ආදරයේ උල්පත වූ අම්මා

supun 0 Comments
උඹ දැන් මොකක්ද කරන්න යන්නෙ ඔහොම ගිහින් මොකෙක් වෙන්නද යන්නෙ? එහෙම අම්ම අහපු වාර ගණන අනන්තයි. හැබැයි කොහොම මොන විදියට බැන්නත් සැර කරත් කවදාවත් අම්මගෙ ආදරේ අඩු වුනේ නෑ.
අපිට ඒ ආදරේ හැමදාම එක විදියට දැනෙන්නෙත් නෑ….
හැබැයි සිත එක තැනකට ගෙනැල්ල ආපහු සිතල බැලුවම තමා තේරෙන්නෙ අම්ම ඒ ආදරයත් තියා ගෙන හැමදාමත් එක විදියට ඉඳිද්දි අපියි එයාගෙන් ඈතට ගිහින් තියෙන්නෙ කියල… ඒත් ඒ ටික තේරුනත් අපේ සිත් වල මාන්නය ආඩම්බර කම නෑ නෑ පිස්සුද මම එහෙම නෑ කියල හිතටම ආපහු බොරුවක් කොඳුරනව….
කොච්චර ඈතට යන්න හැදුවත් අපේ සිත් වලත් ගැඹුරුම තැනක අම්ම ගැන ලියවිලා තියෙනව…
මොකක්ම හරි හදිසි අනතුරක් වුන වෙලාවක අපිට හොඳම යාලුවගෙ නම වත් පතා ගෙන ආපු අයවත් නෙවේ මතක් වෙන්නෙ…. කොච්චර ඉහල මනුස්සයෙක්ගෙ මුවෙන් උනත්  “අම්මේ” කියල කියවෙන්නෙ නිරායාසයෙන්ම.
සමහර දවසට ගෙදරින් එලියට බහිද්දි පුතේ බත් එකක් අරන් යන්න කියල අම්ම බත් එකක් කලබලේට ඔතාගෙන එද්දි ආපහු ගිහින් බැලුවම තමා තේරෙන්නෙ ඒ අම්මගෙ බත් එකයි ඔතාගෙන ආවෙ කියල… ඒ තමා අම්මගෙ ආදරේ… ඒක පොෂ් විදියට කිව්වොත් අන්ලිමිටඩ්, අන්ක්න්ඩිශන්  එකක්…. අපේ විදියට කිව්වොත් අසීමිතයි කොන්දේසි විරහිතයි…

දැන් ඔබට ගැටලුවක් ඇති ඇයි මේ අම්ම ගැන ලියන්නෙ කියල.
අම්ම ගැන ලියන්න මවුවරුන්ගේ දිනයම ඕන නෑ කියල හිතුන…
හැබැයි නිමිත්තකුත් තියෙනව මේ ටික මෙහෙම ලියන්න ….
ඒ තමයි මරදානෙදි පොඩි එකාව කෝච්චියට නග්ගල අම්ම කෙනෙක්
කෝච්චියෙන් වැටෙනව…
මම කියන පුද්ගලය ඒ පෙට්ටියෙම ඉන්නවා සහ අර පොඩි එකාගෙ විලාපය මට ඇහෙනව. මම කියන්නෙ ටිකක් මුරණ්ඩු දරදඬු ලේසියට අඬන්නෙ නැති එකෙක් හැබැයි මගේ ඇස් වලටත් කඳුලු ආවෙ නිරායාසයෙන් … මගේ විතරක් නෙවේ මුලු කෝච්චියෙම මිනිස්සුන්ගෙ ඇස් වල කඳුලු ඒ නිමේශයට පිරිල ඉතිරිල ගියා…
ඒ වෙලාවෙ මට දේවල් දෙකක් ගොඩක්ම දැනුන එකක් අපි අම්මට කොච්චර ආදරේද කියන එක … අනිත් එක තවමත් අපේ මිනිස්සු ගාව මනුස්ස කම තියෙනව කියන එක…
මුලු කෝච්චියෙම මිනිස්සු වට වෙලා අර කෙල්ලව සැනසුව “පුතේ අම්මට මුකුත් වෙලා නෑ කියල” මොකක්ද වාසනාවකට අම්මට මුකුත් වෙලා තිබුනෙත් නෑ….

අපේ ගීතය කාලයෙන් කාලයට වෙනස් වුනා… විවිධාකාර මාතෘකා පිලිබඳ ගීත ලියවුනා.. හැබැයි මේවයෙ ගුණාත්මක භාවය ගැන ගැටලු මතු උනත් එදත් අදත් එක වගේ අම්ම ගැන හරි අපූර්ව සන්කල්පනා බිහි වනවා… අනෙක් හැම ගීතයකම වගේම කැලුම් ශ්‍රීමාල් රචනා කරපු අසන්ක ප්‍රියමන්ත පීරිස් ගායනා කරන මේ අලුත් රැල්ලෙ ගීතය තුලත් ඒ සෙනෙහස එහෙමම තියෙනව කියල මම හිතන නිසා මේ ලිපිය මෙහෙම අවසන් කරනව… හැබැයි අම්ම ගැන මේ ලිව්ව මදි…. ඒ ගැන ලියා ඉවර කරන්න අපි කවුරුත් අසමත් වේවි…

අතුල් හිතේ හිත පතුලෙම පරිස්ස්මෙන් හංගා
තුරුළු සුවේ සියුමැල්ලෙන් පිරිමැද නිදි කරවා
පතුල් පවා සිඹ සිඹ නිදුකින් මා කර පින්නා
නැළැවිල්ලෙන් ආත්මයම උණුහුම් කල අම්මා
මගෙ අම්මා…

වචන රහිත දිගම පේන ගීය කනේ රන්දා
දුකින් තොරව දිවි ගෙවන්න පාර කිව්වෙ අම්මා
නැති බැරි කම් හංගා ඇති දේ පිරිමහලා
කවා පොවා හැදුවේ අම්මා…

හරිම තැනින් පටන් ගන්න කියා දුන්නු හින්දා
හොඳම දෙයක් කරන් යද්දි සතුටු වෙන්නෙ අම්මා
සැප විඳිනව දැකලා හිස සිඹ සුභ පතලා
හිනා වෙවී හැඬුවේ අම්මා…
ආත්මයම හැදුවේ අම්මා………..