තවත් එක් සරසවි පෙමක්

Share

හැඩ කරන්නට – ගෙවුණු දවසක,
විඩාබර නෙත් යුග තෙමා
මුදු සිනාවක – පෑ කලාවට
දුරින් හිඳ මල් දම් ගෙනා
නුඹව හමුවුණ දින ගණන් ගැන
මතකයට හසරැල් දෙනා
තවම මතකයි දුටුව මුල් දින
හැඟුම් දහසක් පිබිදෙනා

කියනවා උන් එහෙම දැනුනම
හදේ සමනල රංගනේ
ආයෙමත් නුඹ දකින දින ගැන
ඉවසුමක් හිත තුළ නොවේ
හිතුවෙවත් නැති දිනක අලුයම
මහ නුගේ යට මාවතේ
හුරු පුරුදු නුඹ, නැතිව කලබල
කෙමෙස්‍ට්‍රිය වෙත පා නැගේ

කැලැන්ඩරයට එරෙහි වී යන
දිනක ඔරලෝසුව බිඳී
ජීවිතයේ යන දිගම පැය දෙක
මෙයමදෝ මා හට සිතී
නැගිට යන්නට හිත හදාගෙන
ආයෙමත් බිල්ඩිම බැලී
පිටව එන්නට මග බලාගෙන
ජනේලය ළඟ නුඹ හිඳී

හතරවංකෙට වැටෙන අව්වට
අදාලම නැති වෙව්ලුමක්
තවත් කලබල නොවී ඉන්නට
මගෙ හිතින් මට ඇරයුමක්
දන්න හඳුනන මුහුණු අතරට
නුඹේ සිනහව යා වුනත්
සිතාගනු බෑ සිහිනෙකින්වත්
මා දෙසට නම් එනු බවක්

හිත යටින් කල, පුහුණු සැසි වල
වචන ගලපන කාලයේ
තෙරපෙනා හැඟුමන් පොදක් මට
හයි ප්‍රෙශර් දෙන තාලයේ
ඉදිරියට තැබු අඩිය ආයෙම
අඩි දෙකක් පස්සට කලේ
නුඹම එනතුරු මඟ බලාගෙන
සිටියේ මා පමණක් නොවේ

සිතු පැතුම් කඳු බිඳ වැටෙනයුරු
බලාගෙන මන්දාරමේ
කුමරුගෙන් කඩුපත සොරාගත්
වැදි රජුන් මා නම් නොවේ
තවම හිත බැඳි නුඹේ නිල් නෙතු
ළඟම නැවතුණ සිහිනයේ
දරාගෙන මම තිත තබන්නෙමි
පෙම් කවක් නිස්කාරණේ

නිවා ගන්නට සිත් මලක දුක
දරා විඳගෙන ගොම්මනේ
වවුල් කණිසමේ රහස් අහගෙන
තරු අතර මම සක්වලේ
එදා හිත දැරු සිනා සපිරුණු
විඩාබර මතකය දිගේ
නිවී යන්නැති පහන නුඹ නෙත
අදත් එහෙමයි ආදරේ

Image Courtesy:https://bit.ly/45lH7MA

 
Tagged : / /