මේෂ රාශිය පිළිබඳව බිඳක්…

Sanjula 0 Comments

හෙළයේ මහා කලා උළෙල හෙවත් බක් මහ සැණකෙළිය සමරනුයේ සූර්යයා ගේ මීන රාශියේ සිට මේෂ රාශියට සිදු වන දෘශ්‍ය සංක්‍රාන්තිය නිමිති කොට හෙයින් මෙකී මේෂ රාශිය පිළිබඳ යම් දැනුවත් කිරීමක් මෙයින් සිදුවේ.

මේෂ රාශිය උතුරු අර්ධගෝලයේ පිහිටි තාරකා රාශියක් වන අතර මෙම රාශිය මගින් පිරිමි බැටළුවා(Ram) නිරූපනය වේ.මෙය රාශි චක්‍රයේ ප්‍රථම රාශිය ලෙස නම් කරන අතර ටොලමි විසින් ප්‍රථම වරට වර්ගීකරණය කරන ලදී.එසේ වුවද මෙහි සීමාවන් පිළිබඳ නිශ්චිත අදහසක් නොවූ හෙයින් 1922 වන තෙක් අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය (IAU-International Astronomical Union) මෙය තාරකා රාශියක් ලෙස නිල වශයෙන් පිළිනොගත් අතර,වර්තමානයේදී එය අහසේ 39 විශාලතම රාශිය වේ.එය  වර්ග අංශක 441 ක වර්ගඵලයක්  දරණා අතර සූර්යයා දින 25 ක් මෙකී රාශිය තුළ චලිත වේ.

බොහෝ තාරකා රාශීන්ට මෙන් මේෂ රාශියටද අපූරු ග්‍රීක මිත්‍යා කතාවක් පවතී.එම ප්‍රවාදයට අනුව,මහ දෙවි සියුස්ගේ පතිනිය වන හේරාට ඉක්සොන් නම් අනියම් පෙම්වතෙකු වූ අතර,මේ ගැන සවන් වැකුණු සියුස් හේරාට සම රූපයක් හිමි නෙපෙලී නම් අයෙකු ගැබ් ගන්වා ඇත.ඉන් පසු හේරා සමඟ අනාචාරයේ හැසිරුනැයි සියුස් ඉක්සොන්ට සදාකල් ස්වර්ගයේ කැරකෙන පරිදි කරත්ත  රොදයක ගැට ගසා දඬුවම් කළ අතර, මෙම රෝදයේ පෙත ක්‍රාන්තිවලය නම් වේ.මේ අතර නෙපෙලී පළමු දරුවා ලෙස නරාශ්වයා (centaur) බිහි කළ අතර, පසුව ඈ බොයේශියාවේ රජු මෙන්ම සිපියස්ගේ සහෝදරයා වන ඇතැමස් හා පෙමින් බැඳුණා ය. ඔවුන්ට ලැබුණු දරුවන් දෙදෙනා ෆ්‍රික්සස් (Phrixus) හා හේලි (Helle) වන අතර ඇතමස් වෙනත් විවාහයක් කරගත් හෙයින් මෙම දරුවන් මැරීමට එම බිසවට උවමනා විය.මේ නිසා දරුවන් දෙදෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් සියුස් රන්වන් බැටළුවෙකු එවන ලද අතර,එම බැටළුව පිට යමින් සිටියදී හේලි මුහුදට වැටී මිය ගිය අතර, ෆ්‍රික්සස් කළු මුහුද අසල කොල්චිස් (Colchis) වල ඒටස්(Aettes) රජුගේ රාජධානියට පැමිණි අතර ඔහු බැටළුවා මරා රජුට එම බැටළු ලොම් ලබාදුණි. මෙකී පුවත සිහි කෙරුමට සියුස් බැටළු රුව අහසේ රැඳවීය.මෙය පෙරකී ග්‍රීක ප්‍රවාදයයි.

