ගමේ පොළ…

Share

සෙනසුරාදාව, ගම්මානෙ නම් හරිම කලබල, තෙහෙට්ටු දවසක්. ලොකු, පුංචි කොයි කවුරුත් එකතු වෙලා, ගමම ලස්සන කරන්නෙ, “ඒ සුවඳ, ඒ මිහිර නගරයටත් විවෘතයි” කියන ආරාධනාවත් කරන ගමන්මයි, ඉතිං ගන්නම ඕනෙ නෑ , ගොඩවෙලාම යන්න…

එන්න, බලන්න, රස විඳින්න…..

 

ගොඩවෙන තැන සුවඳ අගෙයි කඩචෝරු

අන්නසි අඹ පේර සමඟ අච්චාරු

මහ හයියෙන් ගසමින් තව කයිවාරු

බැනියම ඇඳගත් වෙළඳෙකි තරබාරු

 

සරුසාරෙට දිගට හැදුණු වැටකොලූ

කොහිල තියේ මිටි මිටි සපිරුණු දලූ

මුකුණුවැන්න ගොටුකොළ පැදුරක එලූ

යම්තම් දැලි රැවුලකි  ඒ පොඩි කොලූ

 

මුරුක්කු රටකජු බූන්දි දහයෙ වඩේ

පිළිවෙළකට තනවා ඇත පුංචි ඉඩේ

වැස්ස නිසා එරුණත් යම්තමට මඩේ

මිනිසුන්ගෙන් නෑ අඩුවක් පුදුම වැඩේ

 

හාල් සීනි තේ කොළ තව පිටිකිරි ද

තුනපහ පොල්තෙල් ද සබන් කුළුබඩු ද

හඳුන්කූරු ලූනු ද අල පරිප්පු ද

ලාබයි දෙන්නේ පහසුම මිලට අද

 

වට්ටක්කා පරදවනා ලොකු කැකිරී

කරවිල මෑ කඩල ද මුං හැම සපිරී

පල දරලා ඒ නෙත අබියස දහිරී

වයසක අම්මෙකි මුවෙ සිනහව මිහිරී

 

පෙනුමැති තරුණෙ’කි වියෙ විසිපහෙ විතර

‘එන්න ගන්න’ ඇරයුම් හඬ නොම නතර

වතුර ටිකක් බිව්වත් ඒ තුර අතර

සද්දෙත් නෑ පව් කෑ ගහලම උගුර

 

සරම කවාගෙන හොඳ හැටි කැසපට

අතේ තියෙන්නේ පිහියකි පෙනුමට

දියඹෙ ගිහිං අරන් ආපු නැවුමට

මාළු ලෑල්ලයි නැහැපුඩු ඇතුළට

 

කීරමීන් හාල්මැස්සො උරවල

අතට පහසු දරන්න පහසුම මිල

සෙනඟින් කිසි අඩුවක් නෑ ඒ වල

හද බැඳෙන්නෙ වෙළඳාමයි කරවල

 

නැවුම් දොඩම් අයිස් එක්ක මුහු කරලා

සරුවත් ඇත දැක්කත් හද රස පිරිලා

තෙහෙට්ටුවට මහන්සියට තිත තියලා

බීම කඩය පුංචි එව්වො වට කරලා

 

අත් දෙකෙන්ම මහ බර උර දරාගෙන

යන ගමනෙකි හෙමිහිට බිම බලාගෙන

අම්මල එක්කල ඇවිදින් උදෑසන

තරුණ ලියකි රූපෙන් නෙත පිනායන

 

නිමක් නොදැනෙනා දෙසවන පිරු සද්දේ

ජීවන තෙර පදවාලන මේ යුද්දේ

ගනුදෙනු මුදලට හනිකට වෙන මැද්දේ

අවිහිංසක ගැමි සුවඳකි මා වින්දේ

 

ගම්මානෙම එක තැනකට එකතු වෙන

මහන්සියේ අස්වැන්නයි කිරුළු ලන

සෙනසුරාද හැම පැතුමන් එළිය වෙන

ධන ලක්ෂ්මී දෙවිඳුණි නෙත් හෙළනු මැන

 

Image Courtesy: https://bit.ly/36LY1ZE

 
Tagged : / /