ළඳුනේ

Share

ලෝකය නිර්මාණය වී තිබෙන්නේ, මව් කිරෙන් සහ හිරු එළියෙනැ යි කියමනක් තිබේ. මව, එනම් කාන්තාව ලෝකයේ පැවැත්ම කෙරෙහි තීරණාත්මක සාධකයක් බවට තවත් නිදසුන් කුමට ද? ජෛව ලෝකයේ නිර්මාපකයා හිරු වෙයි. ශාක ප්‍රභාසංශ්ලේෂණය මගින් ආහාර නිපදවීමේ සිට, ඛණිජ තෙල් ලබා ගැනීම දක්වා, ජෛව ගෝලයේ පැවැත්ම කෙරෙහි සූර්යාලෝකයේ දායකත්වය මහත් ය. යම් හෙයකින් සූර්යයා උදා නොවුණහොත්, පෘථිවිය මළ ග්‍රහ ලොවක් බවට පත්වනු නියත ය. මව, දරුවකුගේ ජීවිතයට වට හිරු කිරණක් වැනි ය. හිරු කිරණ පහස නොලත් බිම මළ ලොවක් වනු සේ ම, මව් සෙනෙහස නොලත් මිනිසාගේ ජීවිතය නිසරු දිවියක් වනු ඇත. ඇය මානව වර්ගයාගේ මැවුම්කරු වන්නී ය. දහසක් වේදනා සිනහවෙන් උසුලන්නිය වන්නී ය. ලෝකය ඉදිරියේ නොකළ වරදට වුව ගර්හාවට ලක් වන්නී ය. දෝෂ දර්ශනයට පාත්‍ර වන්නී ය. එහෙත්, දයාවෙන් ආර්ද්‍ර වූ හදවතින් ලෝකය සනසන්නී ද ඇය ම ය.

මේ සටහන තබන්නට මා මෙහෙයවූ ගීතයක් ඇත. මානව දයාවේ උච්චත ම තලය ස්පර්ශ කරන්නා වූ ගීතයක් ලෙස, එම ගීය හඳුන්වා දීමට රිසියෙමි.

ළඳුනේ ළඳුනේ
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ

අභිසරු ලියකට ළඳුනේ යනුවෙන් දයාවෙන් ආමන්ත්‍රණය කරන හේ සැබෑ මානව වාදියෙකි. ගේය පද පෙලෙහි හිමිකරුවා වන ඔහු, රන්බණ්ඩා සෙනෙවිරත්න ය. මේ ගීය අමතන්නේ කා හට දැයි, එය රසවිඳ ඇති අපි සැවො ම හොඳින් දනිමු. සංගීතය, ප්‍රේමසිරි කේමදාස ගාන්ධර්වයාණෝ විසිනි. අමරසිරි පීරිස් සංගීතවේදියාණන් ගේ ළයාන්විත හඬ, හදෙහි ඇතුල් ගැබට පිවිස, ස්ත්‍රීත්වය සමාජය ඉදිරියේ ලබන්නා වූ ගර්හාවන් පිළිබඳ එහි ගොඩගැසී පවතින අනේකවිධ සංවේදී හැඟීම් පිරිමැද්දේ ය. වේදනා උසුලන, පෙලීමට ලක්වන, අසාධාරණය වුව සාධාරණය කොට භාර ගැනීමට බල කෙරෙන ගැහැණිය පිළිබඳව, කලක් තිස්සේ සිතෙහි එක් රැස් වී, පිට වෙන්නට පොරකමින් සිටි ආවේගය, ඒ හඬ විසින්, ගේය පද වැල විසින්, උත්තේජනය කෙරිනි.

