සම්බන්ධක

Share

පැය තුනකටත් වඩා ඒකාකාරී ගමනකට පස්සෙ හඳපානතැන්නට අපි ළඟාවෙද්දි හැන්දෑ අහස පාට ගැන්වෙන්න පටන් අරන් තිබුණෙ.

“හවස හතරත් වෙලා මචං. වැඩේ කරගෙන ඉක්මනට යමු.”

වෑන් එකේ හිටියෙ මායි, කුමාරයි, මලිතියි. අපි ගවේෂණ මාධ්‍ය කණ්ඩායමක්. හඳපාන්තැන්නෙ විටින් විට මතුවෙන මැරුණු මිනිහෙක්ගෙ කතාවේ ඇත්ත නැත්ත හොයාගෙන පත්තරේට ආර්ටිකල් එකක් ලියන එක තමයි අපේ බලාපොරොත්තුව වුණේ.

“බලන්න, කොළඹ තියෙන කලබලේට වඩා මේ වගේ ගමක කොච්චර සැහැල්ලුවක් දැනෙනවා ද?” මලිති කිව්වේ කුඹුරු යාය මැද්දෙන් පියාඹගෙන යන කොක්කු රෑනක් දැකලා.

……………………………………………………………………………………………………………………………………………………..

“මේක වෙන්න ඕනි ගෙදර.” එහෙම කියලා මම වාහනේ තිරිංග පාගලා නතර කළා.

තාමත් හදලා ඉවර කරපු නැති ගෙදර බිත්ති අස්සෙන් දුප්පත්කම බේරුණා. වැහි සීරාවට දිය සෙවල් බැඳීගෙන ආපු තැන්වල බොඳ වෙලා තිබ්බ මරණ පෝස්ටරේ අපි හොයන් ආපු ගෙදර මේකමයි කියන්න නිහඬව ම සාක්ෂි දුන්නා. උස ලයිට් කණු දෙකක් මැද්දෙන් එල්ලුනු සුදු කොඩිය යටින් අපි ගේ ඇතුළට ආවේ හැන්දෑ අඳුර හෙමින් හෙමින් ගොම්මන් වෙන වෙලාවේ.

“ගෙදර කවුද ? ගෙදර කවුද ?” හෙමිහිට වැටෙන පොද වැස්ස ගොම්මනේ අඩුපාඩු පිරෙව්වා.

“අඩුවෙලා තිබ්බෙ එච්චරයි.. ඔන්න ඒකත් හරි” අහසට මැසිවිලි කියාගෙන ම කුමාරත් ඉස්තෝප්පුවට ගොඩ වුණා. ඒ එක්කම අවුරුදු දහයක විතර පොඩි කොල්ලෙක් ගේ ඇතුළෙ ඉඳන් දුවගෙන ආවා.

“ආ මාමලා අද එනවා කියලා පන්සලේ හාමුදුරුවෝ කිව්වා. එන්න ඇතුළට.” නිවසට එක ගානෙ දුරකතන පහසුකම් නොතිබිච්ච හන්දා පන්සලට කෝල් කරල හරි කියපු එක හොඳයි කියලා මට හිතුණේ ගේ ඇතුළට ගියාම. ගමෙන් බාගයක් විතර ම ඇවිත් තිබුණෙ කොළඹින් එන අපි ව පිළිගන්න. හරියට ඉන්ටර්නැෂනල් තරගයකින් පළවෙනියා වෙලා එයාපෝර්ට් එකට ආවා වගේ…

“ආ… මහත්තයෝ ඉඳගන්න.” ගෙදරට නොගැළපෙන තරමට ම ඔප දැමූ කලුවර ලී කවිච්චියක් දැක්කම මට හිනා ගියේ මේ මිනිස්සු කොච්චර අව්‍යාජ ද කියලා හිතලා.

“මහත්තයෝ පියදාසගෙ අවතාරෙ මේ පැත්තෙ කරක් ගහනවා මේ හුඟක් අය දැකලා තියෙනවා …” ප්‍රශ්නයක් අහන්නත් කලින් ම කොට, මහත මනුස්සයෙක් අපේ ඉස්සරහට ආවා.

“මේන් මෙච්චරක් විතර දත් දෙකක්…” එයා කිව්වේ තමන්ට පුළුවන් තරම් අත් දෙක දිග් කරලා පෙන්නලා.

