පොඩිත්තන්ගේ දවස අදයි…

Share

අපේ රට – අපේ දෑතින්

ඔය පාඨය තේමා කරගෙන තමයි 2020 ළමා දිනය, ලෝකය පුරාම බොහොම ලස්සනට සමරන්නෙ.

ලෝකය, හරි සුන්දර තැනක් කරන මේ පොඩි කට්ටියව රැක බලාගෙන, ඒ සිනහව රසවිඳින්න ඔයත්, මමත්, අපි කවුරුත් එකතුවෙමු…

 

සුසුම පිරුණු ලොව මුදවන්නට අඳුරින්

තැවෙන රිදෙන සිත් සනසන්නට කඳුළින්

සතුට මිහිර පුරවන්නට කිරි සුවඳින්

ළමයි ආවෙ එහෙමලු දෙවි සුර විමනින්

 

සැඟවී මුහුදේ කලබල නැති පිරිසිදු පතුලක

පාවී හෙමිහිට සුසිනිඳු පහසින් පෙණ කැටියක

නැහැවී නිදි යහනක ඇතිරූ රන් මුතු ඇටයක

ආවේ දෝතට පැටවුන් පැතු පින්බර සිහිනෙක

 

ඉඩෝරයට වහිනා මහ වැස්ස වගේ

පිපාසයට පිදෙනා දිය සිසිල වගේ

ගනාඳුරට වඩිනා හිරු එළිය වගේ

වටිනාකම අමිලයි පොඩි ළමයි අගේ

 

පෙති විහිදා සුපිපෙන්නට වෙර දරන

ගගන පුරා පියඹන්නට තටු සලන

නිමක් නොමැති සැරියට පියවර තබන

සවිය ඔබයි හෙට දින අබිසෙස් ලබන

 

සිනහ කැකුළු මැවෙනා මුව මඬල පුරා

දකින නෙතත් නොදැනී ලොබ බැඳෙති හොරා

රසින් විඳින සැනසුම පෙම් වෙසින් නුරා

හිරු සඳු පායති පැටවුන් සිටින තුරා

 

කැලැන්ඩරෙන් වෙන් කරලා අද පළවෙනි දා

කල එළි ගන්වා මුළු ලොව සිරි විසිරෙන දා

ආදරයම තවරා දුක් කඳුළැලි හැර දා

රැකගමු අපෙ පුංචි පැටවු පණ මෙන් සැම දා

 

Image Credit : https://bit.ly/2GdGGOq

 
Tagged : / /