ළඳුනේ මා අසා ඇති ආකාරයට, රන්බණ්ඩා සෙනෙවිරත්නයන් මේ ගීතය ලියා ඇත්තේ සැබෑ සිද්ධියක් ප්‍රස්තුත කර ගනිමිනි. රන්බණ්ඩා මහතාගේ මිතුරෙකු මහනුවර ප්‍රදෙශයේ පිහිටි බෝඩින් කාමරයක නවාතැන් ගෙන සිට ඇත. බෝඩිමේ සගයන් විසින් විනෝදාස්වාදය පිණිස කරගෙන ගිය එක්තරා පුරුද්දක්, ඔහුගේ දැඩි අප්‍රසාදයට ලක් වී ඇත. වැටුප් ලැබී, අත මිට හොඳින් සරු කාලයට අභිසරුලියක් බෝඩිමට ගෙන්වාගෙන ඇගෙන් සන්තර්පණය වීම, ඔවුන්ගේ අපූරු පුරුද්ද යි. සිය සගයන්ට වඩා වෙනස් ආකල්පයක් දැරූ මිතුරා, එම ක්‍රියාව පිළිකුල් කොට ඉන් ඉවත්වී ඇත. සිරිත් පරිදි එක්තරා දිනෙක, සගයන් පිරිස ගණිකාවක් නවාතැනට ගෙන්වා ගෙන, ඇගේ පහස ලැබූහ. පසු දිනය පොහොය දිනයකි. එදින සන්ධ්‍යාවේ පිරිස දළදා වඳින්නට ද පිටත් වෙති. වන්දනා ගමනෙහිදී හදිසියේ පිරිස ඇස ගැටුනේ, පෙරදින රැයේ තම ශරීරය තමන් වෙත විකිණූ කාන්තාවයි. පෙර දා රැය පුරා තම ඉඳුරන් සන්තර්පණය කළ ස්ත්‍රිය, බුදුන් හමුවට පැමිණ සිටියා ය. ඇය නොහඳුනන්නන් ලෙසින්, පිළිකුලෙන් සිය සගයන් ඇය මගහැර ඇගෙන් ඉවත් වූ ආකාරය දුටු රන්බණ්ඩා මහතාගේ මිතුරා, ඔහුගේ හෘදසාක්ෂිය විසින් කම්පනයට පත් කරන්නට ඇත.

ළඳුනේ ළඳුනේ
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ
දෙනෝදහක් අත ගත්ත ද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම නොකියන
වීදි සරන ළඳුනේ

සැබවි. ලෝකය ඉදිරියේ ඇය වෛශ්‍යාවකි. දහස් ගණන් පිරිමින් සමග අපුලකින් තොරව ඈ යහන් ගත වන්නී ය. ඈ වෛශ්‍යාවක් බවට පත් කලෝ කවුරු ද? ඔහු ඇය හෘදයාංගම ව අමතන්නේය.

ළඳුනේ ළඳුනේ
ඔබේ දෑස දැක ගත්තෙමි

2 ඇගේ දෑසෙහි වූ අයැදුම හේ හඳුනා ගත්තේ ය. ඇගේ රිදුම් දෙන හදවත හේ, ඔහු ගේ හදට සමීප කර ගත්තේ ය. ඇගේ හදවත ඔහුට කී කතාව ඔහුගේ හද සසල කළේය. ඇය බොහෝ පිරිමින් විසින් සරණ කරගනු ලැබුවා ය. නමුත්, ඇය භාර්යාවක් කොට ගෙන රක්ෂා කරනට සැමියෙකු නොලැබුවා ය. පිරිමින් ඇගේ අත ගත්තේ, තම කය පිනවා ගනු පිණිස එක් රැයකට පමණි. ඇයට නෑකම් කියන්නට කිසිවෙක් ඉදිරිපත් නොවෙති. ඇය සියලු දෙනා විසින් ප්‍රතික්ෂේප කරන ලද්දී ය. ඇගේ හිසට සෙවණක් නැත. වීදිය ඇය නිවස කොට සිටින්නී ය.

 

තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ
බුදුන් දැක නිවන් දකිමැ යි
දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි ඔබ ද කිසාගෝතමියකි

වෙසඟනක ගේ දුක්ගැනවිලි ඇසීමට කවුරු ඉදිරිපත් වෙත් ද? ඈ සරණක් සොයා යන්නේ මුනි කුටියට ය. දළදා හිමි අභිමුවට ය. බුදු හිමියෝ කුලය, බලය හෝ නිලය නොසලකා උන්වහන්සේ හමුවට එන සියලු මිනිසුන්ගේ සසර ගිනි නිවා ලූ සේක. සැඩොලා ද, සිටුවරයා ද, නගර සෝභිනිය ද, රාජ මහාමාත්‍යාදීන් ද එක සේ දුකින් මුදා ලූ සේක. සිටු කුමරියක් වූ විශාකාවට ද, දරුවා මළ සොවින් කම්පිතව සිහි එළවා ගත නොහැකි වූ කිසාගෝතමියට ද, අසම්මත ප්‍රේමයක පැටලී සරණ ගොස් පුරුෂයා ද, දරුවන් ද, සිය පවුල ද අහිමි ව උන්මාදව, ඇඳි වත පවා නොමැති ව බුදුන් අභියස හඬාවැටුණු පටාචාරාවට ද දෙව්රම එකසේ විවෘත විය. රකිනු ලැබීමට සැමියෙකු නොලද, කිසිවෙකු විසින් නෑකම් නොකියන මෙම ස්ත්‍රිය නූතන පටාචාරාවක්, කිසාගෝතමියක් නොවන්නී ද?

