සීත අරණේ

Share

එදා සෙනසුරාදා දවසක්. මම යි මගේ අම්ම යි පයින් ම කුළියාපිටිය මූලික රෝහලට ඇවිදගෙන ගියා. අපේ අම්මා මගේ ජීවිතේට ලංවෙන්නේ මගේ මිතුරියකෙගේ ලෙසින්. එදා ඒ ගමන අතරතුර එයා මට අහියෝගයක් දුන්නා. ” ලොකු දුව මට කියන්න ආදර ගීතයක්”. මම ”අම්මේ ඒ කිව්වේ ”. එතකොට අම්මා ” විරහ ගීතයක් නෙමේ. ඇත්තම ආදර ගීතයක්. වෙන්වීමක් නැති එක්වීමක් විතරක් තියන ලස්සන තෙරුමක් තියන සින්දුවක්”.

මගෙ උත්තරේ ”සොඳුරු අතීතයෙ නිමල පැතුම වී”

”ඊට වඩා ලස්සන එකක් කියන්න” ඒ අම්මා

මම සද්ද නැතුව කල්පනා කළා එතකොට අම්ම ” ඇයි ළමයෝ ඔයාගෙ කැමතිම සින්දුව සීත අරණේ ”
අපිට අමතක වෙනවා අපේ ලඟින් ම ඉන්න අය. ඒක නිසා තමයි මට ඒ සින්දුව අමතක උනේ. ඒ තමයි ලෝක ස්වභාවය.

අම්ම මට එකම එක ගී පද පෙළියක තෙරුම කියා දුන්නා. එදා මට අම්මා තෙරුම් කරල දුන්නා ආදරේ වටිනාකම කියන්නේ මොකක්ද කියලා.

ටික කාලයක පස්සෙ මම ගීත කීපයක තෙරුම ලිව්වා. එදා තුන් වෙනියට ලිව්වේ මේ ගීතයේ අර්ථය ,,,මගේ සිතට අනුව.

2015 – 02 – 14 ආදරවන්තයින්ගේ දිනයට මගේ කැමති ම ගීතය ඔබට .

පද රචනය – කුලරත්න ආරියවංශ
සංගීතය – රෝහණ වීරසිංහ
ගායනය – මිල්ටන් මල්ලවාරච්චි මාලනී බුලත්සිංහල
චිත්‍රපටය – ආරාධනා

male : සීත අරණේ සුපුල් නා මල සුවඳ ගැල්වූ ජීවිතේ
female:සීත හිම ගිර සීත නොදැනේ දැනේ උණුසුම ආදරේ.

පිපුණු නා මලක සුවඳ පරදන්නනට හැකි තවත් මලක් ලොවේ තියේද. දෙවිවරුන් පවා වඩිනවාලු නා මල් සුවඳට. ඔබේ සෙනෙහස සමාන කළ හැකි යමක් විශ්වයේ වේ ද ඒ නා මල් සුවඳයි. එ සුවඳ මගේ ජීවිතය සුවඳවත් කල වගයි.

ඔබේ සෙනෙහස උණුසුම්, එ උණුසුමට හේතුව ඔබේ සෙනෙහසේ ගැඹුර නොවේ ද, හිමාලයේ සීතල පරදන්නට තරම්.

female:ලතාවක් සේ වෙලී සියොළඟ පතමි රැකවරණය ඔබෙන්

වැලක් ගසක එතී ගත් විට , ඒ වැල මුලෙන් ගැලවී යන තුරුම ගස වටා එතී පවතී. මම ද මියෙන තුරුම සබඳ ඔබ සමගින් ම සිටිමි අත් නොහැර යමි. ඔබ වටා රැඳෙමි.ආලය වෙනුව සෙනෙහසම පතමි. සෙනෙහස ආලයෙත් , රැකවරණෙයේ ත් එකතුව නිසා වෙන්.

male: සදා දෝතින් මලක් සේ ඔබ වැලඳ ගන්නෙමි හදවතින්.
female : හදවතින්…………

පිවිතුරු මලක පැහැයට සුවඳට ගුණයට හානියක් නොවන සේ යමෙක් මලක් දෝතින් දරන්නේ යම්සේ ද මම ද ඔබ රැක ගනිමි, සදාකාලිකවම, වැලඳ ගනිමි දෑතින් නොව හදවතින්. රකිමි ඔබේ පිවිතුරු ගුණය මම.

female: වලාවක් සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ලඟයි.

වලාකුලකට විඩාවක් නැත, නවාතැනක් ද නැත, සුලඟ සමගින් සිත් සේ හිතු හිතු දිසාවේ පාවේ. එහෙත්, එක් මොහොතක වළාකුල වැස්සක් වී කඩා වැටේ.

සිතු සිතු සිත් වල මොහොතකට නැවතෙමින් ඒ මේ අත ගිය මගේ සිත අසරණ වන්නට පෙර ඒ සිතට සදාකාලික සැනසීම ගෙන ආවේ සබඳ ඔබේ සිතම වෙයි. ඒ සිත තුල මගේ සිත සසර පුරාවටම ලැගුම් ගත්තාක් මෙනි.

male: මහා කතරෙක ගෙවූ තනිකම නිමා කළ ඉම ඔබ නෙතයි.
female: ඔබ නෙතයි……

ආලය පැතූ මගේ සිතට මා පැතූ සෙනෙහස හමු නොවීය. ඒ කතරකට දිය අහිමි අයුරින්මය. ආලය අහිමි ජීවිතයට අවසානයක් ද නොවීය. කතරට ඉමක් නැත්තාක් මෙනි. එහෙත් ඔබේ නෙත් පිරී ගත්තේ මා පැතූ ප්රේවමයෙන් ම ය. ඒ නෙත් අභියස මා සදාකාලිකව නතර වූ වාක් මෙනි, තනිකඩ ජීවිතයට නවාතැන් තබමින්.

අවසානයේ මා ද ඔබ ද අප දෙදෙන අසල නතර වූවාක් මෙනි. සසර කෙලවර වන තුරුම.

එදා අම්මගෙයි අපේ අප්පච්චිගෙයි wedding video එකේ තේමා ගීතය . අද මගේ ප්‍රියතම ගීතය.
ලස්සන ගීත වයසට යන්නෙ නෑ. කවදාවත් ම…
පෑන යි පොත යි අතට ගත්තම කවදාවත් ම අපි බොරු කියන්නෙ නෑ. ඒ නිසා අවසානයට පෙර මගේ මුලු හදවතින් ම ඔබ සියලූම දෙනාට ඔබ පතන ප්‍රේමය ඒ අයුරින් ම ලැබේවා කියා මම පත්න්නම්. ඒ ඔබ සතුටින් නම් මා ද සතුටින් නිසා…

සදා දෝතින් මලක් සේ ඔබ වැලඳ ගන්නෙමි හදවතින්………..