නිහඬව ම හඟින්නෙමි
ජනවාරියේ වියැලුණු සීතල රැයක්
පත් පවා සෙමින් මිදුණත්
විටින් විට ගත රිදුම් දුන්නත්
දැනෙන්නේ ඉන් තවත් ඇරඹුමක
නොනිම් අරගලයයි…
දෝතින් ගෙන සිඹ බලමි
නැදුන් මල් පොඩි අහුරක්
රෝස මල් මෙන් යසස් නොවුණත්
පිපි පිපී පෙති බිමට හැලුණත්
හමන්නේ ඉන් කඳුළු වැළලුණු
දූලි පොළොවේ සුවඳයි…
කළුවර තුළින් දකින්නෙමි
නිල් පාට තනි තරුවක්
සියොළඟ ම කළුවරක ගිලුණත්
නැගි නැගී බිය සිතට දැනුණත්
පෙනෙන්නේ දුර අතීතෙන් ආ
අනාගතයේ එළියයි…
Image courtesy: Author