පිරිමින් ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා
එළියෙ රවන ළඳුනේ
ළැම පමණක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ

දහසක් පිරිමින් ඇගේ පහස පතා එති. ඔවුන්ගේ ඉඳුරන් ඇගෙන් සන්තර්පණය කර ගනිති. රැයක් පාසා ඇය අතවරයන්ට ලක් වන්නී ය. සලෙලුන් අතින් අත යන්නී ය. ඔවුන්ට ඇය සිත් සේ පරිභෝග කළ හැකි කෙළි බඩුවකි. සිත් පිත් නැති, සංවේදන නොදැනෙන ගැහැණු කයක් පමණි. තම විවාහක බිරිඳ ඉක්මවා වෙනත් ස්ත්‍රීන් සොයා යන පුරුෂයා ගේ දොස් නොදකින ලෝකය, සියලු දෝෂාරෝපණයන් ස්ත්‍රිය මත ම පටවති. සලෙලුන් වෙත සිය සිරුර අලෙවි කරන ඈ, විවේචන වෙඩි වරුසාවකට ළය දෙන්නී ය. රාත්‍රී අඳුරට මුවා වී, ඇය සමග යහන් වැද කාමමිථ්‍යාචාරයේ යෙදෙන මිනිසුන් වෙතින් ඈ සැබෑ ලොවෙහි දී ඈ කාරුණික බැල්මකුදු නොලබන්නී ය. අසම්මතයේ හැසිරෙමින්, සම්මතයේ සුදනුන් ලෙස පෙනී සිටිමින් ඔවුහු ඈ හෙලා දකිති. කිසිඳු වරදක් නැතිවුහු මෙන් සුදන වෙසින් පව්කාරයාට ගල් ගසති. ලෝකය දුටුවේ ස්ත්‍රියගේ නිරුවත් ළැම පමණි. ඊට මුවා වූ, මව් ගුණයෙන් ද, දයාවෙන් ද ඉතිරුණු ඇගේ ස්ත්‍රී හදවත කිසිවෙකු හඳුනාගත්තේ නැත.

අතීතයේ මෙන් ම වර්තමානයේ ද කාන්තාව විඳින ගැහැට බොහෝ ය. ආගමික හා සමාජයීය වශයෙන් පනවන ලද සීමාවන්ට යටත් වෙමින් ද, සම්ප්‍රදායන්ට අනුකූල වෙමින් ද කාන්තාව ගත කරන ජීවිතය කටුක ය. විශේෂයෙන් ම ආසියාතික හා මැද පෙරදිග කන්තාව, පුරුෂ මූලික සමාජයක ජීවත් වෙමින්, ඔවුන්ට මෙහෙ කිරීමට ද, ඔවුන්ට දාව දරුවන් වැදීමට ද පමණක් සීමා වෙමින් ගෙවන දුෂ්කර දිවිය පිළිබඳ උදාහරණ කොතෙකුත් ඇත. මැද පෙරදිග කතක් වන වාරිස් ඩයිරි විසින් ඇගේ සැබෑ ජීවන තතු අළලා ලියන ලද, Desert Flower කෘතියේ එන ස්ත්‍රී චරිත මනඃකල්පිත දෝ යි සිතෙන තරමේ කෲර වදයන්ට ඔවුහු ලක් වෙති. අද මුළු ලොව ම කාන්තාවන් පිළිබඳ ව කතා කරන දිනය යි. එය දිනකට සීමා නොවිය යුතු ය. සෑම කාන්තාවක් ම මවක් වන්නී ය. ඇය බිරිඳකි, සොයුරියකි, දියණියකි. ලොව ජීවත් වන සියල්ලෝ ම ගැහැණියක ගේ කුසින් බිහි වී, ඇගේ කිරෙන් පෝෂණය වී, ඇගේ ආදරය මැද වැඩුණවුන් වෙති. කාන්තාවට හිමි ගරුත්වය ලබා දී, ඇය ආරක්ෂා කිරීම මානව ධර්මයන් මත ගොඩනැගුණු ශිෂ්ට සමාජයක වගකීම වන්නේ එ හෙයිනි.

 
Tagged : /