“ලේ ගෑවිච්ච සුදු ඇඳුමක් ඇඳගෙන රතුපාට ඇස් දෙකක් තිබුනේ. අපේ ගමට සාපෙ වැදිලා ඉවරයි මහත්තයෝ දැන්…” අත පය හසුරවමින් හැමෝම ඉස්සරහ ජාතක කතා පොතේ ඉන්න යකෙක්ගෙ රූපයක් මවා පාන්න මේ මිනිහා දරන උත්සහය අමූලික බොරුවක් කියල තේරුම් ගන්න මට එච්චර අමාරු වුණේ නෑ. මලිති මන් දිහා බලලා හිනා වුණේ මේක බොරු කියලා තහවුරු කරන්න වගේ.

“ඔයා අවතාරෙ ඇස් දෙකට ම දැක්ක ද?” කුමාරගෙ ප්‍රශ්නයෙන් මෙච්චර වෙලා මුල’සුන හොබවගෙන කතා කරපු කෙනා ගොළු වුණා.

“නෑ මහත්තයෝ..ඒත් අපේ මුදලාලි නම් දැක්කා.”

“ආ මුදලාලි කියන්නකො එහෙනම් ” කුමාර එහෙම කියද්දි තට්ටෙ තියෙන මනුස්සයෙක් ඉස්සරහට ආවා.

“මහත්තයෝ එදා රෑ නමයට විතර ඇති. කලබලේ වුණේ හවස හතරට විතර.පියදාසගෙ මිනිය ගෙට ගෙනාව විතරයි මයෙ හිතේ…රෑ නවයට විතර පියදාස මලයා මගෙ කඩේට ආවෙ. මට දැක්ක ගමන් සිහි නැති වෙන්න වගේ ආවා…එහෙම්ම ම මන් කෑ ගහගෙන දුවගෙන ආවේ මෙහෙට.”

“හැඩරුව එහෙම කොහොමද ?”

“ජීවත් වෙලා ඉන්නකොට වගේ ම යි. මලයා මැරිලා කියලා දන් නැත්තම් මාත් රැවටෙනවා මහත්තයෝ..”

ඊට පස්සේ දැකපු අනිත් දෙතුන් දෙනාගෙනුත් විස්තර අහලා දැනගත්තට පස්සෙ අපි පියදාසගෙ පොඩි එකා එක්ක කතා කරන්න පටන් ගත්තා. පුංචි කාලේ ම අම්මා දාලා ගිහිපු මේ පොඩි එකාට දැන් තාත්තාත් නෑ…මට දැනුනෙ හරි ම දුකක්…

“පුතා ලොකු වුණා ම කවුරු වෙන්න ද ආස?”

“මන් ආසයි නාසා එකට යන්න.” පොඩි එකා එහෙම කියල හිනා වෙද්දි දත් දෙකක් වැටිලා කටේ හැදිල තිබ්බ හිඩස හරි ලොකුවට ඉස්මතු උනා..

” පුතා කියනව ද අපිට එදා වෙච්ච දේ…” මලිති එහෙම ඇහුවෙ පොඩි එකා ව තුරුළු කරගෙන…

“මායි අප්පච්චියි කැලෑ පාරෙන් එනකොට කවුද මිනිස්සු දෙන්නෙක් ඇවිත් අප්පච්චිට තුවක්කුව දිග් කලා. එකපාරට ම කළු ජැකට් එකක් දාපු මූණ වහපු මිනිහෙක් ඇවිත් ඒ දෙන්නට ගහන්න ගත්තා. අප්පච්චි මාත් අරන් දුවන්න හදනකොට තමයි තව එක්කෙනෙක් ඇවිත් අප්පච්චිට පිහියෙන් ඇන්නෙ…මන් කෑගැහුවා …..”

පොඩි එකාට කතාව ඉවර කරන්න හම්බුන්නෑ පියදාසගෙ තාත්තා දුවගෙන ඇවිත් එයාගෙ කට තද කරලා වැහුවා.

“අනේ බුදු මහත්තයෝ …මෙව්වා ගැන පත්තරවල ලියන්න එපා මහත්තයෝ …මට එක පුතෙක් නැති වුණා..දැන් ඉන්නෙ මේකා විතරයි. මට මේකවත් නැති කරගන්න බෑ මහත්තයෝ …”.

“ඒ වුණාට සීයේ…මෙතන මිනී මැරුමක් වුණා නම් පොලිසිය දැනුවත් කරලා සාධාරණයක් කරන්න ඕනි නේ ද?”