තාරකා රාශියක් ලෙස මෙය එතරම් සරු රාශියක් ලෙස නො ගැනේ.මෙකී රාශියේ දීප්තිමත්ම තාරකාව “හමාල්” නම් වන අතර “බැටළුවාගේ හිස(Head of the ram) “ යන්න එහි අරුත වේ.මෙය ක්‍රි.පූ.2000 ත් ක්‍රි.පූ.100 ත් අතර වසන්ත විෂුවය වූ අතර ඉතිරි දීප්තිමත් තරු දෙක වන Sheratan  හා Mesarthim  වසර දහසකට පමණ පෙර වසන්ත විෂුවය විය. මෙයින් Mesarthim තාරකාව පෙර මේෂ රාශියේ පළමුවැන්න වූයේ එය වසන්ත විෂුවයට ආසන්නම තාරකාව වූ හෙයිනි.එසේම පිටස්තර සෞරග්‍රහ මණ්ඩල හිමි තාරකා කීපයක් පවතින අතර, ක්‍රි.ව.1012 දී මෙම රාශියෙන් සුපර්නෝවාවක් වාර්තා වී ඇත.එලෙසම මන්දාකිණි කීපයක් පවතින මුත් ඒවා එතරම් ප්‍රසිද්ධ ඒවා නොවේ. එලෙසම මෙම රාශිය පසුබිම් කර ගෙන එතරම් ප්‍රසිද්ධ නො වන උල්කා වර්ෂා කීපයක්ද නිර්මාණය වේ.

නක්ෂත්‍ර විද්‍යානුකූලව මේෂ ගින්න සංකේතවත් කරනා අතර, හිස හා මුහුණ පාලනය සිදු කරයි. බටහිර ජ්‍යොතිෂයට අනුව මේෂ නාමය දරන්නා වූ ක්‍රාන්තිවල කොටසට වසන්ත සෘතුවේ ආරම්භය ත් සමඟම සූර්යයා පැමිණෙන අතර එනම් මාර්තු 21 ත් අප්‍රේල් 19 අතර එම කොටසේ සූර්යයා දෘශ්‍ය චලිතයේ යෙදේ. මේෂ තාරකා රාශියේ Sheratan  හා Mesarthim  තරු හෙවත් “අශ්විනි” තරු පදනම් කරගත් පෙරදිග ජ්‍යොතිෂයට අනුව සූර්යයා මෙම රාශියට වත්මනේ සංක්‍රමණය වන්නේ අප්‍රේල් 15 සිට මැයි 15 අතර කාලයකදී ය.ඒ අනුව තාරකා රාශියක් වශයෙන් මේෂ වෙත සූර්යයා සංක්‍රමණය වන දිනය කාලයත් සමඟ වෙනස් වන අතර මෙයට පෘථිවියේ පූර්වායන සංසිද්ධිය හේතු වේ.

ඒ අනුව ක්‍රි.පූ.2000 පමණ මේෂ රාශිය වසන්ත විෂුවය(vernal Equinox) හෙවත්,වසන්ත සෘතුව උදාවද්දී සූර්යයාට පසුබිම් රාශිය මේෂ රාශිය බවට පත් වූ අතර,එකී යුගයේදී ඛගෝල සමකය(Equator) හා ක්‍රාන්තිවලය (Ecliptic)ඡේදනය වන ප්‍රථම ලක්ෂය එනම් ක්‍රාන්තිය(Declination) හා විෂුවදාන්ශය(Right Ascention) ශුන්‍ය වන අවස්ථාවේ දී පසුබිම් රාශිය මේෂ වූ හෙයින්,එකී ලක්ෂ්‍ය ය මේෂ රාශියේ පළමු පාදය ලෙස ගැනේ.එනමුත් වර්තමානයේදි පුර්වායන බලපෑම නිසා ඛගෝලයේ තාරකා පද්ධතිවල සිදුවන පිහිටීම් වෙනස් වීම නිසා,වසන්ත විෂුවය බවට මීන රාශිය පත් වී ඇත.එනමුත් බටහිර නක්ෂත්‍රයේ මේෂ රාශිය නිරූපනය වන කොටසට සූර්යයා සංක්‍රමණය වන්නේ මාර්තු 21 හෙවත් වසන්ත සෘතු උදාවේදීය.කෙසේ වුවද තවමත් පෙරකී මේෂ රාශියේ පළමු පාදයේ නම් ලක්ෂ්‍යය ඉතිහාසමය කාරණා හේතුවෙන් තවමත් එලෙසම හැඳින්වේ.

