කටයුතු කරලා දසුන්ගෙ දක්ෂතාව ඔපමට්ටම් කෙරුවා. අපි හැමෝම දසුන් ව දිරිමත් කළා. එයා බොහොම අඩු වයසකදි ඉන්දියාවෙ පවා ගිහින් ඉගෙන ගෙන සංගීතයෙ නව මං සොයා යන දක්ෂ සංගීතවේදියෙක් වුණා. අද ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙම හඳුනන ලොවක් දිනූ දක්ෂයෙක්. තවදුරටත් එයාගෙ තිත් වැටුණු සම කාටවත් සිනහවට හේතුවක් නෙමෙයි. ඔයාට හිතා ගන්න පුළුවන් නේද කවුද කියලා.

තව දෙයක් හොඳට මතක තියාගන්න සාවිත්‍රි. ලස්සන රූපය, බුද්ධිය, උතුරන්න සල්ලි හැම දෙයක්ම තිබිලත් අසම්පූර්ණ ජීවිත තියෙන දරුවොත් ඉන්නවා. හොඳම උදාහරණය තමයි අපේ ඉස්කෝලෙ හිටපු ජාන්වි. ඔයාට මතකයි නේද ජාන්වි නංගිව. එයා කොච්චර ලස්සනයි ද? කොච්චර දක්ෂ ද? කොච්චර පොහොසත් ද? හැබැයි එයාගෙ අම්මයි තාත්තයි වෙන් වෙන්න ගියපු නිසා එයා සියදිවි නසාගන්න ගිය මතකයි නේද? එදා එයාව බේරගත්තෙ ආරියරත්න මිස්. ආරියරත්න මිස් කොච්චර මහන්සි වෙලාද එයාගෙ මනස ශක්තිමත් කරලා ආයි නියම පාරට අරගෙන එයාව කැම්පස් යන්න තරම් දක්ෂ දරුවෙක් කළේ.

සාවිත්‍රි පුතේ, ඔයාට දැන් තේරෙනවද ඔයා කොච්චර ලොකු වගකීමක් ද බාරගන්න යන්නෙ කියලා? ඔයා හොඳට මතක තියාගන්න අහිංසක අංගුලිමාල උනෙත් ගුරුවරයෙක් නිසා වගේම ඒ මිනීමරු අංගුලිමාලට ම, රහත් බව ලබා අංගුලිමාල රහතන් වහන්සේ බවට පත් වෙන්න මඟ කියා දුන්නෙ ලෝකයේ උතුම්ම ගුරුවරයා වූ බුදු පියාණන් කියලා. මනුස්සයෙක්ගෙ ඉරණම ලියන්න ගුරුවරයෙක්ට පුළුවන්. ඒ වගේම ගුරුවරයෙක්ට ගෝලයෙක් ගැන තියෙන්නෙ වගකීමකට එහා ගිය බැඳීමක්. ගුරුවරයෙක් විදිහට අවශ්‍ය තැනදි ඔයා සැර උනාට කමක් නෑ. හැබැයි කිසිම වෙලාවක නපුරු වෙන්න එපා. හැමවෙලාවෙදිම ඔයා ගෝලයින්ව හරි පාරෙ යවනවා වගේම එයාලව නපුරෙන් බේරගන්න. ඔයාට සමහර වෙලාවට ගොඩක් බාධක ඒවි. ඒ වෙලාවට ඔයාගෙ හිතුවක්කාරකම හරි විදිහට පාවිච්චි කරන්න. හැම වෙලාවේදිම ඔයාගෙ ගෝලයින්ට තනියම, කවුරු මතවත් යැපෙන්නෙ නැතිව නිවැරදි ඉලක්කවලට යන්න පුරුදු කරන්න. ඔයාවත් අභිබවා ලෝකය ජයගන්න කියා දෙන්න. එදාට ඔයා හොයන සතුට ඔයා දන්නෙම නැතිව ඔයාගෙ ජීවිතේට ඇවිත් තියේවි.

එහෙනම් පුතේ ඔයාගෙ ගමන සාර්ථක වෙලා ඔයාගෙ සියලුම ප්‍රාර්ථනා ඉටුවෙන්න කියලා මම සුබ පතනවා. මම දැනට නවතින්නම්.

මීට ආදරණීය ටීචර්,

අනෝජා නෙළුම්දෙනිය

කවදත් වගේ අදත් මිස් මගෙ ජීවිතේට පාර කියලා දීලා තිබ්බා. ඔව් ටීචර්. මම පොරොන්දු වෙනවා ටීචර් මගේ ජීවිතේ එළිය කරලා පාර කියපු පහන් තරුව උනා  වගේ මමත් තව ජීවිත ගණනාවක් එළිය කරන පහන් තරුවක් වෙනවා.

 

Written By : Sajini Vindula

Image Courtesy :

 
Tagged : / / /