“අපිට උඩ බලාගෙන කෙල ගහගන්න බෑ මහත්තයෝ…වෙච්චි දේ වුණා. ඔව්වට මහන්සි වෙන්න කාසිවත් සක්තියක්වත් අපිට කොයින් ද ? කළුගල් තියෙන්නෙ ඔළුව ගහගන්න නෙවෙයි මහත්තයෝ…මහත්තයා ඔව්ව ලියලා සම්මාන ගනි අපි එපැයි දුක් විඳින්න…” මේ කැලෑ නීතිය කොච්චර අසාධාරණ ද කියලා මට හරියට ම හිතුනේ ඒ කතාවෙන් පස්සෙ.

ඉතින් අපි දැන ගත්තු දේවලුත් එක්ක අපි ආයෙත් කොළඹ එන්න පිටත් වුණා.

“මෙච්චර දුර ආපු එකේ අඹ ගහ තියෙන පාරෙන් ම යමු බං. ඉන්නවා නම් හොල්මනක් අපිටත් පෙනෙයි නෙහ්”. කුමාරගෙ කතාවට අපිත් එකඟ වුණේ ආර්ටිකල් එකක් ලියන්න තරම් කරුණු අපිට හම්බුනේ නැති හන්දා…

මම වාහනේ කපලා සොහොන් පාරෙ අඹ ගහ පැත්තට හැරෙව්වා. මලිති ඉන්න හින්දා බය නොපෙන්නුවට ඇඟ පුරා ම දාපු දාඩිය එක්ක මං ස්ටයරින් වීල් එක හයියෙන් අල්ලගත්තා…

“දෙයියනේ…” කුමාරගෙ කෑ ගැහිල්ලටයි මගේ ඇස් ඉස්සරහ වාහනයට අත දාන මනුස්සය හරි නැත්තම් භූතයා හරි දැක්ක ම මට දෙලොව රත් උනා.

“නවත්තන්න එපා. යන් යන් දිගටම යන්.” බය වෙච්ච පාරට පිඹගෙන ගියත් මට දැනුනෙ අමුත්තක්.

“ඒ හොල්මනක් නෙවි බන්…මිනිහෙක්”

මම ආයි වාහනේ රිවස් කලේ මේකෙ ඇත්ත හොයාගන්න.

“පිස්සු නටන් නැතුව ඉඳහන් යකෝ…ආර්ටිකල් එකක් වගේ ද ඕයි අපේ ජීවිත”

කුමාරගෙ කතාවට උත්තර නොදී මම වාහනේ නැවැත්තුවා .

ඔන්න එතකොට හොල්මන අපි ගාවට දුවගෙන ආවා.

“අනේ මේ අහන්න..මම හොල්මනක් නෙවෙයි …අනේ මට උදව් කරන්න. මම ලොකු ප්‍රශ්නයක ඉන්නෙ…”

කාර් එකෙන් මූණ දාලා මම දිහා බලාගෙන ම කියද්දි ලාවට දැකපු මරණ පෝස්ටරේ මූණ ඒකම යි කියල දැනෙනකොට හාට් එක හයියෙන් ගැහෙන්න ගත්තා..

“ඔයාලට මම ඇත්ත හැමදේම කියන්නම්. එත් මම සතියකින් විතර කාලා නෑ…මට කන්න දෙයක් දෙන්න පුළුවන් ද? මේ ගෙනත් දාන දොල පිදේනියි අඹ ගෙඩියි කාලා මට බඩගිනි “

කාර් එක ඇතුලෙ තිබ්බ බනිස් ගෙඩි වගේකටයි වතුර බෝතල් බාගෙකටයි වග කිව්වට පස්සෙ එයා කතාව පටන් ගන්න හැදුවේ..ඒත් කුමාර ඊට කලින් ප්‍රශ්න අහන්න ගත්තා..

“ඔයා මේ ගමේ කෙනෙක් වෙන්න බෑ..ඔයා ඇඳන් ඉන්නෙ ශර්ට් එකකුයි ඩෙනිමකුයි..ඔයා කවුරු හරි පියදාසගෙ නිවුන් සහෝදරයෙක් ද ,මේ ගමේ නැතුව පිටරට හරි කොළඹ හරි ඉදල ආපු?” අපේ බරපතල ප්‍රශ්නෙට සැහැල්ලු හිනාවකින් උත්තර දීලා හොල්මන නැත්තම් හොල්මන කියලා හිතපු මනුස්සයා කතාව පටන් ගත්තා.

“ඇත්තට ම මම නෑදෑයෙක් තමයි. මම තමයි පියදාසගෙ පුතා..ඒ මගේ තාත්තා ..”

ඒ කතාව අහල අපි තුන් දෙනා ම උන් හිටි තැන්වල ගල් ගැහුනා. පියදාසගෙ වයසෙ විතර ම පුතෙක් පියදාසට කොහෙන්ද?