බොහෝ සංස්කෘතීන් මෙකී මේෂ රාශිය හා සබැඳෙන අතර මෙකී ශිෂ්ඨාචාරයන් මේෂ රාශිය දකිනා ආකාරය එකිනෙකට විවිධ ය. උදාහරණයක් ලෙස බල්ලෙකු ලෙසින් චීන ජාතිකයන් මෙය දකිනු ලැබූ අතර මාෂල් දූපත් වැසියන් මෙය තල්මසා (porpoise) නම් රාශියක කොටසක් ලෙස දකින ලදී.මේෂ රාශිය වසන්ත විෂුවය බවට පත් සමයේ බොහෝ ශිෂ්ඨාචාර එහි ස්වර්ණමය යුගවල පැවතුන අතර මේ නිසා එකී ජනයා මෙම රාශියට බොහෝ සේ ගරු කළ අතර,සූර්යයා මෙකී රාශියට සංක්‍රමණය වීම හෙවත් වසන්ත උදාව සමරා උත්සව පවත්වා ඇති අතර සමහර ජාතීන් මෙය වගා සහයක රාශියක් ලෙසද භාවිතා කර ඇත.කෙසේ වුවද ලොව තවමත් සමහර ජාතින් වසන්ත සැමරුම් මෙම රාශිය පසුබිම් කර සිදු කරයි.

හෙළ ජනයා ද වසර ගණනාවක් තිස්සේ හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම හේතු කොට උත්සව සමරා ඇති බැව් පුරාණ වාර්තාවලින් පැහැදිළි වේ.හෙළ යන්නේ ප්‍රභින්නය හෙවත් “එළ” හෝ “එළු” යන්නෙන් “අජ” නොහොත් “එළුවා” යන රාශිය මුල් කරගත් ජාතිය ලෙස වර නැගේ.එනම් මේෂ නොහොත් අජ රාශිය මූලික කරගත් ජනවර්ගය යන්න හෙළ යන්නට අරුත් ගැන්වේ.මේ අනුව තම ජාතියේ රාශියට සූර්යයා පැමිණීමේ ප්‍රීතිය නිමිති කොට ගෙන මෙසේ උත්සව සැමරූ බව එක් මතයක කියවේ.ඒ අනුව පූර්වායනයට අනුකූලව අවුරුදු උළෙලේ කාල වකවානු ක්‍රමයෙන් වෙනස් කර ඇති බැව් පෙනී යයි.එසේ වුවද වත්මනේ මෙකී සැමරුම අප්‍රේල් 13-14 කොටුවී ඇති බවක් පෙනේ.යම් හෙයකින් පෙර මතය අනුකූලව මෙකී උළෙල සමරන්නේ නම් පෙරදිග නක්ෂත්‍රය ට අනුව මෙම වකවානු වෙනස් විය යුතුය.එසේ නොවේ නම් සැමරීමට සිදු වන්නේ මීන සිට මේෂ දක්වා සූර්ය සංක්‍රාන්තිය නොව කුම්භ සිට මීනට වන සූර්ය සංක්‍රාන්තියයි.

මූලාශ්‍ර :-

  1. http://www.crystalinks.com/aries.html
  2. https://www.space.com/17052-aries-constellation.html
  3. http://www.constellation-guide.com/constellation-list/aries-constellation/
  4. http://earthsky.org/constellations/aries-heres-your-constellation
  5. http://secretserendipity.com/monthly-horoscopes/astrology/aries-historical-side-of-the-zodiac/
  6. https://goo.gl/ADgP1g
  7. http://therealastrology.com/information/about-astrology/17-tropical-vs-sidereal.html
  8. රාවණා මෙහෙයුම-සුසිත් රුවන්
  9. https://i.pinimg.com/564x/05/e6/b3/05e6b3c7fdd36d65ef7cb717e3e56e8a.jpg
  10. https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcT_cUrpXc9q0Yq4N4wCY399c6Pm2sjdmuoUU2pT_zm7egz4aSk-
  11. https://i.pinimg.com/originals/07/91/a7/0791a78308c3ca8a8cf294dd91f24730.png
  12. http://1.bp.blogspot.com/_v6i7GBj3yyQ/TTCSF2v7oaI/AAAAAAAAD7Q/Cx2YKapjgdU/s400/josephine-wall_2009_04_aries.jpg
  13. http://astrologyk.com/img/zodiac/symbol/wall/aries.jpg
  14. http://astrologyk.com/img/zodiac/symbol/wall/aries.jpg
  15. https://i2.wp.com/www.astronomytrek.com/wp-content/uploads/2017/10/NGC-772.jpg?resize=678%2C381