……………………………………………………………………………………………………………………………………………………..

“මම දන්නවා ඔයාලට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා කියලා, ඉන්න මම ඔක්කොම පැහැදිලි කරන්නම්. ඇත්තට ම මම ආවේ අනාගතයෙන්. ඔයාලා අද කතා කරලා ආපු ඒ පොඩි ළමයා තමයි මම හැබැයි අවුරුදු පනහකට කලින්. හුඟක් අගහිඟකම් තිබ්බත් ඉගෙනීමේ උපරිම ඵල නොළාගෙන අන්තිමේ දි නාසා එකේ විද්‍යාඥයෙක් දක්වා ගමන් කරන්න මට පුළුවන් වුණා. අනාගතයේ දි හදපු කාල යන්ත්‍රයක් නිසා මම මෙහෙට ආවේ. වර්තමාන ලෝකයේත් කාල යන්ත්‍රය ගැන ඇතැම් සමීකරණ ඉදිවෙමින් පවතිනවා. අයින්ස්ටයින්ගේ ඉඳන් මැක්ස්වෙල් දක්වා ම ඒ වගේ ම නිව්ටනුත් එයාලගෙ තර්කන ඥානයට අනුව කාලය කියන සංකීර්ණ මානයෙ විවිධ පැතිකඩවල් අනාවරණය කරගෙන තියෙනවා වුණත් කාලයේ හැසිරීම නියත ව අධ්‍යනය කිරීම කියන්නේ ම විශාල අභියෝගයක්! අනාගතයේ දී විවිධාකාරයේ පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන මාලාවකින් පසුව නාසා ආයතනය මගින් කාල යන්ත්‍රයක් නිර්මාණය කරනු ලබනවා. එහි අධ්‍යයන කටයුතු කිරීම් සඳහා නාසා ආයතනයේ විද්‍යාඥයෙක් ලෙස සේවය කරන මට අවස්ථාවක් ලැබෙනවා . ඉතින් මට හිතෙනවා අවුරුදු පනහකට ආපස්සට ඇවිල්ලා මගේ තාත්තා අභිරහස් විදියට මැරෙන්න හේතුව මොකක් ද කියලා මට හොයාගන්න පුළුවන් වෙයි කියලා වගේ ම මට හිතෙනවා මගේ තාත්තා මට බේරගන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට කාල තරණය සිද්ධවෙන්නේ ස්ථිතික රාමුවක් හරහා ඒ කියන්නේ අපිට කාලයේ ආපස්සට ගියා කියලා කවදාවත් සිද්ධ වෙන දෙයක් වෙනස් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. කාලය කියන්නෙ පුදුමාකාර චක්‍රයක් වගේ දෙයක්. අතීතය….. වර්තමානය…. අනාගතය .. මේ හැම දෙයක් ම එකිනෙකට සම්බන්ධ යි.”

ලිඛිත භාෂාවටත් හුරුකම් කියමින් මේ අපූරු අමුත්තා කියන දේ අදහාගන්න බැරුව අපි හිටියේ පුදුමයේ උපරිමේට ම පත්වෙලා.

“මම දන්නවා මාව විශ්වාස කරන්න අමාරු බව.. ඒත් මේක තමයි ඇත්ත.. සමාවෙන්න, මට දැන් සිංහල එච්චර හුරු නැති නිසා මම කියන දේවල්වල අමුත්තක් තියෙනවා නම්..”

“ඇත්තට ම මොකක්ද ඔයාගෙ තාත්තට වුණේ.” මම එහෙම ඇහුවේ තාම කතාව සම්පූර්ණ වුණේ නැති නිසා.

“අපේ තාත්තට මේ පැත්තෙ මාෆියා සංවිධානයක් එක්ක සම්බන්ධතාවයක් තිබ්බා. මමත් ඇත්තට ම ඒ කාලේ දැනගෙන ඉඳියෙ නැහැ. පාතාලයත් එක්ක සම්බන්ධකම් තියෙනවා කියන්නේ ඉතින් අන්තිමේ දී උරුම වෙන්නේ මරණය විතරයි. මම ඒ සිද්ධිය වෙනකොට එතැනට දුවගෙන ගියා, ඒ වුණාට මම එනකොට පරක්කු වැඩියි. ඒ අපරාධකාරයො තුවක්කුත් අරගෙන ඇවිල්ලා තිබුණෙ. හැබැයි මං හිතන්නේ එයාලගේ තුවක්කු නම් බොරු, මොකද එයාලා ඒවගෙන් වෙඩි තිබ්බේ නම් නැහැ. මම තාත්තා බේරගන්න ඒගොල්ලොත් එක්ක සටන් කරන්න ගියත් දෙන්නෙක් එක සටන් කරන්න තරම් ශක්තියක් මට තිබුණෙ නැහැ. හිතුවෙවත් නැති අනපේක්ෂිත විදිහට එක් කෙනෙක් ඇවිල්ලා තාත්තගේ පිටිපස්සට පිහියෙන් ඇන්නා. එතකොට එදා පුංචි මම ඇත්තටම බය වෙලා හිටියේ. මං ඉතිං පොඩි එක්කෙනාව උස්සගෙන ඇවිල්ලා පාරෙන් කියලා කිව්වා ඉක්මනට ගෙදර ගිහිල්ලා කට්ටිය එක්කගෙන එන්න කියල. මම දාගෙන ඉඳපු ජැකට් එකෙන් ඔලුව වැහිලා තිබුණු හින්දයි, ඒ වෙලාවෙ තිබ්බ බය වෙච්ච ස්වරූපය හින්දයි පොඩි එකාට මගේ මූණ හරියට මතක නැතුව ඇති. මම ඉක්මනට ම ආයෙත් වැටිලා ඉඳපු තාත්තා ගාවට දිව්වා. එතකොට තාත්තා ඉඳියෙ ජීවිතයත් මරණයත් අතර, අර මිනිස්සු ආපු බයික් එකෙන් ම පැනලා ගිහිල්ලා තිබ්බා. මම තාත්තා ව අත් දෙකට අරගෙන ‘තාත්තේ…’ කියලා කතා කරා. තාත්තා අඩපණ වෙච්ච ඇස් දෙකෙන් යාන්තමට මම දිහා බලලා සදහටම ඇස් පියා ගත්තා. ඒ තරම් වේදනාවක් මට ජීවිතේ කවදාවත් ලැබිලා නැතුව ඇති. “

ඇස්වල යාන්තමට බැඳුණු කඳුළු පිසදානගමන් ඔහු කියාගෙන යන්න වුණා.

“එහෙනම් ඇයි ඔයා ආයි ගියෙ නැත්තේ අනාගතය ට” අපි හැමෝටම තිබ්බ ප්‍රශ්නෙ මලිති ඉදිරිපත් කළා.

“ඇත්තටම මටත් ඕනේ පුළුවන් තරම් ඉක්මනට ආයෙත් යන්න. මෙතැන ඉඳියොත් ඇත්තට ම ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා මටත් තේරුම් ගිහිල්ලා තිබුණේ, ඒ වුණාට අවාසනාවකට වගේ තාම පරීක්ෂණ මට්ටමේ තියෙන කාල යන්ත්‍රයේ දෝෂයක් ඇති වෙලා තිබුණා. මට මේ යන්ත්‍රය පොඩ්ඩක් හදා ගන්න ඕනි. ඒකට ඉස්කුරුප්පු නියනක් ඉල්ලගන්න, මන් කඩේට ගියේ…එතකොට තමයි මුළු ගම ම මාව හොල්මනක් කියල හිතුවේ. ගමේ මිනිස්සුන්ට මෙච්චර සංකීර්ණ දෙයක් තේරුම් කරලා දෙන්න බැරි හින්දා තමයි ….”

ඔහු කතාව කරගෙන යද්දි කුමාර වාහනේ ටූල් බොක්ස් එක අරගෙන ආවා. කබා සාක්කුවෙන් ඔහු එළියට ගත්තු දැතිරෝද තියෙන ඔරලෝසුවක් වගේ උපකරණය දිහා අපි බලන් හිටියෙ පුදුමෙන්. පැය බාගයකට විතර පස්සෙ යන්ත්‍රය හදාගත් ඔහු අපිට නොසෑහෙන්න ස්තූති කළා.

ආපසු එන ගමනේ දි ඔහුගේ අවසන් ඉල්ලීම අපි හැමෝගෙම මතකයේ රැඳුණේ අමතක නොවන ලෙසින්.

“මේ ගැන පුවත්පතකට විස්තර දැන් ම ලියන්න එපා.. මේ දැනුම ලෝකයට අලුත් තාම ….

කාලයට ඉඩදෙන්න….හැම ප්‍රශ්නයකට ම උත්තර කාලය ලබා දේවි…”

 

 

Written by: Kaveesha Gimhani

Image courtesy: https://bit.ly/3DvLg2J

 
Tagged : / /